TT Ads

තම මවට අනාගතය දැකීමේ සුවිශේෂ ඥානයක් පහළ වී ඇති බවට සුගීතාට දැනගත හැකිවූයේ විවාහයෙන් වසරකට පසු පළමු දරු ප්‍රසූතියට සූදානමින් සිටින අවධියේය. සිය විවාහයෙන් පසු සිදු කළ ඉඩම් බෙදීමේදී දෙමාපියන් විසින් තමන් අපේක්ෂා කළ ඉඩම් කොටස ලබා නොදීම මත සුගීතා තම මාපියන් හා දැඩි නොමනාපයකින් පසුවූවාය. එම ඉඩම් බෙදීමෙන් පසු ඇය තම දෙමාපියන්ගෙන් සමු ගන්නා ලද්දේ ඔවුන්ගේ අවමඟුල් වලටවත් සහභාගී නොවන බවට තර්ජනය කරමිනි. එමෙන්ම තම සැමියා සමග ඔහුගේ මහගෙදර පදිංචියට පැමිණි ඇය ඉන්පසු තම මාපියන් මුළුමනින්ම අමතක කොට දැමුවාය. ඒ අතරතුර ඇගේ දෙමාපියෝද සිය මහ ගෙදර ඇතුළු ඉතිරි දේපළද විකුණා දමා නිවාස යෝජනා ක්‍රමයකින් මිලට ගත් නිවසක පදිංචි වී සිටියහ.

එහෙත් හිටිහැටියේ අසන්නට ලැබුණූ තම මවට අනාවැකි කීමේ සුවිශේෂ ඥානයක් පහළ වීමේ පුවතින් විස්මයට පත් සුගීතා ඒ පිළිබඳව වැඩිදුර විමසනු ලදුව අවසානයේ දුරකථනය මගින් තම පියාගෙන් විමසා සිටියාය. එවිට ඔහු කියා සිටියේ සුගීතා තම පවුලෙන් වෙන්වූ පසු තම මවගේ මානසිකත්වය මුළුමනින්ම පාහේ වෙනස් වූ බවය. ඇගේ මෙම අනාගතය දැකීමේ සුවිශේෂ ඥානයද එම මානසික වෙනස්වීමේ එක් ප්‍රතිඵලයක් බව සුගීතාගේ පියා පවසා සිටියේය.

පරණ තරහ මරහ, කෝන්තර, එදිරිවාදිකම් පසෙක තිබියදී තම දෙමාපියන් පදිංචිව හිඳින නව නිවසට යාමට සුගීතා අදහස් කළේ ඉන්පසුවය. එමෙන්ම ඒ පිළිබඳව යන්තම් කී පමණින් එම ගමන යාමට ඇගේ සැමියාද එක පයින් කැමැති විය.

”අම්මා දැන් ඉස්සරට වඩා සහමුලින්ම අමුතුයි. මෙහේ ඇවිත් මාස කීපයක් යනකම් මේ කිට්ටුව තියන පන්සලකට එහෙම ගිය හින්දා මේ අහල පහල අයව දැන හඳුනාගත්තා. පස්සේ තමයි අම්මගේ ගතිගුණ හැම දෙයක්ම වගේ වෙනස් වුණේ. ඉස්සරවෙලාම සිද්ධ වුණේ කරන කියන දේවල් පුදුම විදිහට අමතක වෙන එක. පහුවෙනකොට ඒ අමතක වීම් වැඩිවෙලා බතක්, මාළුවක් උයා ගන්නවත් බැරි වුණා.
පහුගිය කාලේ දවසක තේ එකකට සීනි වෙනුවට ලුණු දාලා තිබුණා. ඒත් ඉතින් මට ඒවා කියාගන්න කෙනෙක් හිටියේ නැහැ. දුවලා අපෙන් ඈත් වෙලා හිටපු හින්දා.”

තම මව, පියා දකිනු පිණිස ඔවුන්ගේ නව නිවසට ගිය සුගීතාට මව අද්දරක නොමැති විටෙක පියා කීය. ඒ වන විට ඇගේ වැඩිමල් සොයුරා ඔහුගේ දරු පවුලද සමග ඕස්ටේ්‍රලියාවේ පදිංචිව සිටි අතර බාල සොයුරිය ශිෂ්‍යත්වයක් ලැබ චීන සරසවියක වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිටියාය. නමුදු විදේශගතව සිටින ඔවුන්ගේ සිත් කලබලයට පත්විය හැකි බැවින් තමන් මවගේ එම වෙනස පිළිබඳව මෙතෙක් ඔවුනට නොදැන්වූ බවද පියා සුගීතා සමග වැඩිදුරටත් කීය.

ළඟදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී මෙරට හෝ පිටරටක කිසිවකුත් සිහිනයකින්වත් නොසිතන අයකු නොසිතන ආකාරයකින් ජනාධිපති පදවියට පත්වන බව තමන්ට වැටහෙන බවත් එය පසුගිය කාලයේ තමන් සිදු කළ බවුන් වැඩීමේ ප්‍රතිඵලයක් බවත් සුගීතාගේ මව වරින් වර තම නිවසට පැමිණෙන අසල් වැසියන් කීප දෙනකු හා පවසා තිබුණේ ඔය අතරේය. වෙනත් කිසිදු මානසික රෝග ලක්ෂණයක් නොමැති ඇයගේ එම ප්‍රකාශය එක්වරම බැහැර කිරීමට අකමැති සමහරුන් ඒ පිළිබඳව කතා බහ කරන්නට වූ අතර එහි කිනම් හෝ සත්‍යතාවයක් තිබිය හැකි බවට ප්‍රදේශයේ සමාජ පිළි ගැනීමට ලක්ව සිටි වැඩිහිටියන් පවා මත පළකොට තිබිණි. සුගීතාගේ පියාද තරුණ වියේ සිට ක්‍රියාකාරී දේශපාලන චරිතයක් සහ වෘත්තීය සමිති නායකයකු වූ බැවින් එවක එම පවුල තුළ කතා බහ කෙරුණු මාතෘකා අතුරින් දේශපාලනයට ප්‍රධාන තැනක් හිමිව තිබිණ.
“අම්මාගේ ඔය දේශපාලන අනාවැකිය හොඳ සිහියෙන් කරන එකක් නොවන බව මම සියයට දාහක්ම දන්නවා. ඒත් ඒ බව අහල පහල මිනිස්සුත් එක්ක කියන්න බැහැ. අම්මට පිස්සු කියලා තවත් කතාවක් පැතිරෙන හින්දා. දැන් ටික කාලෙක ඉඳලා අම්මා සමහර වෙලාවට පුංචි ළමයෙක් වගේ හැසිරෙනවා. අල්මාරියේ තියන පරණ ඇඳුම් ඇඳගෙන එක එක ඇඟට තිය තියා බලනවා. කිසිම තේරුමක් නැතුව. සමහර වෙලාවට මෙලෝ කල්පනාවක් නැතුව ගේ වටේ ඇවිදිනවා. පහුගිය දවසක ගෙදර හිටපු ගමන් ගේට්ටුව ඇරගෙන පාරටත් බැහැලා තිබුණා. මම කොහෙද යන්නේ කියලා ඇහුවම දෙන්න උත්තරයක් තිබුණෙත් නැහැ” සුගීතා ගේ පියා කීය. එමෙන්ම ඉන්පසුව සුගීතා සහ ඇගේ සැමියා ඇගේ මව සමග කතා කළ විට ඇය සුගීතා කුඩා කාලයේ කළ කී දේ පවසමින් සතුටු සහගත බවක් පළ කළ අතර තමන් කතා කරන වේලාව, දිනය, ආදිය පිළිබඳවත් පැහැදිලි මතකයක් ඇය තුළ නොවීය. ඒ කෙසේ හෝ ඒ වන විට තම මව කිනම් හෝ සැලකිය යුතු මානසික රෝගයකින් පෙළෙන බව වටහා ගත් සුගීතා මව වහාම මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට අදහස් කළාය.
“මේක වයස අවුරුදු හැටට වැඩි අයට විශේෂයෙන් හැදෙන්න ඉඩ තියන චිත්ත වික්ෂේපය(dementia) කියන මානසික ආබාධයේ ඇල්ෂයිමර්ගේ රෝගය (Alzheimer’s disease)  කියන රෝග කාණ්ඩය. වයසත් එක්ක මොළයේ ඇතිවන ජෛව රසායනික වෙනස්කම් හින්දා තමයි මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ. මව පිළිබඳ තොරතුරු විමසා ඇය සමගද කතා බහක යෙදුනු මනෝ වෛද්‍යවරයා කීය.

“තමන් කරන කියන දේවල් අසාමාන්‍ය විදිහට අමතක වීම තමයි මේ රෝගයේ මූලික ලක්ෂණය. නමුත් ඒ නිසි කලට නිසි ප්‍රතිකාර නොලැබුණොත් තව තවත් රෝග ලක්ෂණ ඒකට එකතු වෙනවා. තමන් කරන කියන දේවල් ගැන නිශ්චයක් ඇති නොවීම වගේ දේවල් හින්දා මේ අසනීපය තියන කෙනෙක් හිටපු ගමන් ඉබාගාතේ ඇවිදින්න වුණත් පුළුවන්. ඒ වගේම මේ රෝග තත්ත්වය මොළයේ එක් එක් කොටසට පැතිර යාම ඔස්සේ ලජ්ජාව නැතිවීම වගේම වැරදි පරිකල්පන සිත තුළ ක්‍රියාත්මක වීම වගේ දේවලුත් සිදුවෙන්න පුළුවන්; මූලික අවස්ථාවේ නිසි ප්‍රතිකාර මගින් ඒ රෝග ලක්ෂණ පාලනය කරන්න පුළුවන් වුණත් පහුවෙන කොට රෝගය උත්සන්න වුණාට පස්සේ රෝග තත්ත්වය පාලනය කිරීමේ හැකියාව ටිකෙන් ටික අඩුවෙනවා. ඔය ජනාධිපතිවරණ අනාවැකි කීමත් ඒ රෝගයේ ලක්ෂණයක්. ඒ පවුලේ ඉස්සර ඉඳන් තිබුණ දේශපාලන පසුබිම මොළයේ ව්‍යුහගතවීමත් ඒකට බලපාන්න ඇති.” එසේ කී මනෝ වෛද්‍යවරයා සුගීතාගේ මව සඳහා ඖෂධ ප්‍රතිකාර නියම කරන ලද්දේ එම ප්‍රතිකාර ගන්නා අතරේ ද ඇය පිළිබඳ මනා විමසුමකින් පසුවන ලෙස සුගීතාට දන්වමිනි. ඒ අනුව තම දෙමාපියන් සමග පැවැති පැරණි තරහ මරහ ඉවත ලු සුගීතා තම මව පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වූ අතර ටික කලක් තුළදී මව තුළ පැවැති එම රෝග ලක්ෂණ දුරුකරලීමට සුගීතාට හැකි විය.

ගාල්ල, කරාපිටිය ,ශික්ෂණ රෝහලේ විශේෂ්ඥ මනෝ වෛද්‍ය
රූමි රූබන්

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>