TT Ads

කේන්ද්‍රයේ 7 සහ 2 කොටුවලින් විවාහය සාර්ථක හෝ අසාර්ථක බව පැවසිය හැකි බව මින් පෙර මතක් කළෙමු. අද අපි විවාහය සඳහා බලපාන තවත් ග්‍රහයන් පිළිබඳව කතා කරමු.හතේ සහ දෙවැන්නේ ශනි, කුජ, රාහු, කේතු, රවි වැනි පාප ග්‍රහයන් හිඳීම විවාහය අවුල් වීමට හේතු විය හැකි සේම කේන්ද්‍රයේ 12 වෙනි කොටුවේ කුජ ග්‍රහයා හිඳීමද විවාහය සම්බන්ධයෙන් යහපත් නොවන පිහිටීමකි. එයට හේතුව 12 වෙනි කොටුවේ කුජ හිඳීම තුළින් හත් වැන්නට අසුබ දෘෂ්ටියක් වැටීමයි. කුජ හැමදෙයක්ම අවුල් කරන ග්‍රහයෙක් නිසා විවාහයේදී කුජ ස්ථාන කිහිපයකදීම දෝෂයක් ලෙස ජ්‍යොතිෂයෙහි දැක්වේ.

මෙසේ කුජ දෝෂයක් වන ස්ථාන වන්නේ 12, 7, 2 හැරුණු විට 1, 4 සහ 8 යන රාශීනුයි. ඒ අනුව උප්පත්ති කේන්ද්‍රයක මේ කුමන ස්ථානයක හෝ කුජ පිහිටීම විවාහය සම්බන්ධයෙන් අසුබ වන්නකි.එසේ වුවද ඒ අසුබ තත්ත්වය සුබ කර ගැනීමටද බැරිකමක් නැත. ඒ එවැනි කේන්ද්‍රයකට එවැනිම කේන්ද්‍රයක් හමුවීමය. මෙසේ එක් කේන්ද්‍රයක අසුබ ස්ථානයක කුජ පිහිටන කල අනෙක් කේන්ද්‍රයේත් එම ස්ථානයේ කුජ පිහිටීම තුළින් දෝෂ භංග වෙයි.
කේන්ද්‍රයක හැම කොටුවකටම අධිපති ග්‍රහයකු හිදී. එලෙස විවාහයට අධිපතිවන හත්වැන්නටත් අධිපති ග්‍රහයකු හිඳින බව කිව යුතුය. එක් එක් ලග්නයට අධිපති ග්‍රහයන් මෙසේය.
මේෂ – කුජ
වෘෂභ – සිකුරු
මිථුන – බුධ
කටක – සඳු
සිංහ – රවි
කන්‍යා – බුධ
තුලා – සිකුරු
වෘශ්චික – කුජ
ධනු – ගුරු
මකර – ශනි
කුම්භ – ශනි
මීන – ගුරු

අපි මෙය තවත් පැහැදිලි කර ගනිමු.
ඔබේ ලග්නය සිංහ යැයි සිතන්න. ලග්නය සිංහ නම් 1 වෙනි කොටුවේ සිටින්නේ සිංහයි. එවිට ඔබේ ලග්නයේ හත් වැන්නේ සිටින්නේ සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාය. (1 කොටුවේ සිංහ සිටින විට 2- කන්‍යා, 3- තුලා, 4 -වෘශ්චික, 5 – ධනු, 6 – මකර, 7 – කුම්භ)හත්වැන්න අධිපතියා නීච වී හෝ සතුරු වී හිඳීම, එනම් හත්වැන්නේ ග්‍රහයෝගයකදී පාප ග්‍රහයකු සිටීම විවාහය අසාර්ථක වීමට හේතුවක් විය හැකිය.
කේන්ද්‍රයක රවි, කුජ, දුර්වල වී (නීච වී හෝ සතුරු වී) සිටින්නේ නම් එවැන්නෝ සුළු දේට පවා කෝප වන ඉවසීම අඩු අය වෙති. මෙලෙස මේ ග්‍රහයන් දුර්වල වී පිහිටීම ආවේගශීලී ගති වැඩි වීමට බලපාන නිසා විවාහ ජීවිතය තුළ විවිධාකාර අර්බුද ඇති කිරීමට එය හේතු වෙයි.
රාහුද පාප ග්‍රහයෙකි. උප්පත්ති කේන්ද්‍රයක රාහු දුර්වල වී හිඳීම තුළින් ජීවිතයේ නිතර අවුල් ස්වභාවයක් ඇති විය හැකිය. සිතේ ඒකාග්‍රතාවක් නැත. මේ නිසා රාහු දුර්වල වී හිඳීමද යහපත් නොවේ.සෙනසුරු හෙවත් ශනි උදාසීන ග්‍රහයෙකි. එය දුර්වලව පිහිටීම තුළින් එම පුද්ගලයා තුළ නිතර ඇතිවන්නේ උදාසීන ගති ස්වභාවයන්ය. එයද පවුල් ජීවිතයට යහපත් වන්නේ නැත.විවාහ වන දෙදෙනාගේ උප්පත්ති කේන්ද්‍රවල කුජ සිටීම හොඳින් ගැළපේ. එවිට දෙදෙනාටම හොඳින් ජීවිතය පවත්වා ගැනීමට හැකිවෙයි.එක් අයකුගෙ කේන්ද්‍රයේ හත් වැන්නෙ කුජ හෝ රාහු, කේතු, රවි වැනි පාපී ග්‍රහයකු සිටින කල අනෙක් තැනැත්තාගේ, තැනැත්තියගේ කේන්ද්‍රයෙහි හත් වැන්නේ ගුරු පිහිටන විට එම දෝෂ ගති සමනය වේ. ඊට හේතුව ගුරුට මේ ග්‍රහයන්ගේ නරක සම්පූර්ණයෙන්ම සමනය කිරීමට හැකියාව තිබීමයි.

මේ අනුව එක් කේන්ද්‍රයක 1, 2, 4, 7, 8, 12 යන විවාහයට සම්බන්ධ කොටුවක පාපියෙක් හිටියොත් අනෙක් කේන්ද්‍රයේ ඒ කොටුවකම ගුරු හිඳීම තුළින් දෝෂ සමනය වෙයි.උප්පත්ති කේන්ද්‍රයේ 2, 7, 4 ස්ථානවල සුබ ග්‍රහයන් හිඳීම විවාහ ජීවිතයට යහපත් වනු ඇත.
සඳු, සිකුරු, බුධ වැනි ග්‍රහයන් කේන්ද්‍රයක ඕනෑම කොටුවක යහපත් ලෙස (උච්චව හෝ ස්වක්ෂේත්‍රව) හිඳීම මානව දයාව අගයන සංවේදි පුද්ගලයකු වීමට හේතු වෙයි.මෙවැනි කේන්ද්‍රයකට එවැනිම කේන්ද්‍රයක් ගැළපිය යුතුය. සුබ ග්‍රහයන් සිටින කේන්ද්‍රයකට සුබ ග්‍රහයන් සහිත කේන්ද්‍රයක් ලැබීමත් පාපී ග්‍රහයන් සිටින කේන්ද්‍රයකට එයට ගැළපෙන පාප ග්‍රහයන් හිඳින කේන්ද්‍රයක් හමුවීමත් විවාහය සාර්ථකභාවයට හේතුවකි.විවාහයකදි පොරොන්දම් විස්සෙන් වැඩ ප්‍රමාණයක් ගැළපීම වැදගත් වුවත්, පොරොන්දම් ගැලපී ග්‍රහ පිහිටීම් නොගැළපුණොත් එම විවාහය අසාර්ථක වීමට හැකියාව තිබේ. එනිසා ග්‍රහ පිහිටීම් හොඳින් ගැළපෙන දෙදෙනකුගේ පොරොන්දම් අඩු ප්‍රමාණයක් ගැළපුණත් විවාහ ජීවිතය සාර්ථක වනු ඇත. ග්‍රහ පිහිටීම් ගැළපීම යනු සරලව කිවහොත් පෞරුෂ ලක්ෂණ වල ගැළපීමකි. ග්‍රහ පිහිටීම් සමාන වීම වැදගත් වන්නේ එනිසාය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදි
ශාස්ත්‍රාචාර්ය
අමරසේන වේගිරිය

සැකසුම
ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>