TT Ads

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%-30% අතර ජනතාවක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණ වාර්තා මගින් හෙළිදරව් කර ඇත. දියවැඩියා රෝගය ඉතාම දුක්ඛදායක ප්‍රතිඵල රැසක්ම රෝගියාට අත්කර දීම ඉතාම භයානකම තත්ත්වයයි.

දියවැඩියාව ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියට සිදුවන අක්‍රමිකතාවන් නිසා රුධිර ග්ලූකෝස් මට්ටමේ සිදුවන අසාමාන්‍ය වෙනස්වීමය. වර්තමාන සමාජය තුළ ඉතා වේගයෙන් පැතිරීයන රෝගී තත්ත්වයක් බවටද දියවැඩියාව පත්ව තිබීම නිසා දගු කාලීනව අතුරු ආබාධවලට ගොදුරු වී සිටින රෝගීන් වර්තමානයේ බහුලය.

දියවැඩියා තත්ත්වය ඇතිවීමට බලපාන හේතු මෙසේය

ජීවන රටාවේ පවතින වැරදි පුරුදු
මානසික අසමතුලිතතාවය
සිරුර වෙහෙසවන වැඩ නොකිරීම
ව්‍යායාම නොමැතිකම.
දිවා ආහාරයෙන් පසුව නිදා ගැනීම.
පිෂ්ටය අඩංගු ආහාර අධිකව ගැනීම.

දියවැඩියාවේ රෝග ලක්ෂණ

අධික ලෙස මුත්‍රා පිටවීම.
නිතර අධික පිපාසයක් දැනීම.
මුඛය මෙන් ඇඟ වේලීම.
කම්මැලි බව (අලස බව) ඇතිවීම.
දෙපාවල දැවිල්ලක් මෙන්ම හිරියක් ඇතිවීම.
රාත්‍රී කාලය තුළ මුත්‍රා කරන වාර ගණන වැඩිවීම.
ශරීරයේ අප්‍රාණික බව ඇතිවීම.
කරකැවිල්ල හෝ ක්ලාන්ත ගතිය ඇතිවීම.
ශරීරයේ බර අඩුවීම.
තුවාලයක් සිදු වූ විට දිගු කාලයක් යනතුරු සුව නොවීම.
ඇස් බොඳව පෙනීම.

දියවැඩියාව නිසා ඇතිවන අතුරු ආබාධ

හෘදයාබාධ
පාද කපා දැමීමට සිදුවීම.
ආඝාතය හෙවත් අංශභාගය.
දෑස් අන්ධ වීම.
වකුගඩු අකර්මර්ණ්‍ය වීම.

 

 

දියවැඩියා රෝගය නිසි ලෙස පාලනය කිරීමට සුදුසු දේශීය ප්‍රතිකර්ම සමහරක්

නෙල්ලි ගෙඩි හත අටක් දවසකට කෑමට ගන්න.නෙල්ලි කුඩු තේ හැන්දකට මී පැණි බිංදු කීපයක් එකතු කර දිනකට වරක් බැගින් ආහාරයට ගන්න. නෙල්ලි ඇට කීපයක් රැයක් වතුර වීදුරුවකට පෙඟෙන්නට තබා එම වතුරට දෙහි බින්දු කීපයක් දමා පානය කරන්න. නෙල්ලි මදයේ ඉස්ම හා රසකිඳ ඉස්ම තේ හැන්දක් හෝ දෙකක් බැගින් දිනකට වරක් කෑමට ගන්න.එළවළු වෑංජන වලට කුරුඳු එකතු කර ආහාරයට ගන්න. කුරුඳු කුඩු වලින් සාදාගත් තේ දිනකට දෙවරක් පාවිච්චි කරන්න.ඉඟිනි ඇට වියළා කුඩු කර උණුවතුරට දමා පානය කරන.තෙබු කොළ සම්බෝලය සතියකට දෙවරක් පමණ ආහාරයට එකතු කර ගන්න.කෝවක්කා කොළ සම්බෝලය සතියකට වරක් ආහාරයට ගන්න.කොහිල අල, කොහිල දළු වෑංජනය සතියකට දෙතුන් වතාවක් ආහාරයට ගන්න. කොහිල අල වලින් සෑදු කැඳ සතියකට වරක්වත් පාවිච්චි කරන්න.කජු පුහුලන් කැබලි කපා ලුණු ස්වල්පයක් හා ගම්මිරිස් කුඩු ඉස ආහාරයට ගන්න.කටුලොවි ගෙඩි (උගුරැස්ස) කීපයක් සතියකට තුන් හතර වතාවක් කෑමට ගන්න.
කොතලහිඹුටු මුල් තම්බා පානය කරන්න.
සුදු ලූනු උයා ආහාරයට ගන්න.
සුදු ලූනු තැම්බූ වතුර බොන්න. තැම්බූ සුදු ලූනු ද ආහාරයට ගන්න.
රණවරා මල් හෝ පොතු තම්බා පානය කරන්න.
රණවරා පොතු කළං 4, ඉඟිනි පොතු කළං 4 බැගින් ගෙන වතුර අඬු කෝප්ප 2ක් එක් අඬු කෝප්පයකට සිඳ මී පැණි බිංදු කීපයක් දමා පානය කරන්න.
උළුහාල් ව්‍යංජන වලට දමා ආහාරයට ගන්න. උළුහාල් මිටක් රැයක් වතුර වීදුරුවක පෙඟෙන්නට තබා ඇටත් සමගම එම වතුර පානය කරන්න.
උළුහාල් කබලේ බැඳ කුඩු කර උණුවතුරට දමා තේ වෙනුවට පානය කරන්න.
ඇත්දෙමට යුෂ ගෙන තේ හැඳි දෙක බැගින් උදේ සවස පානය කරන්න.
පොළොස් වෑංජනය මෙන්ම පොළොස් මැල්ලුම ආහාරයට ගන්න. වරකා ගසේ ඉඳුණු කොළ කීපයක් ගෙන තම්බා එම වතුර පානය කරන්න. තේ වෙනුවට මෙය ඉතා ගුණදායක පානයකි. වරකා කොස්
ඇටවලින් වැලි කොස්ඇට සාදා ආහාරයට ගන්න.
මාදං ගෙඩි ආහාරයට ගන්න.
නමිනං ගෙඩියක් දෙකක් දිනකට ආහාරයට ගන්න.
ජම්බෝල කෑමට ගන්න. ජම්බෝල යුෂ පානය කරන්න.
අමු ඇඹරැල්ලා ගෙඩිවල පොත්ත ඉවත් කර බ්ලෙන්ඩර් කර යුෂ පානය කරන්න. ඇඹරැල්ලා ගෙඩි දෙක තුනක් පොත්ත සමග කුඩා කැබලිවලට කපා කෑමට ගන්න. ඇඹරැල්ලා වෑංජනයක් ලෙස සකස් කර කෑමට ගන්න. ඉඳුණු ඇඹරැල්ලා යුෂ පානය කරන්න.
සතියකට වරක් බැගින් කාමරංගා යුෂ පානය කරන්න.
අමු වෙරළු ගෙඩි කීපයක් බැගින් දිනපතා ආහාරයට ගන්න. කොළ කැඳ සාදන විට ඊට වෙරළු කොළ කීපයක්ද එක්කර ගන්න.
සාමාන්‍ය ප්‍රමාණයේ පැසුණු පේර ගෙඩියක් දිනකට ආහාරයට ගන්න. පේර කොළ කීපයක් වතුරේ දමා තබා උදෑසන පානය කරන්න. කොළ කැඳ සාදන විටෙක පේර කොළ කීපයක්ද ඊට එක්කර ගන්න.
ලේන බටු කරවිල ගෙඩි 3-4ක් බඳුනකට දමා කොටා එම යුෂ උදෑසන හිස්බඩ පානය කරන්න. තුඹ කරවිල වෑංජනය සතියකට තුන් හතර වතාවක් ආහාරයට ගන්න. කරවිල තම්බා ආහාරයට ගැනීමත් කරවිල සිහින්ව ලියා සම්බෝල සාදා ආහාරයට ගැනීමත් සුදුසුයි. කරවිල කොළ ඉස්ම මේස හැඳි දෙකක් බැගින් දිනකට පානය කරන්න. තුඹ කරවිල ඉස්ම මේස හැඳි දෙකක් හිස්බඩ පානය කරන්න. කරවිල, කොතල හිඹුටු, ඇඹරැල්ලා තේ හැඳි එක බැගින් ගෙන අඹරා සතියකට දෙතුන් වතාවක් කෑමට ගන්න.
හීන්බෝවිටියා දළු වෑංජනය සාදා ආහාරයට ගන්න. හීන් බෝවිටියා කොළ සම්බෝලය සාදා ආහාරයට ගැනීමත් සුදුසුයි.
අහුගෙඩි ඉදීමට පෙර කඩා ඉදීමට තබා බ්ලෙන්ඩර් කර එම යුෂ පානය කරන්න.
අට්ටික්කා කොළවලින් කැඳ සාදා පානය කරන්න. අට්ටික්කා ඇට චූර්ණය මී පැණි සමග ආහාරයට ගන්න.
ඇත්දෙමට පොත්තේ යුෂ ගෙන තේ හැඳි දෙකක් උදේ සවස පානය කරන්න.
බෙලි පත්‍ර මද පවනේ වියළා කුඩුකර උණුවතුර දමා තැම්බෙන්නට හැර උදෑසන පානය කරන්න.
ඉඳුනු බෙලි මදය ආහාරයට ගන්න. බෙලි මල් සමග බෙලිකටු තැම්බූ වතුර පානය කරන්න. බෙලි කොළ හත අටක් ගම්මිරිස් ඇට කීපයක් බාර්ලි ඇට තේ හැඳි දෙකක්
පෙඟෙන්නට තබා පැය දෙකකට පමණ පසු අඹරා දියකර හිස් බඩ පානය කරන්න.
දෙළුම් ඇට කෑමට ගන්න. දෙළුම් ගෙඩියේ පොත්ත වතුරේ පෙඟෙන්නට තබා අඹරා දියකර බීමට ගන්න.
දිනපතා උදෑසන ඉරමුසු, මොනරකුඩුම්බිය, ගොටුකොළ, මුගුණුවැන්න, එළබටු කොළ, පෙනෙල, හීන් උඳුපියලිය, හාතවාරිය ආදි කොළ කීපයක එකතුවෙන් කොළ කැඳක් සාදා පානය කරන්න. කොළ කැඳ සෑදීමේදී අලි පේර දළු දෙක තුනක්, පේර දළු දෙක තුනක් හා ඇඹරැල්ලා දළු දෙක තුනක්ද එකතු කර ගන්න.
කෙසෙල් මුව, තම්පලා, මුගුණුවැන්න, තෙබු, ගොටුකොළ, අඟුණ (තිත්ත අගුණ හා කිරි අඟුණ), ගිනිතිල්ලා දළු, කැරන්කොකු, කොහිල දළු හා අල, මදටිය කොළ, කිරිහැන්ද කොළ, ජපන් බටු කොළ, රණවරා කොළ, රාබු කොළ සුලබව ආහාරයට එකතු කර ගන්න.
ඉතාම වැදගත්ඉහත සඳහන් පානයන් හෝ කොළ කැඳ භාවිතා කරන අවස්ථාවල කිසිම විටෙක හකුරු, සීනි, පොල් පැණි, කිතුල් පැණි, රට ඉඳි ආදිය භාවිතා නොකළ යුතුය. එමෙන්ම රතු නාඩු හැර වෙනත් කිසිම සාමාන්‍ය වෙළෙඳ පොළේ ඇති සහලකින් පිසු බත් ආහාරයට නොගත යුතුය. රතු නාඩු වෙනුවට සුවඳැල්, කුරුළු තුඩ, පච්චපෙරුමාල්, රතු හීනටි, කළු හීනටි, රත්දැල්, ගෝනබරු/මඩතවාලු, කහවනු ආදි දේශීය සහල් වර්ග වල බත් කෑමට ගත හැකි නම් වඩාත්ම ගුණදායකය. මේ කුමන හාලක බතක් වුවත් අඬු
කෝප්ප එකක් හෝ එක හමාරකට වඩා ආහාරයට නොගත යුතුය. දහවල් කෑමට එළවළු දෙකක්, මාළු පෙත්තක් හෝ කුඩා මාළු, හාල්මැස්සන්, බිත්තර, කඩල, මුං ඇට, කව්පි, වැනි වෑංජනයක්, කොළ මැල්ලුමක් වශයෙන් වෑංජන හා මැල්ලුම් වැඩිපුර ආහාරයට එක්කර ගත යුතුය. රාත්‍රී ආහාරයට කුඩා ප්‍රමාණයේ කුරහන් රොටියක් හෝ කුරහන් ඉඳි ආප්ප තුනක් හෝ කුරහන් පිට්ටු කෑල්ලක් (අඟල් 3ක පමණ දිග) සහ එළවළු සුප් එකක් හෝ කඩල, මුං ඇට, කම්පි වැනි තැම්බු ඇට වර්ගයක් හෝ හබල පෙති අඬු කෝප්ප එකහමාරක් පමණ පොල් ස්වල්පයක් යොදා
ආහාරයට ගැනීම සුදුසුය.

සීමා කළයුතු එළවළු හා පලතුරු වර්ග

එළවළු, බීට්, කොස්, දෙල්, අළුකෙසෙල්, පුහුල්, අර්තාපල්, බතල, මඤ්ඤොක්කා, කිරි අල, වැල් අල වර්ග

පලතුරු
අඹ, අන්නාසි, කාමරංගා, වරකා, වැල, ඇපල්, මිදි, රටඉඳි, වියළි මිදි

උපදෙස්
වල්ගම රජයෙ ආයුර්වේද රෝහලේ
වෛද්‍ය ධම්මිකා අමරසේකර

සටහන
කීර්ති එස්. කුමාර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>