TT Ads

 

මිනිස්, තිරිසන් ආදී වූ ජීවත් වන ඕනෑම සත්වයකු තුළ භය තිබේ. භය නැති කරන්නට මාර්ගඵල ලැබිය යුතුය.
නිවන් මග අහුරාලන දස මාර සංකල්පයට බය ඇතුළත් වන්නේ කෙසේද? අපි ඒ ගැන විමසා බලමු.
ඔබට කිසියම් සතෙකුගේ ජීවිතයක් නැති කරන්නට අදහසක් ඇති වුණේ යැයි සිතන්න. ඒ සතා ඔබට කරදරකාරී මදුරුවකු වන්නට පුළුවන. නැතහොත් ඊට වඩා විශාල සතකු විය හැකිය. කෙසේ වුවද සතකුගේ ජීවිතයක් තොර කිරීමට පෙර ඔබේ සිතට එක්වරම නැගෙන සිතිවිල්ල කුමක්ද? මුලින්ම නැගෙන්නේ ද්වේෂයයි. ඔබ එම සතා මරන්නට සිතන්නේ ද්වේෂය ඇති වීම නිසාය. ද්වේෂයකින් තොරව අකුසලයක් කළ නොහැකිය. ඊළඟට ඔබ සතා මරන්නට සූදානම් වන මොහොතේදී “මොනව වුණත් සත්තු මරන එක හොඳ දෙයක් නෙමේ. මේ ප්‍රාණඝාත අකුසලය හින්දා ඊළඟ ආත්මෙදී මම අඩු ආයුෂයකින් මැරෙන්න පුළුවන්. මේ ආත්මේදී වුණත් මට මේ අකුසලයේ විපාක දෙන්න පුළුවන්” වැනි සිතිවිලි ඇති වුවහොත් එවිට ඇති වන්නේ පව් කිරීම සඳහා භයකි. මෙසේ පවට භය ඇති වන්නේ නම් එය පවෙන් වළකින්නට හොඳ අවස්ථාවකි. මෙය පස් පව් දස අකුසල් ඕනෑම දෙයක් වෙනුවෙන් පොදුවේ යොදා ගත හැකිය. පවට භය ඇති විට පව් කරන්නට පෙළඹෙන්නේ නැත. ඒ අනුව පවින් වැළකී හිඳීමට ඇති හොඳම ක්‍රමය පවට භය ඇති කර ගැනීමය. අනුකම්පාව හෝ කරුණාව වැනි දෑ අන්‍යයන් මුල් කරගෙන ඇති වන දෑ දෙයකි. නමුත් බිය යනු තමා මුල් කරගෙන ඇති වන්නකි. එබැවින් පව් කිරීම නිසා තමාට මේ භවයේදී හෝ මතු භවයකදී වුව කුමක් හෝ අවැඩක් නරකක් නපුරක් වේයැයි සිතන බිය තුළම පව් කිරීමෙන් වැළකීම සඳහා වුවමනාවක් ඇති වීමට පුළුවන.
නිවන් දකින්නට කුසල් වැඩිය යුතුය. කුසල් වැඩීමේ ප්‍රධානම ක්‍රමය භාවනාවයි. දිගින් දිගටම භාවනාව වඩන විට සමහරුන්ට විවිධාකාර රූප මැවෙන්නට පටන් ගනී. විවිධ ශබ්ද ද ඇසෙන්නට පුළුවන. මෙවැනි භ්‍රාන්තිවලට බිය වී සමහරු භාවනාව අතහැර දමති. නමුත් භාවනාව ආරම්භ කිරීමට පෙර මෙවැනි දේ ඇතැම් විට සිදු විය හැකි බව දැන ගත යුතුය. භයක් ඇති වී භාවනාව අතහැර දැමුවොත් නිවන් මග කරා යාමට බාධාවකි. මෙයට හොඳම නිදසුන කරණීය මෙත්ත සූත්‍රයේ නිදාන කතාවයි.
වනයේ වෙන් වෙන්ව භාවනා කරමින් සිටි භික්ෂුන් වහන්සේලා පිරිසකට මෙසේ විවිධාකාර භ්‍රාන්ති ඇසෙන්නට පෙනෙන්නට විය. ඒ කිසිම භික්ෂුන් වහන්සේ නමක් තමා අත්දකින ලද දේවල් අනෙක් භික්ෂුන් වහන්සේ නමකට හෙළි කිරීමට බිය විණි. ටික දිනක් යන විට මේ භික්ෂුන් වහන්සේලා නිතර භයින් කල් ගෙවීම හේතුවෙන් කෑම අරුචිය ඇති වී කෘශ වන්නටත් සුදුමැලි වන්නටත් පටන් ගත්හ.
මෙසේ වසන අතරේ එක් භික්ෂුන් වහන්සේ නමක් තවත් භික්ෂුන් වහන්සේ නමක් හමු වූ අවස්ථාවක “මොකද මේ ඔබ වහන්සේ කෘශ වෙලා. ඈලි මෑලි වෙලා? ඔබ වහන්සේත් අසනීපයෙන්ද”යි විමසූහ. එවිට අනෙක් භික්ෂුන් වහන්සේ තුළ පුදුමයක් ජනිත විය. ඒ එම භික්ෂුන් වහන්සේත් එලෙසම කෘශ වී සුදුමැලිව හිඳිනු දැකීමෙනි.
“මට විතරක්යැ. ඔබ වහන්සේටත් වෙලා තියෙන්නේ එයමනේ. ඔබ වහන්සේත් රෝගාතුරව සිටියද?” යනුවෙන් උන්වහන්සේද ප්‍රශ්න කළහ.
මෙසේ ඇති වූ කතා බහ තුළින් ඔවුනොවුන්ට මුහුණ දීමට සිදුවී තිබූ අත්දැකීම් මුල්වරට සියල්ලන්ටම අනාවරණය විය. භාවනා වඩමින් සිටි සියලුම භික්ෂුන් වහන්සේලා මුහුණ දී සිටියේ එකම ආකාරයේ ගැටලුවකටය.
පසුව මෙම ගැටලුව බුදුරජාණන් වහන්සේ වෙත උන්වහන්සේලා රැගෙන ගියහ. බුදුරජාණන්වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරන්නේ ඉන්පසුවය.
මෙලෙස කුසල් වැඩීමේදී භය නිසා විවිධාකාරයෙන් බාධා පැමිණෙයි. විවිධ ස්වරූපයෙන් හට ගන්නා මේ බිය නිසි ලෙස අවබෝධ කර ගැනීම තුළින් එය නැති කර ගැනීමේ හැකියාව වර්ධනය වේ.
විචිකිච්ඡාව
විචිකිච්ඡාව යනු සැකයයි. මාර සංකල්පය තුළ එන විචිකිච්ඡාව යනු බුද්ධාදී අට තැන් පිළිබඳව ඇති වන සැකය විය. බුද්ධාදී අට තැන් යනු බුදුරදුන් ඇතුළු කරුණු අටක් සම්බන්ධයෙන් පවතින සැකයයි.
ඒ කරුණු අට මෙසේය.

1. බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැකය.
එනම් බුදුන් කියා කෙනෙක් සිටියේද ආදි විවිධාකාර ලෙසින් බුදුරදුන් කෙරෙහි උපදවා ගන්නා සැකයයි.
2. ධර්මය පිළිබඳ සැකය.
එලෙසින්ම ධර්මය කෙරෙහි විවිධ අයුරින් සැක පහළ කර ගැනීමය.
3. සංඝයා පිළිබඳ සැකය.
4. අතීත භවය පිළිබඳ සැකය.
අතීත භවයක් තිබුණේද යන්න ගැන විවිධ සැක පහල කිරීම.
5. මතු භවය පිළිබඳ සැකය.
මරණින් මතු භවයක් තිබිය හැකිද යන සැකය.
6. පෙර සහ මතු යන භවයන් දෙක පිළිබඳවම සැකය.
7. ශික්ෂා පද පිළිබඳ සැකය
ශික්ෂා පද රැකිය යුතුද, ‘සතුන් මරන්නෙ නැතිව කොහොමද ඒවා කෑමට ගන්නේ?’ ආදි වශයෙන් විවිධාකාරයෙන් ශික්ෂා පද කෙරෙහි ඇති කර ගන්නා සැකය.
8 පටිච්ච සමුප්පාදය කෙරෙහි ඇති කර ගන්නා සැකය.

“මාර” යනු නිවන් මග කරා යාමට තිබෙන බාධාවන්ය. මේ අනුව බිය සහ විචිකිච්ඡාව නිවන් මග අසුරා දමන ආකාරය ඉහතින් විස්තර කළෙමු.
තවත් මාර සංකල්ප කිහිපයක් පිළිබඳව ලබන සතියේ කතා කරමු.

කරන්දෙනියේ, උණගස්වෙල
සිරිනිවේසාරාමාධිපති
ශාස්ත්‍රපති
පූජ්‍ය පිටිගල ධම්ම විනීත හිමිපාණෝ

සටහන-ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>