TT Ads

අලුත උපන් කිරිකැටියා රැක බලා ගැනීම අපි හිතන තරම් ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒ සඳහාත් නිවැරදි අවබෝධයක් තිබිය යුතුයි. ඔබේ ගෙදරට අලුතෙන් පැමිණි අමුත්තෙක් විදියටනේ ඔබේ පුංචි බබාව සාමාන්‍යයෙන් ඔබ හඳුන්වන්නේ. ටිකක් හිතන්න, එයා අපේ ලෝකයට ආපු අමුත්තෙක් නම් එයා අපි කියන විදියටනේ ඉන්න ඕනේ. ඒත් එයා එහෙම නෑ නේද? අපිට ඕන වෙලාවට නිදා ගන්නේ නෑ. කිරි බොන්නේ නෑ. නැළවෙන්නේ නෑ. මේ වගේ හැම වැඩක්ම කරන්නේ එයාට ඕන විදියට තමයි. කොටින්ම කීවොත් බබාට අපව තේරුම් ගන්නම බෑ. ඒ නිසා එතකොට අපිට සිදු වෙනවා එයාගේ ලෝකෙට යන්න. එහෙම ගිහිල්ලාම එයාව තේරුම් ගන්න. එහෙම බැලුවොත් අපි තමයි එයාගේ ලෝකේ අමුත්තෝ.

මේ පුංචි පැටියාට බිලිඳු සුවය සලසන්න නම් බිලිඳු චර්යා ගැන නිවැරදි අවබෝධයක් තියෙන්නම ඕනේ. එහිදී අවධානය යොමු කළ යුතු මුල්ම කාරණය තමයි බබාගේ හැඬීම. බබාලාගේ එකම සන්නිවේදන මාධ්‍යය තමයි අඬන එක. එයාලා නිදිමතටත් අඬනවා. බඩගින්නටත් අඬනවා. තෙමා ගත්තාමත් අඬනවා. ඒ නිසා මව්වරුන්ට අවබෝධයක් තිබිය යුතුයි ඇත්තටම බබා අඬන්නේ ඇයි කියලා.

ඊළඟ කාරණය තමයි බබාගේ නින්ද, අලුත උපන් බබා හොඳට බඩ පිරිලා උණුසුමට, සුවපහසුව ඉන්නවා නම් පැය විසි හතරෙන් පැය 18ක් විතර සුවසේ නිදියනවා. වැඩි කාලයක් නිදියනවා කියන්නේ කලබල වෙන්න කාරණයක් නොවෙයි.

පුංචි පැටියාගේ පැහැය රෝස පාටයි. කළු බබෙක් වුණත් එයාගේ රෝස පාටක් තියෙනවා. ඒ වගේම බබාගේ ඇස් හරිම දීප්තිමත්. මෙයා හරිම ක්‍රියාශීලියි.

හොඳින් අතපය සොලවනවා. පුරුදු කෙනෙක් වගේ කිරි උරා බොනවා. චූටි අතින් මොනවා හරි දෙයක් අල්ලා ගන්න වුණත් මෙයාලට පුළුවන්. ඒ වගේම අලුත උපන් බබාලා සීතලට හරිම සංවේදීයි. ඒ නිසා එයාලව තොප්පි මේස් දාලා හොඳින් ඔතලා උණුසුම ආරක්‍ෂා කරන්න ඕනේ. දරුවෙකු අධික ශීතලට නිරාවරණය වුණොත් නිල් පැහැ වෙන්න පුළුවන්. ඒ වගේම දිගටම හඬන්නත් පුළුවන්. ඒ නිසා බබාගේ උණුසුම ආරක්‍ෂා කිරීම ඉතා වැදගත්.

ඒ වගේම අම්මා කෙනෙක් අලුත උපන් දරුවාගේ අවදානම් තත්ත්ව පිළිබඳවත් දැන සිටිය යුතුයි. දරුවෙකුගේ හැඬීම වෙනුවට කෙඳිරි ගෑමක් ඇහෙනවා නම් ඒ ගැන ඔබේ අවධානය යොමු විය යුතුමයි. ඒ වගේම හොඳින් උණුසුම් කර තිබියදීත් දරුවාගේ ශරීරය සීතල වීම සහ නිල් පැහැ වීමත් අවදානම් තත්ත්වයක්. දරුවා අධික ලෙස හැඬීම හෝ නොකඩවා මළානිකව සිටීමත් අවදානම්.

දරුවාගේ ක්‍රියාකාරිත්වය අඩු වී මළානික වීම, අත්පය සොලවා ක්‍රියාශීලී නොවීම යනාදිය අපට නිවසේදී බලන්නට පුළුවන් කාරණා නොවෙයි. ඒත් එක්කම හොඳින් කිරි උරා බිවූ දරුවා එක දිගට කිරි බීම ප්‍රතික්‍ෂේප කිරීමත් දරුවාගේ ශරීරය කහ පැහැ ගැන්වීමත් අවදානම් ලක්‍ෂණයක්. මේ ඕනෑම අවස්ථාවක ඔබ දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම ඉතා වැදගත්.

පසු ප්‍රසව සමයේ ඔබටත් ඔබේ බිලිඳාටත් ඇතිවන අසාමාන්‍ය තත්ත්ව හඳුනා ගැනීමටත්, නිසි පිළියම් යෙදීමටත් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ සහය ලබා ගත හැකියි.

නිලුක්ෂි තිලකසිරි
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී අනුරාධපුර ශික්ෂණ රෝහල

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>