TT Ads

 

පසුගිය ජනවාරි 20 වැනිදා කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගොස් තිබුණේ නිවුන් සොහොයුරු සොයුරියන්ගෙනි. ඒ සැවොම එදා රැස්ව සිටියේ එකම අභිලාෂයක් සිත්හි දරාගෙනය. ඒ ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරය කරා රැගෙන යාමටය. ලොව වැඩිම නිවුන් පිරිසක් එකම ස්ථානයකට එක් රැස් කිරීමේ එම ලෝක වාර්තාව පිහිටුවීම සඳහා මූලිකත්වය ගනු ලැබුවේ ශ්‍රී ලංකා නිවුන් සංවිධානය විසිනි.
ප්‍රථම වතාවට සංවිධානය කෙරුණු මෙම ඉසව්ව පිළිබඳව මෙලෙස අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ කළමනාකාර අධ්‍යක්ෂ මහින්ද හෙට්ටිආරච්චි මහතාය.
“පසුගිය ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ නිවුන් ප්‍රජාවට පමණක් නෙවෙයි එකම රටක් විදිහට සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටම ඉතා වැදගත් දිනයක් වුණා. මොකද, ශ්‍රී ලංකා නිවුන් සංවිධානයට එදා හැකිවුණා ලෝකයේ වැඩිම නිවුන් පිරිසක් එකම තැනකට රැස් වූ අවස්ථාව සංවිධානය කරන්න. මේ සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ ජාති, ආගම්, වයස් භේදයකින් තොරව ඉතා විශාල පිරිසක් ඉතා උද්‍යෝගයෙන් එක්ව සිටියා. මීට අමතරව නිවුන් සංස්කෘතික උළෙලක්ද, එදින ඔවුන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වුණා. ශ්‍රී ලංක නිවුන් සංවිධානය විදිහට අප ඉතා සතුටට පත්වෙනවා මෙම අවස්ථාව සාර්ථක ලෙස පැවැත්වීමට හැකිවීම ගැන.”
මීට පෙර ලොව වැඩිම නිවුන් සොයුරු, සොයුරියන් පිරිසක් එකම තැනකට රැස් කරමින් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබුණේ 1999 වසරේදී චීන තායිපේහිදීය. ඊට එක්ව සිටි නිවුන් සොයුරු සොයුරියන් යුගල සංඛ්‍යාව 4003 කි. මෙම වාර්තාව පහසුවෙන් අභිභවා යාමට ශ්‍රී ලංකා නිවුන් ප්‍රජාවට එදින හැකියාව ලැබිණි.
“අපේ සංඛ්‍යා ලේඛනවලට අනුව නිවුන් සොයුරු සොයුරියන් කණ්ඩායම් 12462ක් එදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට
එක්රැස් වී තිබෙනවා. මේ නිසා ඒ වාර්තාව දැන් ශ්‍රී ලංකාව සතු වෙනවාට කිසිම සැකයක් නැහැ. නමුත් එම ගිනස් ලෝක වාර්තාව පිහිටවූ බවට වන සහතිකය අපට එදින ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. මොකද ගිනස් වාර්තා කමිටුවේ සමාජිකයින් එදා මේ උත්සවයට සහභාගි වුණේ නැහැ. අප මෙවැනි වාර්තාවක් පිහිටු වන බව එම කමිටුවට දැනුම් දුන් විට ඔවුන් එය පිළිගත්තා. නමුත් ඔවුන් එම අවස්ථාවට ගෙන්වා ගැනීමට විශාල මුදලක් වැය කළ යුතු වුණා. අප සංගමය සතුව එතරම් මුදලක් නැහැ. මොකද සාමාජික ගාස්තුවක් පවා අය නොකරයි ශ්‍රී ලංකා නිවුන් සංවිධානය පවත්වාගෙන යන්නේ. අනුග්‍රාහකයකු සොයා ගැනීමට අවසන් මොහොත දක්වාම උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ” මහින්ද හෙට්ටිආරච්චි මහතා එලෙස ප්‍රකාශ කර සිටියේය.
කෙසේ වෙතත් මෙම ප්‍රයත්නය ගිනස් වාර්තා පොතට ගෙන යාමේ ඉඩකඩ තවමත් විවෘතව පවතින බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
“අප ගිනස් වාර්තා කමිටුවේ සියලුම අන්තර්ජාතික නිර්දේශවලට අනුවයි මෙම අවස්ථාව සංවිධානය කළේ. අපට හැකියාව තිබෙනවා අප විසින් එම වාර්තාව පිහිටුවූ බවට වන සියලු සාක්ෂි බි්‍රතාන්‍යයේ පිහිටි ගිනස් ලෝක වාර්තා කමිටුව වෙත යැවීමෙන් ගිනස් වාර්තා පොතෙහි මෙම වාර්තාව සටහන් කර ගැනීමට. ඒ අනුව අපි එම සියලු තොරතුරු ගිනස් වාර්තා කමිටුව වෙත යවා නුදුරේදීම එම සහතිකය ලබා ගන්නවා.”
ශ්‍රී ලංකා නිවුන් සංවිධානය පිහිටුවනු ලැබුවේ එහි වත්මන් සභාපතිනිය වන උපුලි ගමගේ සහ ඇගේ නිවුන් සොයුරිය වන චමලී ගමගේ විසිනි. ඒ 1993 වසරේදීය. සෑම වසරකම අගෝස්තු 23 වැනි දින ජාතික නිවුන් දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලද ඉල්ලීමක්ද ශ්‍රී ලංකා නිවුන් සංවිධානය විසින් පසුගියදා (20) පැවැති නිවුන් සංස්කෘතික උළෙලේදී එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීය. මේ වසරේ අගෝස්තු 23 වැනි දින ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නිවුන් ප්‍රජාව එක්ව නිවුන් සංස්කෘතික උළෙලක් පැවැත්වීමටද ශ්‍රී ලංකා නිවුන් සංවිධානය කටයුතු සූදානම් කර තිබේ.

කිෂාන් කනංකෙ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>