TT Ads

වර්තමානයේ කුඩා දරුවන් අතර ඉතාම බරපතළ ලෙස දැකිය හැකි තත්ත්වයක් වනුයේ අධික තරබාරුවයි. දරුවන් මෙසේ තරබාරු වීමට ප්‍රධාන හේතු සාධක දෙකක් බලපෑම් කළ හැකිය. ඉන් පළමු වැන්න ප්‍රවේණිය හෙවත් පවුල් සම්භවයයි. දෙවන සාධකය වනුයේ වර්තමානයේ දරුවන් බහුල ලෙස වැරදි ආහාර පුරුදුවලට යොමු වීමයි.

දරුවන්ගේ පවුල් සම්භවය මත ස්ථුලතාවය ඇති වීම වෙනස් කිරීම තරමක් අසීරු වුවද එවැනි තත්ත්වයේ ස්ථුලතාවයෙන් මිදීමට වුවද ව්‍යායාම, ආහාර පාලනය ආදි තත්ත්වයන් හරහා පුළුවන. වැරදි ආහාර නිසා දරුවන් ස්ථුලතාවයට පත්වීම පහසුවෙන්ම පාලනය කළ හැකි තත්ත්වයකි. මේ සඳහා පෙරමුණ ගත යුත්තේ දෙමාපියන්ය. සකස් කළ කෑම, කෙටිකෑම හා පැණිබීම වැනි නරකම තත්ත්වයන් ඉතා ශීඝ්‍රයෙන් දරු පරපුර ගිලගෙන ඇති අතර පහසුව මෙන්ම නොදැනුවත්කම නිසාද මවුපියන් දරුවන්ට රිසි සේ මේ නරක ආහාර භුක්ති විඳින්නට පූර්ණ නිදහස ලබා දී ඇත.

පැණි බීම, පිට්සා, බර්ගර් බන්, ප්‍රයිඞ් රයිස්, ටේස් වර්ග, ජෑම් හා සෝස් යෙදූ ආහාරපාන, මස් සහිත ආහාර, චීස් බටර් යෙදූ ආහාර, කිරි පැකට්, ගැඹුරු තෙලේ බදින ලද ආහාර වර්ග වලින් සමහර විට වර්ග තුන හතරක් දිනපතා අනුභව කරන දරුවන් වර්තමානයේ බහුල වී ඇත්තේ දෙමාපියන්ගේම වරදිනි. සමහර දෙමාපියන් මෙවැනි ආහාර දරුවන්ට කවන්නේ අනිත් දෙමාපියන්ට පෙනෙන ලෙසින් මහත් උජාරුවෙනි. බර්ගර් බන් එකක් කා පැණිබීම බෝතලයක් බොන දරුවා කුරහන් හැලපයක් කා තේ කෝප්පයක් පානය කරන දරුවාට වඩා සමහර මවුපියන්ට වීරයෙකි. පොල් රොටියක්, ලුණු මිරිසක් සමග කෑම පෙට්ටියක තිබෙනු දකින එවැනි පාසල් දරුවකු තම පංති සගයාට රොටියා, හැලපයා වැනි නම් වලින් අමතනවා ඔබ අසා තිබේද?

ළමා වයසට ඔරොත්තු නොදෙන පැණිබීම, කෙටි කෑම, සකස් කළ ආහාර ක්ෂණික නූඞ්ල්ස්. ජෑම්, සෝස්, බූන්දි, මස්කට්, දොදොල් ආදියෙහි බහුල ලෙස අඩංගු වන රසකාරක, වර්ණකාරක, පැණි රසකාරක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය ආදිය හා අධික මේදය මගින් තරබාරු වීමට අමතරව අංශභාග රෝගය, අක්මාව ඉදිමීම, මාරාන්තික පිළිකා, කොලෙස්ටරෝල්, දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, හුස්ම ගැනීමේ අපහසුතාව වැනි සංකූලතා පහසුවෙන්ම හට ගනී.
දරුවන් නිවැරදි ආහාර පුරුදු සඳහා නිවැරදි ලෙස යොමු කිරීමට නම් වැඩිහිටියන්ද මේ පිළිබඳව දැනුවත් වී සිටීම ඉතා වැදගත්ය.

අධික ස්ථුලතාවයෙන් දරුවන් මුදවා ගැනීමට දෙමාපියන් කළ යුතු දේ.

 දරුවාට යහපත් ආහාර සුසිරිත්වල වටිනාකම අවබෝධ කරවමින් අලුත් එළවළු, පලතුරු පලා වලින් සමන්විත ආහාර වේල් වලට දරුවා හුරු කරවන්න.
 පිටතින් ගෙනෙන ආහාර පියවරෙන් පියවර නිවසට ගෙන ඒම අඩු කරන්න.
 රතු මස් වර්ග භාවිතය උපරිම ලෙස අවම කර අලුත් මාළු (විශේෂයෙන් කුඩා මාළු) අනුභවයට දරුවා හුරු කරවන්න.
 විශාල ආහාර ප්‍රමාණයක් අනුභව කිරීම වළක්වා වරකට ගන්නා ආහාර ප්‍රමාණය සීමා කරන්න.
 ස්වභාවික පලතුරු බීම සීනි නොදමනා බීමට හුරු කරවන්න.
 රාත්‍රී නිදි වැරීමෙන් දරුවා වළක්වන්න.
 නිදන ඇඳේදී පොත් කියවීම, රාත්‍රී කාලයේ වැඩි කාලයක් පරිගණක භාවිත කරනවා නම් ඒ පිළිබඳව අවධානයෙන් සිට ඒවා වළක්වන්න.
 නියමිත පරිදි ජලය පානය කිරීමට දැනුවත් කරවන්න (දිනකට මිලී ලීටර් 250 ජල වීදුරු 5-8ක් පමණ)
 තේ වුවද සීනි නොදමා පානයට හුරු කරවන්න (තේ වල නියම රසය දැනෙන්නේ එවිටය.)
 කිරි පිටි භාවිතයෙන් ඈත් කරවන්න
 දහවල් කාලයේ නින්දෙන් වළක්වන්න.
 ශාරීරික ව්‍යායාමවලට නිසි ලෙස යොමු කරවන්න.
 ක්‍රීඩාවල නිරත වීමට අවම වශයෙන් දිනකට පැයක්වත් ඉඩ ලබා දෙන්න.
 ආහාර වේලෙන් වේලට පැහැදිලි ලෙස ආහාර වේල් වෙනස් කරන්න.
 ධාන්‍ය, පියලි ඇට වර්ග ආහාර වේලට එකතු කරන්න.
 දරුවා මානසිකව ප්‍රීතිමත් කරවීමට අවශ්‍ය ගෙදර පසුබිම සකසන්න.

කීර්ති එස්. කුමාර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>