TT Ads

ලැබුණු ප්‍රසිද්ධියෙන් පස්සේ මනීෂටයි – ස්වේත්ලානාටයි අද වෙලා තියෙන දේ

රුසියාවේ ඇති සියලු සැප සම්පත් අතහැර රෝගී තම සැමියා බලා ගනිමින් මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය (SLIIT) එක ඉදිරිපිට බිරියානි බත් පැකට් විකුණන ස්වේත්ලානා මේ වනවිට ශ්‍රී ලංකාවේ පමණක් නොව විදෙස් රටවලද අතිශය ජනප්‍රිය කාන්තාවකි. මනීෂ මදවන්ආරච්ච නම් සිය සැමියාට අසීමිත ලෙස ආදරය කරන මේ අරුම පුදුම ගැහැනිය පිළිබඳ BBC සේවය මුල්වරට ලෝකයාට හෙළි කළ පසු මේ වනවිට ඔවුන් දෙදෙනාට ලැබෙමින් පවතින ප්‍රතිචාර කෙබඳුද?
කිසිවෙකුට නොකී ඒ ප්‍රතිචාර පිටුපස ඇති කළු සුදු කතාව මනීෂ මුල්වරට හෙළි කරන්නේ රැජිනිය සමගය.

 

 

  • පසුගිය කාලයේ ලැබුණු ප්‍රසිද්ධියත් එක්ක, මේ කතා කරන මොහොත වෙනකොට මනීෂ සහ ස්වේත්ලානා ගෙවන්නෙ මොනවගේ ජීවිතයක්ද?

අපි දෙන්නා ගැන මාධ්‍ය හරහා ප්‍රචාරය වෙන්න පටන් අරන් මාසයකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. දැන් අපට පාරටවත් බහින්න බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. හුඟක් අය සෙල්ෆි ගහන්න කතා කරනවා. තව සමහරු වීඩියෝවලට පෙනී ඉන්න පුළුවන්ද කියලා අහනවා. මේ දේවල්වලට මුහුණ දෙන්න බැරුව දැන් සමහර වෙලාට ස්වේත්ලානා මිනිස්සු දැක්කාම හැංගෙනවා.

  • ප්‍රසිද්ධිය නිසා ජීවිතයේ සැහැල්ලුව නැති වෙලා ගිහින් කියලද ඔබ කියන්නේ ?

ප්‍රසිද්ධිය හින්දා යහපතක් වුණේ නෑ කියන්නම බැහැ. අපේ ළඟට ඇවිත් ලියුම් කවරවල දාලා ලොකු ගණන්වලින් මුදල් අපට දීලා ගියපු අයත් හිටියා. හැබැයි ඔය ප්‍රසිද්ධියේ හොඳ පැත්ත විතරයි.

  • ඒ කියන්නේ කවුරුත් නොදන්නා නරක පැත්තකුත් මේ පසුපස තියෙනවාද?

හරියට හරි, මම මතක් කරන්නවත් කැමැති නැති විදිහේ යෝජනා පසුගිය දවස්වල අපි දෙන්නාට ලැබුණා. මම ඒකෙන් එක සිදුවීමක් විතරක් කියන්නම්. එක්තරා පුද්ගලයෙක් මට කතා කරලා කිව්වා ඔහු අපි දෙන්නාට කන්න, බොන්න, ඉන්න, හිටින්න හැම දෙයක්ම දෙන්නම් කියලා. ඒ වෙනුවෙන් මොනවාද අපෙන් වෙන්න ඕන කියලා ඇහුවාම ඔහු කියනවා වෙන මුකුත්ම ඕන නෑ. මගේ නෝනට ඔහුත් එක්ක එකට ඉන්න ඉඩ දුන්නාම ඇති කියලා. ඕකට තමයි කියන්නේ දෙව්වරු අතරේ යක්‍ෂයෝත් ඉන්නවා කියලා.

  • ඔබ දෙදෙනා ගැන හැමෝම දැන ගත්තාට පස්සේ කෑම පැකට් අලෙවියට මොකද වුණේ?

ඊට පස්සේ අපේ බත් පැකට්වලට තියෙන ඉල්ලුම සෑහෙන ඉහළ ගියා. කලින් අපි බත් පැකට් විස්සක් තිහක් විතර තමයි විකුණුවේ. දැන් දවසකට සීයක් විතර විකුණනවා. ඊටත් වඩා ඉල්ලුම තියෙනවා. වැඩිපුර කෑම හදාගෙන එන්න ඕන කියලා හිතුවත් මේ තියෙන අසනීපත් එක්ක උදේ පාන්දර නැගිටලා එච්චර මහන්සි වෙන්න මට පුළුවන් කමක් නැහැ.

ඔබ මේ විදිහට බිරිඳත් එක්ක පාරේ බත් පැකට් විකුණන එක ගැන ඔබේ දෙමව්පියෝ මොකද කියන්නේ?

මම හොඳ වැදගත් රැකියා කරපු මවුපියෝ දෙන්නෙකුගේ දරුවෙක්. මටත් ශබ්ද පරිපාලනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියකුත්, ඩිප්ලෝමා අටකුත් තියෙනවා. ඇත්තටම මම මෙහෙම මහපාරේ ඉඳන් කෑම පැකට් විකුණන එක මගේ මව්පියන්ටත් අවනම්බුවක්. හැබැයි ඒ දෙන්නාට තවදුරටත් බරක් නොවී අපිම කීයක් හරි හම්බ කරගන්න ඕන හින්දා තමයි අපි මහපාරේ බත්පැකට් විකුණන්න පටන් ගත්තේ.

  • මේ වෙද්දී මනීෂට තිබෙන රෝගී තත්ත්වයන් මොනවාද?

මගේ වකුගඩුවලින් 18%යි පෙරීම සිදුවන්නේ. දකුණු ඇහැ පේන්නේම නැහැ. වම් ඇහෙන් 20%ක් විතර පේනවා. මගේ හාර්ට් එකට ස්ටෙන්ට් දෙකක් දාලයි තියෙන්නේ. ඒ වගේම දියවැඩියා රෝගියෙක්. දියවැඩියාවට ප්‍රතිකාර විදිහට ඉන්සියුලින් ඇතුළු ඖෂධ මට රෝහලේ ක්ලිනික් එකෙන් ලැබෙනවා. ඒත් මගේ වකුගඩු ආබාධයට සතියකට දෙපාරක් ඩයලයිසිස් (රුධිර කාන්දුකරණය) කරන්න ඕනෑ. වෛද්‍යවරු නිර්දේශ කරලයි තියෙන්නේ හැකි ඉක්මනින් මට වකුගඩුවක් බද්ධ කරගන්න කියලා. ඒත් මට තවම කාගෙන්වත් වකුගඩුවක් ලැබුණේ නැහැ.

  • මනීෂට රුසියාවේදී මේ වෛද්‍ය පහසුකම් ලබා ගන්න බැරි ඇයි ?

රුසියාවේ නීතියට අනුව අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් ඇරුණාම වෙනත් අයට වකුගඩු පරිත්‍යාග කරන්න බැහැ. මට ඒ දේ කරන්න පුළුවන් ලංකාවේ හිටියොත් විතරයි.

  • ඔබේ බිරිඳ රුසියාවේ ස්ථීර රැකියාවක් කරපු කාන්තාවක් නේද?

ඔව්, ස්වේත්ලානා ගණකාධිකාරිනියක් විදිහටයි සේවය කළේ

  • බිරිඳ කවදාහරි ඔබව තනිකරලා තමන්ගේ මව් රටට ගියොත් ඔබට මොනවා හිතේවිද?

මම හිතන්නේ නැහැ ඇය කවදාවත් එහෙම කරාවි කියලා. මොකද වතාවක් රෝහලෙන් ආවාට පස්සේ මම ඇයට ටිකට් පවා අරගෙන දීලා ආපහු රුසියාවට යන්න කිව්වා. ඒත් ඇය කිව්වේ මොනදේ වුණත් කවදාවත් මාව දාලා යන්නේ නැහැ කියලයි.

කවුරුහරි ඔබේ ජීවිතයට කරදරයක් කරන්න ආවොත් ඇගේ ප්‍රතිචාරය මොකක් වෙවිද?

එහෙම දෙයක් වුණොත් ඇය ඒ පුද්ගලයාව මරාගෙන හරි මැරේවි. මොකද ඇය ඒ තරම්ම මට ආදරෙයි.
කිෂාන් කනංකෙ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>