TT Ads

අලුත් අවුරුද්දක් උදා වෙලා අපි මේ හමුවන දෙවෙනි සතිය. දහසකුත් බලාපොරොත්තු එක්ක අලුත් අවුරුද්ද පිළිගත්තු ඔබට මම අද පුංචි කතාවක් කියන්න හිතුවා.

ඔන්න එකෝමත් එක දවසක දිව්‍ය ලෝකේ දෙවි ගොල්ලන් අතරේ අත්කම් ප්‍රදර්ශන තරගයක් තිබුණලු.
“අලුත්ම අලුත්” නිර්මාණ ඉදිරිපත් කරන්න ඕන කියලා තමයි තරගයේ කොන්දේසි හැටියට ලෝක පාලක දෙවියන් විසින් නියම කරලා තියෙන්නේ. ඔන්න ඉතින් තරගයට ඉදිරිපත් වෙච්ච දෙවි ගොල්ලෝ තම තමන්ගේ දිව්‍ය මාලිගාවලට වෙලා එක් එක් නිර්මාණ හදලා ඉදිරිපත් කළාලු. අපි අද දකින බල්ලෝ, පූසෝ, හාවෝ, කුරුල්ලෝ, අශ්වයෝ, අලි, මී මැස්සෝ, සර්පයෝ, තාරාවෝ, ඉබ්බෝ. ඔය වගේ මොන සත්වයත් එදා ඒ ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ නිර්මාණලු. දන්නවද එදා ඒ තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගෙන තියෙන්නේ මොන නිර්මාණයද කියලා. ඒ තමයි “මනුෂ්‍යා” කියන නිර්මාණය. අනිත් නිර්මාණවලට කිට්ටුවෙන්නවත් බැරි තරමේ දියුණු ප්‍රබල මොළයක් තිබුණු නිසා තමයි මේ කියන නිර්මාණයට එදා සුර ලොවේදී ප්‍රථම ස්ථානය හිමිවෙලා තියෙන්නේ.

මේ නිර්මාණ තරගය වෙනුවෙන් පවත්වපු තෑගි බෙදා දීමේ උත්සවයේදී ලෝක පාලක දෙවියන් විසින් “මනුෂ්‍යා” නිර්මාණය කළ දෙවියන්ට කරඬුවක දාලා විශේෂ දිව්‍ය බලයක් තෑගි කළාලු ප්‍රථම ස්ථානය වෙනුවෙන්. ඊට පස්සේ “මනුෂ්‍යයා” නිර්මාණය කළ දෙවියන් තමන් කළ නිර්මාණය ළඟට ගිහින් මෙන්න මෙහෙම කිව්වලු.
“මට ලැබුණු මේ විශේෂ දිව්‍ය බලය මම ඔබටම තෑග්ගක් විදියට දෙනවා. හැබැයි මම ඒක ඔබට නිකන් දෙන්නේ නැහැ. මම මේක එක තැනක හංගනවා. හැබැයි ඒක හොයාගත්තොත් ඔබට පුළුවන් දෙවියන් කරන වැඩ වුණත් කරන්න”

එහෙම කියපු දෙවියන් කාටත් නොපෙනෙන්න මේ කියන විශේෂ දිව්‍ය බලය “මනුෂ්‍යයා” තුළම සඟවා තැබුවාලු. හැබැයි ඒ “දිව්‍ය බලය” හංගපු තැන මේ දෙවියෝ කාටවත් කිව්වේ නැතිලු.

ටික කලක් යනකොට අනිත් දෙවියන් මේ කියන විශේෂ නිර්මාණය කළ දෙවියන් ළඟට ඇවිත් මෙන්න මෙහෙම කියන්න ගත්තලු. “ඔබ නිර්මාණය කළ මිනිසා තවම අපට කන් කෙඳිරි ගගා එක එක දේවල් ඉල්ලනවා. අනේ දෙවියනේ… අපිට පිහිට වෙන්න… කිය කියා වැඳ වැටෙනවා. මේක නම් දැන් අපිට හරිම කරදරයක් වෙලයි තියෙන්නේ. අපිට වැඩක් කරගන්නවත් නෑ. හැම වෙලාවෙම අපේ නම කියනවා. ඇත්තටම එදා ඔබට තෑග්ගක් විදියට ලැබුණු විශේෂ දිව්‍ය බලය කොහේද හැංගුවේ. මොකද මිනිස්සුන්ට නම් තවම ඒක හොයාගන්න පුළුවන් වෙලා නෑ. ඇත්තම කියන්න මුහුදු පත්ලෙවත් හැංගුවාද?”
දෙවිගොල්ලෝ වටවෙලා මිනිසා නිර්මාණය කළ දෙවියන්ගෙන් ඔය විදියට ප්‍රශ්න ඇහුවාලු.

“අපොයි නෑ. මුහුදු පතුලේ රහස් හොයාගන්න පවා මිනිසාගේ මොළය දැන් දියුණුයි.”
දෙවියෝ එහෙම කිව්වලු.

“එහෙම නම් අහසේ ග්‍රහලෝක, තරු කැට අස්සේවත් හැංගුවාද?”
“අපොයි නෑ. දැන් මිනිසා ග්‍රහලෝක පවා තරණය කරනවා. ඒ තරමට මිනිස් මොළය දියුණු වෙලා”

“එහෙනම් පෘථිවියේ මැදවත් හැංගුවාද?”
“ඒත් නෑ. මිනිසා පෘථිවියේ මැද සිදුවන දේවල් පවා දැන් හොයාගෙන ඉවරයි.”
දෙවියන්ගෙන් සෙසු දෙවිවරුන්ට ලැබුණේ ඔය වගේ උත්තරලු.

“හරි එහෙනම් අපට කියන්න මේ මහාබලය ඔබතුමා කොහේද හැංගුවේ කියලා……”
සියලු දෙවිවරු එක හඬින් ඉල්ලීමක් කළාලු.

ටික වෙලාවක් කල්පනා කරපු, “මිනිසා” නිර්මාණය කළ දෙවියන් එක පාරටම හිනා වෙලා මෙහෙම කිව්වලු.
“ඒ බල ශක්ති කරඬුව මම හැංගුවේ වෙන කොහේවත් නෙමෙයි මිනිසාගේම හිත ඇතුළේමයි.”

මේ කතාව මිථ්‍යා ප්‍රබන්ධයක් වුණත් හරිම ලස්සන කතාවක්. මේ කතාව තුළින් අපට ගන්නට වටිනා කියන කාරණා කිහිපයක්ම තියෙනවා. ඉන් ප්‍රධානතම දේ තමයි අපේ හිත ඇතුළේ මහා විශාල බලයක්, නිධානයක් හැංගිලා තියෙනවා කියන එක. අපි ජීවත් වෙන මේ ලංකාවේ විතරක් නෙමෙයි, වෙනත් රටක හෝ සක්වල පුරාම අපි නිදන් හෙව්වත් අපේම හිත ඇතුළේ තියෙන මේ කියන නිධානය හොයාගන්න අපි කොයි කවුරුත් උනන්දු වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, ඒ මහා බලගතු නිධානයෙන් ප්‍රයෝජනයක් ගන්නත් අපි කවුරුත් උනන්දු වෙන්නේ නෑ.

ඇත්තටම අපේ මේ හිත ඇතුළේ තියෙන මේ පුදුම බලය තේරුම් ගත්තොත්, අපි ඒ බලය ගැන විශ්වාසයෙන් කටයුතු කළොත් අපිට මේ ලෝකේ කරන්න බැරි කිසි දෙයක් නෑ.

2020 නව වසර උදා වෙලා දින කීපයක් ගත වුණු මේ මොහොතේ මට කියන්න ඕන වුණේ ඔබේ හිත ඇතුළේ තියෙන මේ මහා පුදුමාකාර බලය ගැන තේරුම් ගන්නේ නැතිව වෙනත් අදෘශ්‍යමාන බලවේග පස්සේ විතරක් දුවන්න එපා කියලා විතරයි.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>