TT Ads

ඉඩමක් මිලදී ගැනීමේදී ඔබට කැමති ඉඩම තෝරා ගනීමෙන් අනතුරුව ඒ සඳහා ඉඩමේ සැලසුම හෙවත් පිඹුර (Site Plan) සකස් කර ගැනීමට කටයුතු කළ යුතුය. වෙන්දේසි කරන ලද ඉඩම් මිලදී ගැනීමේදී බොහෝවිට විකුණුම් කරු විසින් පිඹුර ලබා දෙන මුත් තනි ගැනුම් කරුවෙකුගෙන් ඉඩමක් මිලදී ගැනීමේදී පිඹුර සකස් කර ගැනීම සඳහා මිනින්දෝරු මහතෙකුගේ සේවාව ලබා ගත යුතුවේ. ඉඩම සම්බන්ධ නීතිමය කටයුතු නිම කර ගැනීමෙන් පසු නිවාස ඉදි කිරීම සඳහා නිවාස සැලසුම නිර්මාණය කර ගත යුත්තේ ඉන් පසුවය.

 

සැලසුම් අනුමත කර ගැනීම
පිඹුර සහ තමන්ගේ කැමැත්ත මත නිර්මාණය කරගන්නා නිවාස සැලසුම අදාළ ප්‍රදේශයේ පළාත් පාලන ආයතන මගින් අනුමත කර ගැනීම ඉන්පසු කළ යුතු කාර්යය වේ. එහිදී කිසියම් නීති රීති මාලාවකට යටත්ව අනුමත කිරීම සිදුවේ. ඇතැම් ප්‍රදේශවල අනුමත කර ගැනීම අත්‍යවශ්‍ය නොවන මුත් මේ වන විට බොහෝ ප්‍රදේශවලට මෙම නීති රීති වලංගුවේ. මේ සෑම විටම එම නීති රීති පිළිබඳව දැනුවත්ව ඉඩමේ සහ නිවසේ සැලසුම් නිර්මාණය කර ගැනීම බොහෝ ගැටලුකාරී තත්ත්වයන් මඟ හරවා ගැනීමට පිටිවහලක් වනු ඇත. කෙසේ වෙතත් නිවාස ණයක් ලබා ගැනීමේ අදහසක් පවතී නම් අනුමත කරන ලද සැලසුම් අත්‍යවශ්‍යවේ.

 

නිවාස සැලසුම:-
ඉඩමේ ප්‍රමාණයට අනුව නිවාස සැලසුම නිර්මාණය කිරීමේදී තමාගේ මෙන්ම පවුලේ උදවියගේ කැමැත්ත හා අවශ්‍යතාවන් කෙරෙහිද අවධානය යොමුකිරීම වඩා සුදුසුය. ඊට අමතරව ආර්ථික ශක්තිය, නීති රීති සහ සුන්දරත්වය පිළබඳවද නිවස සැලසුම් කිරීමේදී අවධානය යොමු කිරීම වටී. නිවස සැලසුම් කරන විට එහි වාස්තු විද්‍යාත්මක තත්ත්වයන් කෙරෙහිද සැලකිලිමත් වීම අවශ්‍ය වේ.

නිවසක් ඉදිකිරීමේ අවශ්‍යතාවය ඇති විට, තමන් සතුව මිල මුදල් ඇත්නම් නීත්‍යානුකූල තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරන්නන් ඉතා අල්පවය. මේ නිසා මුළු ජීවිත කාලය පුරාවට තමාට හැකි උපරිම මට්ටමෙන් ගොඩ නඟන ඔබගේ නිවහන නිසි පිළිවෙළකින් තොරව නිමවීමට තිබෙන හැකියාව වැඩිය. හිතුමතයේ නිවසට එක් කරන කොටස් නිසා බොහෝ විට ආරම්භයේ සිතා සිට නිවසට වඩා හාත්පසින්ම වෙනස්ම නිවසක් අවසානයේ ඉදිවීමේ ඉඩකඩ ඇත. ඊට අමතරව මෙම හේතුව නිසා බොහෝ විට වැඩ නිම කළ නිවස නීත්‍යානුකූල එකක් නොවීමේ හැකියාවද පවතී. නිසි සැලසුමක් නොමැතිකමින් ඉදිකිරීමට සම්බන්ධ වන පාර්ශ්ව අතර නිවැරදි අවබෝධයක් පවත්වා ගත නොහැකිවේ. මේ නිසා බොහෝ විට ඉදිකිරීම සිදුවන්නේ පෙදරේරුවන්ට අවශ්‍ය පරිදිය.

නිසි ගෘහ නිර්මාණ සැලසුමක් නොමැති කමින් සිදුවන තවත් අනර්ථයක් වන්නේ මුදල් හා කාලය කළමනාකරණය කර ගැනීමට නොහැකිවීමයි. මේ නිසා මුදල් හා කාලය නොසිතන අන්දමින් නිකරුණේ වැය වීමට පුළුවන. ඊට අමතරව වාස්තු විද්‍යානුකූල දෝෂ ඇතිවීම. භාවිතයේ අපහසුතා ඇතිවීම මෙන්ම ඉඩකඩ අපතේ යෑම් සිදුවිය හැක. එසේම ආලෝකය සහ වාතාශ්‍රය නිසි පරිදි ගොඩනැඟිල්ල තුළට නොලැබීමද වැඩ නිම වෙද්දී අවශ්‍යතාවන්ට අනුව නොගැළපීම් ඇතිවිය හැක. මේ නිසා ඉඩමක් මිලදී ගැනීමෙන් හෝ වෙන්කර ගැනීමෙන් පසු සිදු කළ යුතු මූලික පියවර විය යුත්තේ නිවාස සැලසුම නිර්මාණය කර ගැනීමය. මෙහිදී මෙම විෂය සම්බන්ධව කටයුතු කරන වෘත්තිකයෙකු හමු වී නිවැරදි මඟ පෙන්වීමක් ලබා ගැනීම වඩා සුදුසුය.

ගෘහ නිර්මාණ සැලසුමක් නිර්මාණය කිරීමේදී ප්‍රමාණය, හැඩය, බෑවුම, පස, ස්වාභාවික පරිසරය සහ දේශගුණික ලක්ෂණ සැලසුමක් නිර්මාණය කිරීමේ සැලකිල්ලට ගනු ලබයි. එසේම තම වෘත්තීය තත්ත්වය, පවුල් පසුබිම, සමාජ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදි කරනා නිවහන වර්තමානයට සේම අනාගතයට ගැළපෙන පරිදි ඉදි කර ගැනීම සඳහා අවධානය යොමු කළ යුතුය. නව නිවහනක් ඉදි කිරීමේදී කිසියම් තේමාවකට අනුව සිදු කිරීම බෙහෙවින් වැදගත් වේ. භාවිත කරන හැඩතල අවකාශ, වර්ණ ආදිය පිළිබඳව මනා සම්බන්ධයක් පවත්වා ගෙන යෑම නිසි තේමාවක් පවත්වාගෙන යෑමට ඉවහල් වන සාධකය.

වාස්තු විද්‍යාත්මක කරුණු
තමන්ගේ මෙන්ම පවුලේ අයගේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ පිළිබඳව දැනුවත්ව සිටීම වැදගත්ය. නිවාස සැලසුමක් නිර්මාණයේදී මෙන්ම නිවස ගොඩ නැඟීමෙදී සහ භාවිතයේදී ඇතිවිය හැකි දෝෂ අවම කර ගැනීම තුළින් සතුට සපිරි සුන්දර නිවහනයක් හිමි කර ගැනීමට ඔබට හැකියාව ඇත. 100%ක් ප්‍රායෝගික මට්ටමකින් වාස්තු කරුණු තෘප්ත කිරීමට නොහැකි බවත් සිහි තබා ගත යුතුය. කෙසේ නමුත් වාස්තු විද්‍යාවේ ප්‍රධාන සිද්ධාන්තවලට අනුකූලව නිවස සකස් කර ගැනීම සඳහා හැමවිටම උනන්දු වීම වැදගත් වෙයි.

ගොතටුව, දිනුදා හෝම්ස්හි
ගෘහ නිර්මාණ ශිල්පිනි, වාස්තු විද්‍යා උපදේශිකා
නිසංසලා කොළඹගේ

සුරංජිත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>