TT Ads

දරුවන් අතර බහුලව ශ්වසන රෝග ඇති කරන වෛරස් වර්ග කිහිපයක්ම තිබෙනවා. ඒ අතර බහුලව හමුවන වෛරස් කාණ්ඩයක් ලෙස ඉන්ෆ්ලුවන්සා වෛරසය හඳුන්වන්න පුළුවන්. ඒ අනුව ඉන්ෆ්ලුවෙන්සා (influenza virus), පැරා ඉන්ෆ්ලුවෙන්සා (para influenza), රසිනෝ වෛරස, (ricino virus), ආර් එස් වී වෛරස (RSV virus) ඇඩිනො වෛරස (adeno virus), කොරෝනා වෛරස (corona virus) ආදියෙන් ශ්වසන රෝග ඇතිකරනවා. කොරෝනා වෛරසය කියන්නේ සාමාන්‍ය උණ, සෙම්ප්‍රතිශ්‍යාවක් ඇතිකරන වෛරසයක්. නමුත් කොවිඩ් 19 (covid  19) කියන්නේ වෙනස් වෛරසයක්. මේ වෛරසය කවදා කොහොම අපව අතහැරලා යාවිද කියලා අපට කියන්න බැහැ. මේ වෛරසයෙන් ඉඳහිට මතුවෙලා අපිව ආසාදනය කරලා යන්න පුළුවන්. කොවිඩ් නැතිව ඉන්න හිතුවට එහෙම කරන්න අමාරුයි. මේක ගෝලීය වසංගත තත්ත්වයක්. ඒ නිසා අපට කොවිඩ් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙනවා.

මේ නිසා මව්පියන් නිතරම ඉන්නේ බයෙන්. මගේ දරුවාට කොවිඩ් හැදෙයිද කියන මානසිකත්වයෙන් මිදෙන්නට අමාරුයි. හැබැයි යුරෝපයේ කොවිඩ් ආසාදිතයන් 100 කට දරුවන් 10 යි වාර්තා වුණේ. රටක් විදියට අප එම තත්ත්වය පාලනය කළ නිසා එයට වඩා අඩු තත්ත්වයක් තමයි වාර්තා වුණේ. ඒත් අවදානම අඩුයි කියලා හිතන්න එපා. දැන් පාසල් විවෘත කළාට පසුව පරිස්සම් නොවුණොත් හරියට සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළොත් අප වෙතත් ඒ අවදානම එන්න ඉඩ තියෙනවා.

විශේෂිත දරුවන්

අප අතර විශේෂයෙන් රැක බලාගත යුතු දරුවන් ඉන්නවා. ඒ අනුව හදවත් රෝග ඇති, උපතින්ම ප්‍රතිශක්තිය අඩු, සමහර වකුගඩු රෝගී දරුවන්, පෙණහලු දුර්වලතා ඇති දරුවන්, අඩු මාසෙන් ඉපදුණු දරුවන්ට මෙය ආසාදනය වුණොත් ටිකක් දරුණුවට බලපාන්න පුළුවන්.

රෝග ලක්ෂණ

සුළු උණ, උගුරේ ආසාදනය සහ වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, මලානික බව, මස් පිඬු වේදනාව, ක්‍රියාශීලි බව නැතිවීම, කලාතුරකින් පාචනය, වමනය, උදරයේ වේදනාව ඇතිවෙන්නට ඉඩ තියෙනවා. බරපතළ තත්ත්වයට යන අයට ගිලීමේ අපහසුතා ඇතිවෙන්න පුළුවන්. ඉතින් කුඩා දරුවකුට ඒ වගේ තත්ත්වයක් ඇතිවීම හොඳ දෙයක් නොවෙයි. ඒ නිසා ඉක්මන් ප්‍රතිකාර අවශ්‍යයි.

හොඳ සෞඛ්‍ය පුරුදු

නිවැරැදිව සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමේ වැදගත්කම දරුවන්ට අවබෝධ කරදීම වැදගත්. ඒ අනුව දුරස්ථ බව රැකගැනීම, මුඛ ආවරණ පැළඳීම, දෑත් සේදීම, බාහිර පෘෂ්ඨ ඇල්ලීමෙන් වැළකීම ආදී දේවල් පුරුදු බවට පත්කරගන්න දරුවන්ට කියාදීම අවශ්‍යයි. මොකද තවම අප හැසිරෙන්නේ අවදානම පහව නොගිය සමාජ තලයකයි. මේ වෙලාවේ දරුවන් පාසල් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් බාහිර සමාජය සමඟින් සම්බන්ධ වීමේ සූදානමකයි පසුවන්නේ. එනිසා මේ වෙලාවේ කොවිඞ් එක්ක ජීවත් වීමේදී අනුගමනය කළ යුතු යහපත් ගුණාංග දරුවන්ට කියා දීම පමණක් නොව එය ආදර්ශයෙන් දරුවන්ට පෙන්වා දීම බොහොම හොඳ දෙයක්. මොකද දරුවන් නිතරම කරන්නේ ඒ අය දකින දේ. ඉතින් ඔබ කරන කියන දේ ග්‍රහණය කර ගැනීමට ඒ අය නිතරම උත්සාහ කරනවා.

මුඛ ආවරණ සහ කුඩා දරුවන්

සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට මුඛ ආවරණ සමඟින් කටයුතු කිරීම අපහසුතා ගෙන දෙන දෙයක්. ඒ අනුව වයස අවුරුදු දෙකට වැඩි අයට තමයි මුඛ ආවරණ පැළඳීම නිර්දේශ කරන්නේ. මොකද කුඩාම දරුවන්ට මේ නිසා හුස්ම හිරවෙන්න පුළුවන් නිසා ඒක අවදානම්.
සාමාන්‍යයෙන් වයස අවුරුදු දෙකට වැඩි දරුවන් තුළින් වුණත් නිතර කෙළ බේරෙන ගතියක් දකින්නට පුළුවන්. ඉතින් ඒ කෙළ තැවරුණු මුඛ ආවරණ එක්ක ඉන්නවට වඩා නැතිව ඉන්න එක හොඳයි. ඒ නිසා නිතරම මාරු කරන්නට මුඛ ආවරණ කිහිපයක් තබා ගැනීම බෙහෙවින් හිතකරයි.
හොඳම දේ තමයි දරුවන් පුළුවන්තරම් ගෙදරම තියාගන්න එක. බාහිර සමාජය සමඟින් මුසු නොවීමට වග බලා ගැනීම.
පාසල් සහ පෙර පාසල් යන වයසේ පසුවන දරුවන්ට මුඛ ආවරණය කෙතරම් වැදගත් ද යන කාරණය පිළිබඳව අවබෝධ කර දීම වැදගත්. මොකද කුඩා දරුවන් නිතර මූණ අතගානවා. නාසය ඇස් අල්ලනවා. කටට අත දමනවා. ඒ වගේම තමයි මේ අය නිතරම වතුර බොනවා. එතකොට මුඛ ආවරණය ගලවා බිම තබනවා. නැවත අරගෙන පළඳිනකොට ළඟ ඉන්න යාළුවගේ මුඛ ආවරණය පැළඳගන්න පුළුවන්. ඒක අවදානමක්. ඒ නිසා තම පෞද්ගලික භාණ්ඩ තමන් පමණක් පරිහරණය කළ යුතු අන්දම වගේම ඒවා ආරක්ෂිව භාවිත කළ යුතු ආකාරය ගැන මේ දිනවල කියා දෙන්නම් ඕනේ. එහෙම නොවුණොත් ඉස්සරහට එන කාලයේ දරුවන් රෝගී වීමේ අවදානම වැඩි වෙන්නට ඉඩ තියෙනවා.

ප්‍රතිශක්තිය වඩවන ආහාර

මේ හැමදේමත් එක්ක දරුවන්ගේ ප්‍රතිශක්තිය වඩවන ආහාර පාන ලබාදෙන එක බොහොම වැදගත්. මොන දේ කළත් දරුවන් පහසුවෙන් රෝගවලට ගොදුරු වෙනවා නම් වැඩක් නැහැ. ඒ නිසා ඒ ගැන අවධානය යොමුකරන්න. පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් ලබාදීමෙන් දරුවන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නංවාගන්න පුළුවන්. කොහොමත් පසුගිය දවස්වල පුරුදු වුණු විදියට එළියෙන් ගෙනෙන කඬේ කෑම භාවිතය දිගටම අත් හරවා ගැනීම අවශ්‍යයි. මොකද එතකොට ගොඩක් කැවෙන්නේ තෙල් පිටි සීනි සහිත ආහාර වර්ග. ඒ නිසා හැකිතාක් දුරට ගෙදර හදන ආහාරම දරුවන්ට ලබාදෙන්නට කටයුතු කරන්න.
විශේෂයෙන් විටමින් අඩංගු ආහාර ප්‍රතිශක්තිය ඉහළ දැමීමට හේතුවක් වෙනවා. විටමින් සී සහිත දෙහි කුලයේ ශාක බෙහෙවින් හිතකරයි. සින්ක් සහ ඒ විටමින් ශ්වසන රෝගවලින් ආරක්ෂාව සපයන්නට සමත්. කජු, රටකජු, කව්පි, කඩල වගේම පලා වර්ග, කිරි, කහ පැහැති එළවළුවල මේ අත්‍යවශ්‍ය විටමින් බහුලයි. මේ දේවල් නිතර භාවිතය තුළින් ප්‍රතිශක්තිය උසස් කරගන්න උත්සාහ කරන්න.

අයිස් ක්‍රීම් එපා

හැබැයි මතක තියාගන්න ශීතකළ ආහාර නම් දෙන්නට හොඳ නැහැ. අයිස් ක්‍රීම් වැනි ශීතල ආහාර නිසා උගුර ප්‍රදේශය ශීතල වීම නිසා අහිතකර තත්ත්වයන් ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අධි ශීතකරණයේ තැබූ ආහාර පාන දරුවන්ට දීමෙන් වළකින්න.

උපදෙස්:
ළමා රෝග විශේෂඥ වෛද්‍ය
අරුණි විජේසිංහ

කල්හාරි දසනායක

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>