TT Ads

දුවේ, පුතේ, මෙවර අලු‍ත් පාසල් වාරය ඇරඹුණාම ඔබ හොඳින්ම මතක තබාගත යුතු කරුණු කීපයක්ම තිබෙනවා. ඔබ පාසලට යන්නේ පොදු මගී ප්‍රවාහන බස් රථයකින් හෝ පාසල් බස් රථයෙන් හෝ පයින් ඇවිදගෙන හෝ පියා හෝ මව සමග යතුරු පැදියකින්, ත්‍රිරෝද රථයකින් විය හැකියි. සමහර දරුවන් පාසල් යාම සඳහා දුම්රියද භාවිතා කරනවා. මේ නිසාම ඔබ හොඳින්ම මතක තබාගතයුතු කරුණක් තමයි නිවසින් පිටත් වී කුමන ආකාරයකින් ඔබ පාසලට පැමිණියත් පාසල් ගේට්ටුවෙන් ඇතුළුවන තුරුම මුහුණු ආවරණය අනිවාර්යයෙන්ම ඉවත් නොකළ යුතු බව.

 

පළමුව කළයුතු දේ
පාසල් ගේට්ටුවෙන් ඇතුළු වුණාට පස්සේ ඔබ වෙනුවෙන්ම පිළියෙළ කර තිබෙන අත් සෝදන යන්ත්‍රය හෝ ජලකරාමය ළඟට ගොස් නියමිත ප්‍රමිතියට අනුව අඩුම තරමින් තත්පර 20ක්වත් කාලයක් ගතකරමින් ක්‍රමාණුකූලව ඔබේ දෑත් සෝදාගත යුතුයි. අත් සේදීම සඳහා ඔබ අනෙකුත් සහෝදර සහෝදරියන් මෙන්ම මීටරයක තරම් දුරකින් පෙළ ගැසී සිටීමත් ඉතාම වැදගත්.

නියමිත දුරින් ඉන්න
මේ පාසල් වාරයේ මුල් අදියරවල්වලදී තෝරාගත් ශ්‍රේණි කීපයක් පමණක් එක් එක් දිනවල පාසල වෙත කැඳවා ගැනීමට නියමිත බව අපේ දුවලා පුතාලා දැනටමත් දන්නා කරුණක්. ඒත් ඔබ ඔබේ පංති කාමරයේදී වෙනදා මෙන් ඔබේ මිතුරන්ට ළං නොවී වම් පසින් දකුණු පසින් ඉදිරියෙන් හා පිටු පසින් යන සිව් දෙසින්ම මීටරයක දුරක් ආවරණය වන අයුරින් අසුන් ගැනීමත් ඉතාම වැදගත් කාරණයක්.

පැය හයක් කියන්නේ පුංචි කාලයක් නෙමෙයි
දුවේ, පුතේ, පැය හයක් පමණ කාලයක් දිනකට ඔබ පාසලේ ගතකළ යුතුයි. මේ මුළු කාලය තුළදීම මුහුණු ආවරණ පැළඳ අධ්‍යාපන කටයුතුවල යෙදීම අපේ දුවලා පුතාලට ඒ තරම් ලෙහෙසි කාර්යයක් නොවෙයි. ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක කිරීම අපහසු නිසාම අපේ රටේ සෞඛ්‍ය බලධාරින් ඒ සඳහා ඔබට පුංචි සහනයක් ලබාදී තිබෙනවා. ඒ තමයි පංති කාමරය තුළදී මුහුණු ආවරණ නොපැළඳ අධ්‍යාපන කටයුතු වල නිරත වීමට අවසර ලබාදීම.

සිහි තබා ගත යුතු වගකීමක්
හැබැයි ඉතින් ඔබ සතුව මෙහිදී ඉතාම වගකීමක් පැවැරි තිබෙන බවත් අවධාරණයෙන්ම සිහියේ තබාගත යුතුයි. කොපමණ හොඳ සමීප කළණ මිතුරන් වුණත් ඉතාම ලෙන්ගතු වුණත් වෙනදාටත් වඩා ඉතාම විනීතව මනා සංයමයකින් දැනුම් තේරුම් ඇතිව පන්තියේ යහළු යෙහෙළියන් සමග අදහස් හුවමාරු කර ගැනීමටත් වගකීම් සහගත ලෙස හැසිරීමටත් යුතුකමක් ඔබ සතුව තිබෙනවා.

කොවිඩ් 19 රෝග ලක්ෂණ පහල නොකළත් කිසියම් ආකාරයකින් හෝ ඔබේ යහළුවෙක් යෙහෙළියක් සෙම්ප්‍රතිශ්‍යාවෙන් හෝ උණ හෝ කැස්ස වැනි රෝග තත්ත්වයකින් හෝ පෙළෙනවා නම් ඒ පිළිබඳව පාසලේ අදාළ අංශ වෙත වහා දැනුම්දීමටද ඔබ තුළ පවතින්නේ විශාල වගකීමක්. මේ අනුව ඔබ පාසලේදී අන් අය සමග හැසිරිය යුතු චර්යා පිළිවෙත් පිළිබඳව විශාල අවබෝධයකින් කටයුතු කළ යුතු බව ඔබට හොඳින්ම වැටහෙනවා ඇති. “අලියන්ටයි ළමයින්ටයි නළියන්නමයි හිත” කියලා ජනප්‍රිය කියමනක් තිබුණට තවත් කෙටි කාලයක් ඉතාම ප්‍රවේශමෙන් පාසලේදී පමණක් නොවෙයි අප ක්‍රියාකාරිවන සෑම සමාජයකදීම ප්‍රවේශමෙන් හැසිරිය යුතු බව අමතක කරන්න එපා. වැරදිලාවත් නුසුදුසු තැනක කෙළගැසීම පවා නොකිරීමට වගබලා ගන්න.

දෑත් සේදීමේ වැදගත්කම
මුව ආවරණය මගින් ඔබට ආරක්ෂාව ලැබෙන්නේ ඉතාම සීමිත ප්‍රමාණයකට පමණක් බවත් ඉතාම පැහැදිලිව ඔබ තේරුම් ගත යුතුයි. මුව ආවරණය පැළඳගෙන සිටීමෙන් පමණක් 100% ක ආරක්ෂාවක් බලාපොරොත්තු විය නොහැකියි. කොවිඩ් 19 (Covid 19) කියන්නේ සාමාන්‍ය ශ්වසන රෝගී තත්ත්වයක් නොවෙයි. එය මෙතෙක් ලොව බිහිවූ ඉතාම වේගයෙන් ව්‍යාප්ත වුණු භයානකම වසංගත රෝගයක්. පාසලේදී වගේම අප හැසිරෙන සැරිසරන භාවිත කරන පෘෂ්ඨවල තැවරී තිබෙන විෂබීජ ආදිය වැඩි වශයෙන්ම අපේ නාසයට දෑස්වලට මුඛයට යන්නේ අපේම දෑත් මාර්ගයෙන්. මේ නිසා නිසි පිළිවෙළට විෂබීජ හරණය වන පරිදි දෑත් සේදීම සිදු කිරීම ඉතාම වැදගත්. ඉතින් පාසලේදී වේවා වෙනත් ගමනක් ගොස් පැමිණි විටකදී වේවා මුහුණු ආවරණ පැළඳීමට පෙරත් මුහුණු ආවරණය ඉවත් කළ පසුත් ඔබ නිසි පරිදි දෑත් සේදීමේ කාර්යය සිදුකළ යුතුයි.

අවිධිමත් චර්යා
ඒ වගේම තමයි ඔබ මුහුණු ආවරණ පැළඳගෙන සිටින අවස්ථාවකදී ගුරුවරයෙකු සමග හෝ මිතුරකු සමග හෝ කතා කරද්දී මුහුණු ආවරණය නිකට දක්වා පහත් කරනවා නම් කහින විට කිවිසුම් අරින විට හෝ එය පහත් කරනවා නම් එය ඉතාම වැරදියි. නිවසේ සිට පාසලට පැමිණෙන අතරතුරත් පාසල නිමවී නිවසට යන අතරතුරදීත් ඔබ එවැනි වැරද්දක් නොකළ යුතුයි. හදිසියේ කිවිසුමක් පිට කිරීමේදී ඒ සඳහා ඔබ ඔබේ දකුණතේ හෝ වමතේ වැලමිටේ ඇතුළු පැත්ත නිසි පිළිවෙළට භාවිත කළ යුතුයි. ඒ වගේම තමයි පොදු ස්ථානවල හැසිරෙන සෑම අවස්ථාවකදීම කිසිම විටක මුහුණ අල්ලන්න එපා.

තවත් වැදගත්ම පණිවුඩයක්
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට ඔබ මතක තබාගතයුතුම තවත් වැදගත් කරුණක් තමයි ව්‍යායාම කරන විටදී හෝ ක්‍රීඩා කරන විටදී මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බව. එවැනි අවස්ථාවල මුහුණු ආවරණ පැළඳීමෙන් සිදුවන්නේ මුහුණු ආවරණ දහඩියෙන් පෙඟී හුස්ම ගැනීම අපහසුවීමයි. එමෙන්ම මෙමගින් මුහුණු ප්‍රදේශයේ නොයෙකුත් ක්ෂුද්‍රජීවින් වර්ධනය වීමට එය හේතුවක් විය හැකියි.

මුහුණු ආවරණයේ ප්‍රමිතියේ ස්වභාවය
ඔබ පළඳින මුහුණු ආවරණය ස්ථර තුනකින් යුත් මුහුණු ආවරණයක් වීම ඉතාම සුදුසුයි. එවැනි මුහුණු ආවරණ වර්තමාන වෙළෙඳපොළේ මඳක් ඉහළ මිලකට විකිණෙන බැවින් එවැනි මුහුණු ආවරණයක ආදර්ශයකට අනුව මුහුණු ආවරණ සඳහා ගැළපෙන රෙදි වර්ගයකින් ඔබේ නිවසේදීම එවැනි මුහුණු ආවරණ මසාගෙන භාවිත කිරීම විකල්පයක් ලෙස ඔබට යෝජනා කරන්නන් අපි කැමතියි. (ඉන් ලැබෙන ආරක්ෂාව වගේම ආර්ථිකමය වාසියත් ඉහළයි.)

දවසකට මුහුණු ආවරණ දෙකක්
තවදුරටත් ඔබ මතක තබාගත යුතු කරුණක් තමයි නිවසින් පාසලට පැමිණෙන විට පැළදි මුහුණු ආවරණයම පාසල නිමවී නිවසට යන විට නොපැළඳීම. මේ සඳහා ඔබට දිනකට මුහුණු ආවරණ දෙකක් භාවිත කළ හැකි නම් එය ඉතාමත්ම හොඳයි.

මුහුණු ආවරණයකට සුදුසුම පාට
මුහුණු ආවරණ සුදු හෝ ළා පැහැති රෙද්දකින් සකසා ගැනීම පාසල් දරුවන්ට වඩාත් සුදුසු බවත් මතක් කරන්න කැමතියි. කළු පාට, තද පාට මුහුණු ආවරණ තාපය වැඩි පුර උරා ගන්නා බවත් ඉන් වැඩිපුර රස්නයක් ඔබේ මුහුණු පෙදෙසට ලැබෙන බවත් මතක තබාගන්න.
වරක් පැළඳි මුහුණු ආවරණයක් නැවත නැවත පැළඳීම සිදු නොකර හොඳින් සෝදා පිරිසිදු කර, අව්වේ වේලා පැළඳීමට පෙර එය අයන් කර පැළඳීමත් ඉතාම හොඳ තත්ත්වයක්. ප්‍රමිතියෙන් යුත් මුහුණු ආවරණ නිසිව පැළැඳීමෙන් කොවිඩ් 19 වසංගතය අවට පරිසරය තුළ පැතිර යාම සාර්ථකව පාලනය කරන්නටත් එමෙන්ම අනෙකුත් ශ්වසන රෝගවලින් ඔබට ආරක්ෂාව ලබාගැනීමටත් විශාල සහයක් ලැබෙන බව ලොව විවිධ රටවල සිදුකළ පර්යේෂණ ප්‍රතිඵලවලින් හෙළිවී තිබෙනවා.

කීර්ති එස්. කුමාර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>