TT Ads

ලෝකය මැවූ දෙවියන් අඛණ්ඩව සය වැනි දවසටත් “ගැහැනිය” නිර්මාණය කරමින් සිටියා. එය දුටු සුර දූතයෙකු දෙවියන් ළඟට ගොස් මෙසේ විමසා සිටියා.
“දෙවියනි …. ඇයි මෙතරම් කාලයක් ඇය නිර්මාණය කිරීම වෙනුවෙන් ගත කරන්නේ” එතකොට දෙවියන් මෙන්න මෙහෙම කිව්වා.
“එය ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි …. ඇගේ ගුණාංග බොහොමයි. ඇය අසීරු අවස්ථාවලට හොඳින් මුහුණ දේවි. දරුවන් කිහිප දෙනෙක් එකවර සුරතල් කරාවි. ඇගේ පහසින් බිඳුණු හදවත් සුවපත් වේවි. අසනීප වූ විට ඇය විසින්ම සුවපත් වේවි. ඒ වගේම පැය දහ අටක් නොකඩවා ඇය වැඩ කරාවි.”
ඔය වෙලාවේ ගැහැනියට සමීප වුණු සුරදූතයා ඇයව ස්පර්ශ කොට බලන්නට වුණා.
“නමුත් දෙවියනේ …. ඔබ ඇයව නිර්මාණය කර ඇත්තේ ඉතා සුමුදුවටයි” සුරදූතයා තමන්ට මතු වූ ප්‍රශ්නය දෙවියන්ට ඉදිරිපත් කළා. එතකොට මැවුම්පාලක දෙවියෝ මෙන්න මෙහෙම කිව්වා.
“ඔව් ඇය ඉතා සුමුදුයි. නමුත් ඇය ඉතා ශක්තිමත්. මම හිතන්නේ නැහැ ඔබට සිතා ගැනීමටත් හැකිවේවි කියා ඇගේ ඔරොත්තු දීමේ හැකියාව.”
එතකොට සුරදූතයා මෙන්න මෙහෙම ඇහුවා.
“ඇයට සිතන්නත් පුළුවන්ද?”
“සිතන්නට විතරක් නෙමෙයි …. ඇයට තර්ක කරන්නත්, තීන්දු තීරණ ගන්නත් පුළුවන්.” ඔය වෙලාවේ සුරදූතයාට ආදරණීය හැඟීමක් ඇති වුණා.
“මට හිතයි ඇගේ කොපුල් ස්පර්ශ කර බලන්න” එහෙම හිතපු සුරදූතයා දෙවියන් නිම කරමින් සිටි ගැහැනියගේ කම්මුල්වලට පුංචි හාදුවක් දුන්නා. ඒත් එක්කම සුර දූතයා දැක්කේ පුදුමාකාර දෙයක්. ඇගේ ඇස්වලින් මොනවදෝ වෑහෙනවා.
“දෙවියනේ …. මේ වෙලාවේ නම් ඔබට ලොකු වැරදීමක් වෙලා. බලන්න ඇගේ ඇස් වලින් මොනවදෝ වෑහෙනවා. මම හිතන්නේ ඔබ ඕනෑවට වැඩි බරක් ඇය මත පටවලා” සුරදූතයා එහෙම කියනකොට දෙවියන් සිනාවෙලා මෙන්න මෙහෙම කිව්වා.
“නැහැ …. ඔබ වැරදියි …. ඒ තමයි ඇගේ කඳුළු”
“කඳුළු …. ඒ කුමක් සඳහාද?” සුරදූතයා පුදුමයෙන් වගේ ඇහුවා.
“ඇය දුක …. සාංකාව …. තනිකම …. ශෝකය වගේම සතුට ප්‍රකාශ කරන්නේත් කඳුළු වලින්” ලෝක පාලක දෙවියන් එසේ කියන විට සුරදූතයාගේ මුහුණ ආලෝකමත් වුණා.
“දෙවියනේ …. ඔබ නම් සැබෑම දක්ෂයෙක්. ඔබ සියලු දේ ගැනම සිතලා …. ඔබ මැවූ ගැහැනිය නම් හරිම අපූරු ආශ්චර්යමත් නිර්මාණයක් ….” සුරදූතයා සතුටින් එහෙම කිව්වා.
“ඇත්තටම ඔව් …. මා විසින් නිර්මාණය කළ ආශ්චර්යමත්ම නිර්මාණය තමයි ඇය. ඇයට මිනිසාව විශ්මයට පත් කළ හැකියි. ඕනෑම බරක් ඉසිලිය හැකියි. ඇය සතුටේ සහ ආදරයේ දෑත් දිගු කරගෙනයි සිටින්නේ. ඇයට කෑ ගසා අඬන්නට ඕනෑ වුණත් ඇය සිනාසෙනවා. සතුටේදී කඳුළු වගුරනවා. ඇගේ විශ්වාසයන් වෙනුවෙන් ඇය සටන් වදිනවා. ඇගේ ආදරය කොන්දේසි විරහිතයි. සමීපතමයන් වෙන් වූ විට ඇගේ හදවත කඩා වැටෙනවා. නමුත් ඇය ශක්තිමත්ව නැගිටලා ආයෙමත් ජීවිතය ජය ගන්නවා.”
දෙවියන්ගේ කතාව අසා සිටි සුරදූතයාට තවත් සතුටුයි.
“එහෙනම් ඇය සර්ව සම්පූර්ණයි නේද ….?” සුරදූතයා ආයෙමත් ඇහුවා.
“නැහැ …. ඇයගේ එක දුර්වලකමක් තිබෙනවා ….” දෙවියන්ගෙන් ලැබුණේ සුරදූතයා බලාපොරොත්තු වූ උත්තරයක් නෙමෙයි.
“ඒ කුමක්ද?”
සුරදූතයා විමතියෙන් වගේ ඇසුවේ ඒ නිසයි. මඳ වේලාවක් නිහඬව සිටි දෙවියන් ඉතා වැදගත් දෙයක් ඊළඟට කියන්නට ගත්තා. ඒ දේ කියූ සැණින් දෙවියන්ද නොපෙනී ගියා.
සුරදූතයාට දෙවියන් කුමක්ද දන්නවාද කිව්වේ.

“ඇයට නිතරම අමතක වෙනවා ඇය කෙතරම් වටිනවාද කියන කාරණය ….”

ගීත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>