TT Ads

මුල් ළමා වියේදී දරුවන්ට ලබාදෙන ආහාරවල පෝෂණ තත්ත්වය (විශේෂයන්ම පළමු අවුරුදු දෙක තුළදී) අනිවාර්යයෙන්ම යහපත් මට්ටමක පැවැතිය යුතුය. එලෙස දරුවන්ගේ මුල් ළමා වියේ ආහාර පිළිබඳව නිසි අවබෝධයකින් මව්වරු කටයුතු කරයි නම් ඒ දරුවාගේ ඉදිරි ජීවිත කාලයේ යහපැවැත්ම පිළිබඳව වැඩි අවදානමක් නැතිවීම වැළැක්විය නොහැකිය. මෙමඟින් දරුවාට බෝ නොවන රෝග වැළඳීමේ අවදානම ඉහළ යාම මෙන්ම බුද්ධිමත් භාවය පිළිබඳ දුර්වලතා ඇතිවීමට වැඩි ඉඩක් පවතින බව බොහෝ පර්යේෂණ මගින් ස්ථිරවම සනාථ වී තිබේ. විශේෂයෙන්ම ගැහැනු දරුවෙකු නම් ඇය අනාගතයේදී දරුවකු බිහි කරන අවස්ථාවේදී විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට පත්වීම, අඩු බර උපත් දරුවන් බිහි කිරීමට පවා මුල් ළමා වියේ නිසි පෝෂණයක් නොලැබීම සෘජුවම බලපෑ හැකි බවද පර්යේෂණ මගින් සනාථ වී ඇත. මේ අනුව මුල් ළමා වියේ ඇතිවන පෝෂණ තත්ත්වයේ දුර්වලතා නිසා කායික, මානසික හා සමාජීය වශයෙන් අයහපත් ප්‍රතිඵල ඇතිවිය හැකිය.
ළමා වියේ පෝෂණීය ආහාර දරුවාට ලබාදීම සම්බන්ධයෙන් මව්වරු දක්වන නොසැලකිල්ල හා ඒ පිළිබඳව නිසි ලෙස දැනුවත්ව නොසිටීම යන හේතු දෙක දරුවන්ගේ මුල් ළමාවිය පෝෂණ තත්ත්ව දුර්වල වීමට හේතුවන බව පැහැදිලිවම සනාථ වී ඇත.

දරුවන්ට ආහාර ලබාදීමේ දී සැලකිය යුතු කරුණු

මෙහිදී වැඩි අවධානයක් යොමුකර තිබෙන්නේ මුල් මාස හය තුළ දරුවන්ගේ පෝෂණය හා සම්බන්ධව විශාල ගැටලු දක්නට නොමැති බවත් මාස හයෙන් පසු දරුවාට අතිරේක ආහාර ලබාදීමේදී මව්වරු අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳවය.
* දරුවාට අතිරේක ආහාර හඳුන්වා දෙන වයස.
* ආහාරවල විවිධත්වය.
* දිනකට ආහාර ලබාදෙන වාර ගණන.
* ආහාරවල අඩංගු පෝෂක ප්‍රමාණය.
* ආහාර වල පිරිසිදු බව.
* රෝගී අවස්ථාවලදී දරුවාට ලබාදෙන ආහාර.
* රෝගය සුව වීමෙන් පසු දරුවාට ආහාර කැවීම.
* ප්‍රතිචාරාත්මක ආහාර කැවීම.

ප්‍රතිචාරාත්ම ආහාර කැවීම යනු කුමක්ද?
ප්‍රතිචාරාත්මක ආහාර කැවීම (Responsive feeding) ගැන සඳහන් කිරීමේදී මුලින්ම ප්‍රතිචාරාත්මක නොවන ආහාර කැවීම (Non Responsive Feeding) යන්න පිළිබඳව මව්වරු අවබෝධයක් ලබා තිබිය යුතුය. සමහර මව්වරු දරුවාට ආහාර කැවීමේදී වෙනත් වෙනත් කටයුතුවල යෙදෙමින් එය සිදු කරයි. ඊට හොඳම උදාහරණය වන්නේ රූපවාහිනිය නරඹමින් දරුවාට ආහාර කැවීමයි. විශේෂයෙන්ම දරුවාට ආහාර කැවීමේදි ඊට ගැළපෙන ප්‍රසන්න පිරිසිදු පරිසරයක් මුලින්ම සකස් කර ගැනීමට මවක් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. කුමන තරාතිරමක වුව මැස්සන් අධිකව ගැවසෙන ස්ථානයක් මෙන්ම පවුලේ තවත් අය නිතර ගැවසෙන ස්ථානයක් මේ සඳහා නුසුදුසුය. මිදුලේ ගසක් යට සෙවණක දරුවාට ආහාර කැවීමට සුදුසු පරිදි පරිසරය සකස් කර ගැනීමට මවක් බුද්ධිමත් විය යුතුය. අතීත මව්වරු මිදුලේ සුදුසු තැනක සිට දරුවාට පරිසරයේ වෙසෙන කුරුල්ලන් හා සමහර හඬවල් ගැන දරුවාගේ අවධානය යොමු කරමින් ගීයක කවිය කොටසක් මුමුණමින් දරුවාට ආහාර කැවූ බව සත්‍යයකි. මෙහිදී ආහාර බඳුන නිසි ලෙස ආවරණ කිරීමටද ඔවුන් අමතක නොකළහ.
දරුවාගේ ආහාර බඳුනේ වසන මැස්සන් වරින් වර පලවා හරිමින් හිස කසමින් නිවස ඉදිරිපසින් ගමන් කරන කිසිවෙකු සමගින් කතාවක නියැළෙමින් දරුවාට සැරවැර කරමින් හෝ බලකරමින් හෝ දරුවාට ආහාර කවන කටයුත්ත කිසි විටෙකත් නොකළ යුතුය. එවැනි ප්‍රතිචාරාත්මක නොවන ආහාර කැවීමේ රටාවන් තමන් අතින් සිදුවන බව නොවැටහෙන තාක්කල් දරුවෙකුට පෝෂණයෙන් පිරුණු ගුණාත්මක හෝ ප්‍රමාණාත්මක ආහාරයක් ලබාදීමට මව අසමත් වේ. මෙවැනි දුර්වල ආහාර කැවීමේ රටාව තවදුරටත් කොටස් තුනක් යටතේ අවධානයට ලක්කළ හැකිය.
* දරුවාට ලබාදෙන ආහාර ප්‍රමාණය මව විසින් පාලනය කිරීම.
* දරුවා විසින් ආහාර කැවීමේ අවස්ථාව පාලනය කිරීම.
* ආහාර කැවීමේදී දක්වන නොසැලකිල්ල.

මේ අනුව ඔබ තේරුම් ගත යුත්තේ දරුවාට ආහාර කවන අවස්ථාවන්හිදී දරුවාට තවත් ආහාර අවශ්‍යද නැද්ද යන්න පිළිබඳ දරුවා දක්වන ඉඟි මෙන්ම වචනවලට මවක් විසින් නොපමාව දක්වන ප්‍රතිචාරය මගින් දරුවා සහ මව අතර ඇතිවන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ඉතාම වැදගත් වන බවයි. මේ අනුව මවක් විසින් දරුවෙකුට කෑම කවන මොහොතක අනිවාර්යයෙන් අවධානය යොමු කළ යුතු කරුණු තුනක් මෙහිලා සඳහන් කළ හැකිය.
* ආහාර කැවීම දරුවාට
කුසගිනි ඇති බව හඳුනා ගෙන සිදු කිරීම.
* මනාව හා පිරිසිදුව සකස් කරගත් එක් ස්ථානයකදී ආහාර කැවීම.
* දරුවා සමග ඉතාම සුහද හා ප්‍රසන්න ලෙස අන්‍යෝන්‍ය සම්බන්ධය ගොඩ නගා ගෙන ආහාර කැවීම.
ඉතාම සරලව කිවහොත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විග්‍රහ කරන ආකාරය අනුව ප්‍රතිචාරාත්මක ආහාර කැවීමක් යනු “ක්‍රියාකාරී ආහාර කැවීම” (Active Feeding) ලෙස නිර්වචනය කළ හැකිය.

ක්‍රියාකාරී ආහාර කැවීමේ වාසි
ක්‍රියාකාරී ආහාර කැවීමේ වාසි මවට හෝ දරුවා රැකබලා ගන්නා පාර්ශ්වයට මෙන්ම දරුවාටත් යන දෙපාර්ශ්වයටම ලැබේ. එම වාසි කෙටි කාලීන හා දිගු කාලීන වාසි වශයෙන්ද විග්‍රහ කළ හැකිය. දරුවාට ලැබෙන කෙටි කාලීන වාසි වන්නේ ආහාර ගැනීම සඳහා දරුවා ධෛර්යමත් වීම, දරුවා ආහාර ගැනීමට ප්‍රියතාවයක් දැක්වීම, දරුවාගේ සන්නිවේදන කුසලතා දියුණුවීම, දරුවාගේ අවධානය ඉහළ යාම ආදියයි. එහි දිගු කාලීන වාසි කීපයක් වන්නේ සෞඛ්‍යය සම්පන්න ආහාර ගැනීමට දරුවා හුරුවීම, නිසි ශාරීරික හා මානසික වර්ධනයක් සිදුවීම. දරුවාගේ සමාජීය සංවර්ධනය හා ස්වාධීනත්වය දියුණු වීම ආදියයි.

(Health ඇසුරින්)
කීර්ති එස්. කුමාර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>