TT Ads

ප්‍රසව වේදනා ඇතුවත්, ප්‍රසව වේදනා නැතුවත් දරුවෙකු ලැබෙන්නට ඉන්නා අම්මා කෙනෙකු සූතිකාගාරයට යොමු කරන අවස්ථා තිබෙනවා. ප්‍රසව වේදනාවලට වඩා මේ වෙලාවේ ඔබේ හිතේ ඇති වන පීඩනය ප්‍රබලයි. සූතිකාගාරය ගැන ඔබ අසා ඇති කතා නිසා මේ පීඩනය දෙගුණ වෙන්නටත් පුළුවන්. 

දැන් සියල්ල සූදානම්. ඒත් ඔබත් ගෙදර අයත් ඉන්නේ බයවෙලා. ඔබ ළඟ ඔබේ කවුරුත් නෑ. සූතිකාගාරය ඇතුළට කාටවත් බලන්න එන්න දෙන්නෙත් නෑ. සූතිකාගාරය තුළ සාමාන්‍යයෙන් සිදුවන දේ පිළිබඳව සරල අවබෝධයක් ඔබට තිබීම ඔබේ සිතට මෙන්ම ඔබේ ළබැදියන්ටද මහත් අස්වැසිල්ලක් වන බව දන්න නිසා මම අද ඒ ගැන ලියන්න හිතුවා.

සූතිකාගාරය කියන්නේ ඔබට සහ ඔබේ දරුවාට ඉතා ආරක්ෂිත තැනක්. එහිදී ඔබේ දරුවාට මෙලොව එළිය දකින්න සහය වන පළපුරුදු කණ්ඩායමක් සිටිනවා. වෛද්‍යවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන්, හෙද නිලධාරීන් මෙන්ම කනිෂ්ඨකාර්ය මණ්ඩලයෙන්ද ඔබට මනා සහයක් ලැබෙනවා. ඔබටත් දරුවාටත් කිසි අනතුරක් නොවී ප්‍රසවය සිදුකර පසු ප්‍රසව වාට්ටුවට ඔබ භාර කරන තුරු ඔබව රැකබලා ගැනීම සූතිකාගාර කාර්ය මණ්ඩලයේ වෘත්තීමය වගකීමක්.

එහෙමයි කියලා ඔබට අවසර නෑ ඕන ඕන විදියට වැඩ කරන්න. මොකද දරුවා ආරක්ෂිතව බිහි කිරීමේලා ප්‍රධාන වගකීම තියෙන්නේ මවටයි. ඔබට ඉතා හොඳ අවබෝධයක් සහ සංයමයක් මෙන්ම දරා ගැනීමේ ශක්තියක්ද තිබිය යුතු වෙනවා. වතුර බෑග් එක කඩනවා, සින්ටො දෙනවා, තටමනවා, මැහුම් දානවා. ඔබ මේ වගේ කතා අහලා ඇති. සූතිකාගාරයට ඔබ ඇතුළත් කර ගත් පසු වෛද්‍යවරයකු විසින් ඔබ පරීක්ෂා කර බලා අවශ්‍ය පියවරයන්ට යොමු වෙනවා. වැදගත්ම දේ තමයි සූතිකාගාරය තුළදී දරු උපත සඳහා ඔබ ලබා දෙන සහයෝගය. ඔබේ සහයෝගය නොමැති වුවහොත් දරු උපත සංකීර්ණ සහ සංකූලතා සහිත විය හැකියි.
මෙහිදී ඔබ වරින් වර යෝනි පරීක්ෂණයන්ට, උදර පරීක්ෂණයන්ට භාජනය වෙනවා. ඔවුන් ඔබේ තත්ත්වය, දරුවාගේ තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයක් යොමු කරනවා.

ප්‍රසව වේදනා ඇති වූ විට තත්ත්වය ටිකක් සංවේදී වෙනවා. ඔබ දන්නවා ලොව වේදනාකාරීම ක්‍රියාවලියකින් පසු උදාවන සුන්දරම අසිරිමත්ම මොහොත දරු උපත කියලා. අඟල් කිහිපය උපත් මග පසු කරමින් ස්වාධීන ජීවියෙකු මෙලොව එළිය දකින්නට එන මේ මොහොත කළමනාකරණය කිරීම ඔබටත්, කාර්යමණ්ඩලය ලෙස අපටත් අභියෝගයක්. සංකූලතා වලින් තොරව දරුවා බිහිකර ගැනීමට ඔබේ සහයෝගය ඉතා වැදගත්. දරුවා බිහිවන අවස්ථාවේ ඔබ තැටමීමෙන් හා නිවැරදි ඉරියව් පවත්වා ගැනීමෙන් සහය දැක්විය යුතුයි. ඔබ කෑගසා, දඟලා වෙහෙස වීමෙන් සිදුවන්නේ දරුවා බිහිවන අවස්ථාවේ තැටමීමට අවශ්‍ය ශක්තිය නැති වීමයි. ඒ නිසා මේ පිළිබඳව අවබෝධයෙන් සූතිකාගාර කාර්ය මණ්ඩලය හා එක්ව අවබෝධයෙන් දරු උපත සිදුකර ගත යුතුයි. සාමාන්‍ය යෝනි ප්‍රසවයන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් විසින් සිදු කරනවා. අඬු ප්‍රසව, වැකියුම් ප්‍රසවය ආදී යම් සංකීර්ණ අවස්ථා වෛද්‍ය කළමනාකරණය යටතේ සිදුවනවා. ප්‍රසව වේදනා කළමනාකරණය කර ගැනීමට යම් යම් උපක්‍රම භාවිත වන අතර සම්පූර්ණයෙන්ම ප්‍රසව වේදනා නැති කිරීමට හැකියාවක් නැහැ. සූතිකාගාරය තුළදී දරුවාගේ හෝ මවගේ යම් හදිසි තත්ත්වයක් මත ඔබව සිසේරියන් සැත්කමකට භාජනය වීමක්ද විශේෂඥ වෛද්‍ය නිර්දේශය මත සිදු විය හැකියි.

ප්‍රසව වේදනා, තැටමිල්ල, විටවිය කැපුම, සියල්ල අමතකයි ඒ සිඟිති හඬ ඇසුණාම. “දුවෙක්ද? පුතෙක්ද? අනේ මිස් මගේ පැටියා කෝ ……? මට පෙන්නන්න …..?” හැම අම්ම කෙනෙක්ම දරුවා අඬනවා ඇහෙන කොට ආයෙත් උපදිනවා. නිරෝගී දරුවෙක් බිහි කර ගන්න ඔබට ලොකු වගකීමක් දරන්න වෙනවා. අනිවාර්යයෙන්ම එහි ප්‍රතිඵල ඔබටමයි.
“දරු උපතෙන් පසු මොකද වෙන්නේ” අපි ලබන සතියේ ඒ ගැන කතා කරමු.

නිලුක්ෂි තිලකසිරි
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී අනුරාධපුර ශික්ෂණ රෝහල
රූපවාහිනී/ගුවන්විදුලි සම්පත් දායිකා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>