TT Ads

 

යුවළක් විවාහ වූ පසු ඔවුන්ගේ ඊළඟ අපේක්ෂාව දරු සම්පතකි. නමුත් ඇතැම් විට මේ සිහිනය ඉටු කර ගන්නට නොහැකි වන අවස්ථාද යෙදේ. එවිට වෛද්‍ය ප්‍රතිකාර, භාර හාර වීම වැනි නොයෙකුත් දේ කර එයිනුත් දරු සම්පතක් නොලද්දේ නම් ඊළඟට කරන්නේ හිත හදා ගැනීමය. මෙහිදී බොහෝ විට එම අඹුසැමියන් වරද පටවන්නේ තමන්ගේ කර්මයටය. පෙර කළ කර්මවල ප්‍රතිඵලයක් නිසා තමන්ට මේ භවයේ දරුවන් නොලැබුයේ යැයි සිතන්නේ බෞද්ධ අපය. ඒ අප සෑම දෙයක්ම කර්මයට භාර කිරීමට පුරුදු වී සිටින නිසාය.

සංයුක්ත නිකායේ යක්ඛ සංයුක්තයෙහි දක්වන අන්දමට මව් කුසක කළලය නිර්මාණය වීමට සාධක 3ක් බලපායි.
1. මාතා උතුහි හෝති
(මව සෘතුවට පත් විය යුතුය)
2. මාතා පිතුන්නං සන්නිපාතතා
(මව පියා එකතු විය යුතුය)
3. ගන්ධබ්බානං පච්චුපට්ටිතෝ
(විඥානයක් ඇතුළු විය යුතුය)
තෙවැනි කාරණයෙහි ගන්ධබ්බ යනුවෙන් අදහස් කරන්නේ පාවෙන ගන්ධබ්බයකු පිළිබඳව නොව විඥානයයි. අප මේ අයුරින් පවතින්නේ විඥානය තිබෙන නිසාය. අප මිය යාම යනු විඥානය අප අත හැර යාමය. අපට දකින්නට ලැබෙන්නේ මිය ගිය පුද්ගලයාගේ නිසල දේහයයි. ඒ මිස ඒ තැනැත්තාගේ විඥානය කොහේ ගියාද යන්න අපට දැක ගන්නට හෝ දැන ගන්නට ක්‍රමයක් නැත.

එසේ නම් විඥානයට කුමක් සිදුවන්නෙහිද?
බුදුදහමෙහි එය මෙලෙස විස්තර වේ.
“විඥානං මාතුකච්චියා ඔක්කම්”
මෙහි අරුත නම් “කර්මානුරූපව මිනිස් හෝ තිරිසන් මවකගේ කුසයට බැස ගැනීම” යන්නය. ගන්ධබ්බ යනුවෙන් දක්වා තිබෙන්නේ අන් කිසිවක් නොව මෙම විඥානයයි. ඉහත දක්වන ලද සාධක තුනෙන් මුල් සාධක දෙක සම්පූර්ණ වූ මවකට තුන්වෙනි සාධකය එක් වූ විට කළලයක් සෑදීම (පඨමං හෝති කළලං) සිදුවනු ඇත.
දරුවකු පිළිසිඳ නොගැනීමට හේතුව කුමක්ද?
වෛද්‍ය පරීක්ෂණවලට ලක් කර බලන විට මුල් සාධක දෙක නිසි ලෙස සිදුවන බව සනාථ විය හැකිය. එවැනි මවකට තුන්වෙනි සාධකයද සාර්ථකව බලපෑම තුළින් කළලයක් හට ගැනීම සිදුවෙයි.
නමුත් ඇතැම් අවස්ථාවලදී මේ තුන්වෙනි සාධකයද සාර්ථක වී දරු ගැබක් හට ගත්තත් මඳ කලෙකින් එය ඉබේම ගබ්සා වී යන අවස්ථාද යෙදේ. නැතහොත් මුල් කරුණු දෙකෙහි කිසිදු දෝෂයක් නැතිව තිබියදීත් දරු ගැබක් නොපිහිටන්නට පුළුවන.
කළලයක් නොපිහිටන්නේ මව් කුසට විඥානයක් නොපැමිණීම නිසාය. එසේ වීමට කර්මයේ බලපෑමක් තිබේ.
සංසාරයේ වෙනත් භවයන්හිදී එම අඹු සැමි දෙදෙනා දරුවන්ට කෲර අන්දමින් සලකා ඇත්නම් එම අකුසලය නිසා දරුවන් නොලැබී යා හැකිය. මේ සම්බන්ධ නිදසුන් බොහෝ සෙයින් බුදුදහමෙහි දැක්වේ.
(මේ එවැනි කතා පුවතකි.)
එක් තරුණ සිටු යුවළකට දරුවන් ලැබුණේ නැත. ඒ සඳහා කුමන ආකාරයේ ආගමානුකූල පුද පිළිවෙත් කළද සිටු දේවියට දරු ගැබක් පිහිටියේම නැත. බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා නිවසට වැඩම කරවා දානයක් පිළිගැන්වුවහොත් දරු සම්පතක් පිළිසිඳිය හැකි බව මේ අතර ඔවුනට කිසිවෙකුගෙන් උපදෙස් ලැබී තිබිණි. මේ උපදෙස මහත් ගෞරවයෙන් පිළිගත් එම සිටු යුවළ බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලාට සිය නිවසේ දන් පිණිස ආරාධනා කළහ. එදින ඉතා ප්‍රණීත අන්දමින් සිටු මැදුරේ දානය පිළියෙළ කොට බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා වැඩම කරන්නට ආසන්නයේ තරුණ සිටුවරයා මැදුරේ උළුවස්ස ළඟ සිට දාන ශාලාව දක්වා අලංකාර පලසක් එලුවේ අධිෂ්ඨානයක්ද කරමිනි. එම අධිෂ්ඨානය නම් “මේ දානයෙන් පසුව අපට දරුවකු ලැබෙන්නේ නම් බුදුරදුන් මේ පලස මතින් වාඩීවා” යන්නය.
බුදුරජාණන් වහන්සේ සිටු මැදුරට වැඩම කර උළුවස්ස ළඟ නතර වූහ. ඉන්පසු එම පලස හකුලා දමන ලෙස ආනන්ද තෙරුණුවන්ට ඉඟියක් දැක්වූ සේක. ආනන්ද හිමියෝ මැදුරේ සේවකයකු ලවා එම පලස ඉවත් කිරීමට පියවර ගත්හ.
බුදුරදුන් ඇතුළු පිරිස දන් වළදා අවසානයේදී සිටුතුමා බුදුරදුන්ට වැඳ නමස්කාර කර ඉදිරියේ එකත්පස්ව වාඩි විය.
“ස්වාමිනි බුදුරජාණන් වහන්ස, ඔබ මහත්සේ පලස මතින් වඩින්නේ නැතුව එය හකුලා දමන්නට පැවැසූ හේතුව කුමක්ද? යනුවෙන් සිටුවරයා බුදුරදුන් අමතා ඇසීය. ඊට බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.
“පලස උඩින් වැඩියේ නැත්තේ ඔබට මේ භවයේත් දරුවන් නොලැබෙන නිසයි. ඔබ පලස එලන විට එවැනි අධිෂ්ඨානයක් කළා නේද?” බුදුරජාණන් වහන්සේ එසේ පවසන විට සිටුවරයාගේ සිතේ කම්පාවක් ඇති විය.
“බුදුරජාණන් වහන්ස, මටත් මගේ දේවියටත් දරු සම්පතක් නොලැබීමට හේතුව කුමක්ද?” අනතුරුව සිටුවරයා විමසුවේය.
එවිට බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ අතීත භවයක් පිළිබඳව ගෙන හැර දැක්වූ සේක.
මේ සිටු යුවළ පෙර ආත්මභාවයකදී අඹු සැමියන් ලෙස ජීවත්ව ඇති අතර එකල ඔවුන් කලේ ප්‍රත්‍යන්ත දේශවලට කණ්ඩායම් සමග ගොස් ව්‍යාපාරික කටයුතු කිරීමය. එක් දිනක මෙසේ යන විටදී ඔවුන් ගමන් කළ නැව කුණාටුවකට හසු විය. ලෑලි කෑල්ලක් බදා ගත් මොවුන් දෙදෙනා කෙසේ හෝ වෙරළකට ගසා ගෙන ඇවිත් තිබිණි. ඒ මිනිස් වාසයෙන් තොර පුංචි දූපතකටය. එම දූපතේ සිටියේ කුඩා කුරුල්ලන් පමණි. කුණාටු සහිත කාල වකවානුවේ මිනිස් වාසයකින්ද තොර මේ කුඩා දූපතේ මෙම යුවළට කෑමට සොයා ගත හැකි යමක් තිබුනේ නැත. ඉන්පසු ඔවුන් කළේ අර කුරුල්ලන්ගේ බිත්තර අමු අමුවේම කඩා පානය කිරීමය.
ටික කලකින් බිත්තර අවසන් විය. ඉන්පසු කන්නට දෙයක් නොවූ නිසා අමු අමුවේ කුඩා කුරුලු පැටවුන්ව කෑහ. මෙසේ සිටින අතරේ කුණාටුව සංසිඳිනි. ඉන්පසු ලෑලි එකතු කර පහුරක් සාදා ගෙන ඔවුහු ආපසු සිය ගම් බිම් බලා පැමිණියහ.
එසේ වුවද ඔවුන්ට දූපතේදී ඇති වූ පුරුද්ද නතර කර ගත නොහැකි විය. අමු බිත්තර, අමු මස් කෑම දිගටම ඔවුහු කරගෙන ගියහ. ඒ අකුසල කර්මය හේතුවෙන් උපනුපන් භවයක් පාසාම මේ පිරිමියා විවාහ කරගත් කිසිදු කාන්තාවකට දරු ගැබක් නොපිහිටි අතර මේ කාන්තාවටද කිසිදු ආත්ම භවයකදිවත් මව් පදවිය ලද නොහැකි විය. යළි මෙම ආත්මභවයේදී ඔවුන් අඹුසැමියන් ලෙස හමු වුවත් දරු සම්පතක් ලබන්නට නොහැකි වන ලෙස ඔවුන් පෙර භවයක කළ එම අකුසල කර්මය බලවත් වී තිබිණි.
දරුවන් නොලැබීමට කර්මයෙහි බලපෑම සිදු විය හැකි ආකාර තව දුරටත් මෙසේ දැක්විය හැකිය.
ඇතැම් විට විවාහක යුවළකට දරුවන් නොලැබෙන්නේ භවයක් භවයක් පාසා ඔවුන් බැඳීම් ටිකෙන් ටික අඩු කරමින් පැමිණීම නිසා විය හැකිය. ඒ අනුව දරුවන්ද අඩු තරමින් පැමිණ මේ භවයේ දරුවකු නොලැබෙන තත්ත්වයට තණ්හාව අත්හැර දැමීම පුරුදු කළා වන්නට පුළුවන. ඒ අනුව දරුවන් නොමැති යුවළක් දරුවකු අරන් හදා ගන්නට උනන්දු නොවන්නේ නම් කළ යුත්තේ දරුවකු ගැන සිතීම අත හැර ඔවුනොවුන් කෙරෙහි ඇති බැඳීමද ටිකින් ටික අඩු කර ගනිමින් එම බැඳීම්වලින් හැකි තාක් මිදීමය. මෙලෙස දරු සම්පතක් හිමි නොවීම මත විමුක්ති මාර්ගය කරා යන ගමන තවත් පහසු වනු ඇත. දරුවකු නොලැබීම අසුබ දෙයක් හෝ අවාසනාවන්ත දෙයක් ලෙස බුදු දහමේ දැක්වෙන්නේ නැති බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය.
මේ භවයේ තමන් විසින්ම කර ගන්නා ලද කර්ම නිසාද දරු සම්පත් නොලැබී යා හැකිය.
දරු සම්පත් හට ගැනීම වැළැක්වීම සඳහා භාවිත කරන ඇතැම් ඖෂධ මේ කාලයේ බහුලව අලෙවි වන බව විවිධ සමීක්ෂණ මගින් හෙළි වී තිබේ. විශේෂයෙන් මේ තත්ත්වය අවිවාහක යුවතියන් අතරේ බහුලය. මෙබඳු ඖෂධ දිගු කලක් ගැනීම පසු කලෙක දරු සම්පත් නොලැබී යාමට හේතු විය හැකිය. මේවා පූර්වකර්ම නොව තම තමන් මේ භවයේ කරගත් කර්මය.දරු සම්පතක් හිමි වුවත් ඒ දරුවා අනපෙක්ෂිත අන්දමින් අකාලයේ මිය ගියොත් එයද පෙර කළ කර්මයක ප්‍රතිඵලයක්ද? මෙය ඇතමුන් සුලබව නගන පැනයකි.
තමන් ඉතා ආදරයෙන් ඇති දැඩි කළ දරුවා අකල් මරණයකට ලක් වීම දෙමාපියන්ගේ පැත්තෙන් බලන විට පෙර කළ අකුසල කර්මයක ප්‍රතිඵලයක් වන්නට බැරිකමක් නැත. මනුෂ්‍යයකු වී ඉපදීමට ලැබීම සුගතිගාමී උප්පත්තියකි. නමුත් කෙටි කලකින් අල්පායුෂ භුක්ති විඳ මිය යාමට සිදුවීම දෙආකාරයකින් විස්තර කළ හැකිය.
ඉතා හොඳින් පින් දහම් කරමින් ධාර්මිකව දිවි ගෙවූ කෙනෙකුට මරණාසන්න අවස්ථාවේ ඇති වූ දුර්වල සිතිවිල්ලක් මත මනුෂ්‍ය ලෝකයෙහි උපත ලැබූවත් එම උප්පත්තිය දුර්වල උප්පත්තියක් විය හැකිය. ඒ අනුව මරණාසන්න මොහොතේ ඇති වූ සුළු අකුසල කර්මයේ බලය ක්‍රම ක්‍රමයෙන් ක්ෂය වී යන අතරේ පෙර භවයේ කළ කුසල්වල බලය ක්‍රමයෙන් වර්ධනය වෙයි. ඒ අනුව අකාලයේ මිය යන්නේ ඊළඟ සුගති උප්පත්තිය ඒ වන විට සැකසී ඇති නිසාය.
අනෙක් අතට පෙර කළ බලවත් අකුසල කර්මයන් ඵල දීම නිසා අඩු ආයුෂත් භුක්ති විඳ මිය යාමටද පුළුවන.
මේ සියලු කරුණු අනුව සලකා බලන විට දරු සම්පතක් අහිමි වීම සම්බන්ධයෙන් විවිධ හේතු බලපාන බව ඔබට පැහැදිලි වනු ඇත.

කරන්දෙනියේ උණගස්වෙල
සිරි නිවේසාරාමාධිපති
ශාස්ත්‍රපති
පූජ්‍ය පිටිගල ධම්මවිනීත හිමිපාණෝ
අවධාරණය කරති

සැකසුම
ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>