TT Ads

අද තිබෙනුයේ ඉතාම තරගකාරී අධ්‍යාපන රටාවකි. එමනිසා බොහෝ දෙමාපියෝ තම දරුවා බහ තේරීමට පටන්ගත් විගසම දරුවාට අකුරු, ඉලක්කම් ඉගැන්වීමට වෙහෙස වෙති.නමුත් කුඩා දරුවන් ඊට එතරම් ප්‍රිය කරන්නේ නැත. ඒ සඳහා ඔවුන් එක තැනක රඳවා තබා ගැනීමටද අපහසුය. බොහෝ විට එය ඔවුන්ගේ මනසට වදයකි.
එහෙත් කුඩා දරුවකු සමග එක් වී හෝ දරුවාව අසලට ගෙන චිත්‍රයක් ඇඳීමට මැටි හෝ ක්ලේ වැනි දෙයක් ගෙන රූප ඇඹීමට, කඩදාසි, ඇට වර්ග, ඉවත දමන දේ භාවිත කරමින් යම් නිර්මාණයක් කිරීමට උත්සාහ කර බලන්න. දරුවා එය නිරීක්ෂණය කරමින්, තමාගේ අදහස්ද ප්‍රකාශ කරමින් එය රස විඳින්නේ ඉතාම සතුටින් බව ඔබට වැටහේවි.
නිර්මාණය රස විඳින අතරම මේ තුළින් තවත් බොහෝ දේ දරුවාට ලැබෙන බව ඔබ දන්නවාද?
දරුවා ළඟින් තබාගෙන ඔබ විසින් චිත්‍රයට නගන්නේ “සැන්දෑ වරුවක මුහුදු වෙරළක දර්ශනයක්” යයි සිතමු.
ඔබට පෙනෙන ආකාරයට මුහුදු වතුර වල පාට, රසය, මුහුදේ රැල්ල ගසන ආකාරය, රැල්ල පෙනෙන්නේ කුමක් ආකාරයටද, මුහුදු රැල්ල ගසන විට ඇසෙන ශබ්දය යනාදී දේ පිළිබඳව දරුවා සමග කතා කළ හැකියි.එහිදී දරුවා විසින් තමන් නොදන්නා දේ පිළිබඳව ඔබගෙන් විමසා දැනුවත් වන අතර දරුවාගේ අදහස්ද පවසයි. විටෙක කඩදාසියක් හා පාට ගෙන චිත්‍රයක් ඇඳීමට දරුවාද උත්සාහ කරයි.
දරුවා සමග එකතු වී මැටි, ක්ලේ භාවිත කර රූපයක් අඹන අවස්ථාවක් පිළිබඳව සිතමු.
රූපය ඇඹීම සඳහා දරුවාගේ ඇඟිලිවල මාංශපේෂීන් ක්‍රියාශීලී විය යුතුය. දරුවකුට නිවැරදිව අකුරු ලිවීමට නම් පැන්සල පහසුවෙන් අල්ලා ගත හැකි විය යුතුයි. ඒ සඳහා ඇඟිලිවල මාංශපේෂීන්ගේ වර්ධනය හා ක්‍රියාකාරිත්වය නිසි ලෙස සිදු වී තිබිය යුතුයි.මැටි, ක්ලේ කුඩා කොටස් වලට කඩා ගැනීම, ගුලි කිරීම, පැතලි කිරිම, රෝල් කිරීම යනාදී ක්‍රියාකාරකම් මේ සඳහා උපකාරීවේ.පාට කඩදාසි වලින් කපන ලද රවුම් ඇලවීමෙන් හෝ අඳින ලද රවුම් වලට යම් යම් කොටස් එකතු කර මෙම රූප නිර්මාණය කර ඇත.
ඒ ආකාරයට රූපයක් හෝ දෙකක් නිර්මාණය කර දරුවාටද නිර්මාණය කරන ලෙස පැවැසීමට පුළුවන. එවිට දරුවෝ ඔවුන්ගේ අදහස් හා හැකියාව අනුව රූප නිර්මාණය කිරීමට උත්සාහ කරති. මෙසේ රූප නිර්මාණය කිරීම සඳහා දරුවාගේ බුද්ධිය මෙහෙය විය යුතුය.
ඇත්තෙන්ම දරුවකුගේ බුද්ධිමය සංවර්ධනය යනු අකුරු කියවීම, ලිවීම, ගණන් කිරීම වැනි අංශ වලින් ඉදිරියට යාම බව බහුතරයකගේ අදහසයි. නමුත් මෙවැනි නිර්මාණ ක්‍රියාකාරකම් තුළින් දරුවන්ගේ බුද්ධිමය සංවර්ධනය සඳහා මනා පිටිවහලක් ලැබේ.
ගණිත ගැටලු විසඳීමට කවි, කතන්දර ගොඩ නැගීමට මෙන්ම රචනා ලිවීමටද බුද්ධිමය චින්තනය ඉතාම වැදගත්ය. දරුවන්ට මෙවැනි නිර්මාණ වලට යොමු කරවීම ඒ සඳහා ආරම්භයක් වන බව මව්පියන් අවබෝධ කර ගත යුතුය.එමෙන්ම මෙවැනි නිර්මාණ කිරීමේදී එක තැනක රැඳී සිටීමටද දරුවන්ට සිදුවේ. එම නිසා පසු කලෙක අධ්‍යාපන වැඩ කටයුතු කර ගැනීම සඳහා අවශ්‍ය වන ශරීරය හා මනස එක තැනක රඳවා තබා ගැනීමට මෙතුළින් පුහුණුවක්ද ලැබෙනු ඇත.
මෙහිදී දරුවන් විසින් අඳින ලද, අඹන ලද හෝ වෙනත් දේ භාවිත කරමින් නිර්මාණය කරන ලද දේවල් දෙස බැලිය යුතු වන්නේ දරුවාගේ මට්ටමිනි. වැඩිහිටියන්ගේ මට්ටමින් ඒ දෙස බලා අඩුපාඩු පැවැසීම සුදුසු නැත.එසේම දරුවන් විසින් කරන ලද නිර්මාණ අගය කිරීමද ඉතාම වැදගත්ය. එය ඔවුන්ට සතුටක් වන අතර ඔවුන් තුළ ඇති හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා ඔවුන්ට උත්සාහයක් දැරීමට වීමද මාපියන්ගේ මෙම අගය කිරීම මනා පිටිවහලක් සපයනු ඇත.

ජලදිනී සේනානායක

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>