TT Ads

 

ජීවිතේ කියන්නේ අපට ඕන විදියට ගලාගෙන යන දෙයක් නෙවෙයි. සැප, සතුට වගේම කරදර, බාධක, දුක්, වේදනා, අභියෝග මේ හැමෙකක්ම අපට මේ ජීවිතේදී අත්විඳින්නට වෙනවා.
ඇත්තටම බොහෝ දෙනෙකුට තියෙන බලාපොරොත්තුවක් තමයි අඩුපාඩුවක් නැතුව හිත සතුටින් ජීවත් වෙන එක. ඒත් බොහොම දෙනෙක් ඉන්නේ හිත සතුටින් නෙවෙයි. ඒ ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට ප්‍රමාණවත් තරම් මුදල් හදල් අතේ නොමැති වීම නිසා.
ඇත්තටම සල්ලි කියන්නේ ජීවිතේ නම් නෙවෙයි තමයි. ඒ වුණත් යමෙකුගේ එදිනෙදා කටයුතු කරගෙන යන්නට ප්‍රමාණවත් වන අන්දමේ මුදලක් අතට නොලැබෙනවා කියන්නෙ නම් ලොකු ප්‍රශ්නයක්.
ඒ වගේ තත්ත්වයකට පත් වුණාම ඕනම කෙනෙකුට ඒ ගැන නොහිතා ඉන්න බැහැ.

හැබැයි ඉතින් අපි ඒ වගේ තත්ත්වයට ඇද වැටෙන්නෙත් අප විසින්ම කරන ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් හැටියට. එහෙම නම් අපේ දියුණුවට බාධා කරන අපේ ජීවිතේ ආපස්සට අරගෙන යන්න හේතු වන කරුණු මොනවාද කියලා අපි කතා බලමු.

මේ වෙලාවෙ අපි හැමෝගේම බලාපොරොත්තුව අලුත් ගමනක් යන්න. අලුත් ගමනක් යන්න නම් අලුත් විදියට හිතන්න ඕනෙ. ඒත් අපි ළඟ තියෙන නරක පුරුදු නිසා අපට ඒ අලුත් ගමන ගැන තියෙන බලාපොරොත්තු අත්හැර ගන්නට වෙයිද? එහෙම නොවෙන්න නම් අප විසින් අත්හැර ගත යුතු ඒ නරක පුරුදු මොනවද කියන එක වටහාගන්න ඕනේ. එහෙම නම් රටට බරක් නැතිව ජීවත් වෙන්න අප කළ යුතුව ඇති දේ වගේම නොකළ යුතු දේ ගැන දැන් අවධානය යොමු කරමු.

දුප්පත් කමට පාර කපන අලස බව

දුප්පතෙක් වෙන්න කවුරුත් කැමැති නැහැ. එහෙම නම් අපට නිතරම අපේ ඇඟේම වෙළිලා ඉන්න අලසකමට යන්න කියන්න වෙනවා. මොකද අපට කිසිම වැඩක් පලක් කරන්න හිතෙන්නේ නැත්නම්, ඒ ගැන කිසිම උනන්දුවක් නැත්නම් කොහොමද අපි ධනවත් වෙන්නෙ.

සාමාන්‍යයෙන් දන්න කියන දා ඉඳන් අප ළඟම රැක්‍ෂෙන කම්මැලිකම ඒ කියන්නේ අලස බව හොඳ දෙයක් නෙවෙයි කියන කතාව අපට නිතරම ඇහෙනවා. ඒත් ඉතින් කොච්චර ඇහුණත් කරන්නේම ඒක නම් ධනවතෙක් වෙන හීනය හැමදාමත් හිත ඇතුළෙම තියාගෙන තමයි ඉන්න වෙන්නේ .

ඉලක්කයක් නැත්නම් ඒ ජීවිත හිස්…

ඕනෙම කෙනෙකුට ජීවිතේ දිනන්න නම් අරමුණක් තියෙන්නම ඕන. ඔබ ළඟ හෙට දවස ගැන පැහැදිලි චිත්‍රයක් නැත්නම් කොහොමද ඒ ගමන ඇවිදගෙන යන්නේ . පොඞ්ඩක් හිතන්න, ඔබ ගමනක් යනවා. ඒ ගමන යන්න එළියට බැස්සම මංමාවත් ගොඩක් තියෙනවා. ඒත් යන්නෙ කොහෙද කියලා ඉලක්කයක් නැත්නම් ඒ කිසිදු මාවතකින් ඵලක් නැහැ.

කොහොමත් අරමුණු තියෙන අයට තමයි අවස්ථාවන් පෙනෙන්නේ . අවස්ථා පෙනුනම තමයි ඒ අවස්ථාවන් හඳුනාගන්නේ . ඒ විදියට අවස්ථාවන් හඳුනාගත්තොත් තමයි ඒ අවස්ථාවන් පාවිච්චි කරන්නේ. ඒ විදියට අවස්ථාවන් පාවිච්චි කරන අයට තමයි ඉස්සරහට යන්නට පුළුවන් වෙන්නේ.
දන්නවද අරමුණක් නැති කෙනෙකුට තමන්ගෙ ඇඟේ පතේ වැදි වැදි අවස්ථා තිබුණත් ඒක අවස්ථාවක් කියලා ඔහුට පේන්නෙ නැහැ. ඒ වගේ අයගෙ ජීවිත හිස්. කිසිම හරයක් නැති ජීවිත තමයි එයාලා ගතකරන්නේ.

මිථ්‍යා විශ්වාස නිසා….

සමහරු ඕනවට වඩා දෛවය විශ්වාස කරනවා. තව සමහරු වාසනාව විශ්වාස කරනවා. ග්‍රහ තරු විශ්වාස කරනවා. එවැනි අය තුළ තමන් පිළිබඳව තිබෙන ආත්ම විශ්වාසය නැතිව යනවා. මොකද ඒ අය විශ්වාස කරන්නේ වෙන කෙනෙක් කියන අනාවැකි. එහෙම වුණාම තමන්ගේ ජීවිතේ පෙළගස්සවා ගන්න උත්සාහ කරන්නේ ග්‍රහයො කියන විදියට. නක්ෂත්‍රකරුවන් කියන විදියට. එහෙම අයට කිසිම දිනයක නිවහල් ජීවිතයක් ගත කරන්නට බැහැ. මොකද ඔබව පාලනය කරන්නෙ වෙනත් පුද්ගලයෙක්. නැත්නම් වෙනත් විශ්වාසයක්. ඉතින් ඔබට ඔබේ මනස මෙහෙයවලා නිවැරැදි දේ මොකක්ද කියලා වටහා ගන්නට බැහැ.

වැරැදි පුරුදු ඈත් නොකළොත් …

ගොඩක් අය මත් වතුර බොනවා. දුම්වැටි උරනවා. අනවශ්‍ය විදියට ජංගම දුරකතනයට ඇබ්බැහි වෙලා. සූදුවට ලොල් වෙලා. එහෙම අයට කවදාවත් ඉන්න තැනින් ගොඩ එන්න බැහැ.

ආදායමට සරිලන වියදම

යමෙක් ආර්ථිකව ස්ථාවර වීමට නම්, ආදායම වියදම පිළිබඳව විනයක් තියෙන්නට ඕන. ඒ කියන්නේ උපයන විදියට වියදම් කරන්න පුරුදු වෙන්න ඕන. එහෙම කියලා උපයන හැම සතයක්ම වියදම් කළොත් ඒ පුද්ගලයාට කවදාවත් නැඟිටීමක් නැහැ.
ඒ නිසා උපයන මුදල කළමනාකරණය කර ගන්නට ඕනේ. එහෙම නොකරන පුද්ගලයාට කවදාවත් ධනවතෙක් වෙන්න බැහැ.

පොඩි මුදලක් ඉපැයූ ලෝක ධනවතුන්….
ලෝකයේ ඉන්නා ධනවතුන් බහුතරයක් ඒ තැනට පත්ව තිබෙන්නේ නිසි කළමනාකරණයකින් ඉපැයූ ධනය පරිහරණය කිරීම නිසා. එහෙම නැතුව ලොකු මුදලක් උපයලා නෙවෙයි. තමන් උපයාගත්තු පොඩි මුදල ඒ අය මනා ලෙස හැසිරවීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි ලොව අංක එකේ ධනවතුන් බවට පත්වන්නේ.
ඒ නිසා වඩාත් වැදගත් වන්නේ උපයන මුදලේ ප්‍රමාණය නෙවෙයි. ලැබෙන පුංචි මුදල කෙතරම් විනයක් ඇතිව කළමනාකරණය කරනවාද කියන කාරණයයි. ඒ නිසා ජීවිතේ අලුතෙන් පටන් ගන්න හොඳම මොහොතක් විදියට තේරුම් අරගෙන ඉන්න මේ වෙලාවෙ ඒ පිළිබඳව ටිකක් හිතුවොත් ඔබ වටා අවස්ථා බොහොමයක් තියෙන්නට පුළුවන්. එය හඳුනාගෙන ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන උපයන මුදල නිවැරැදිව හසුරුවමින් ජීවිතේ ජයගන්න හැමෝටම පුළුවන්.

පුද්ගල හා හැකියා සම්බන්ධ පුහුණු උපදේශක සහ මනෝ විද්‍යා දේශක
මොහාන් පල්ලියගුරු

කල්හාරි දසනායක

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>