TT Ads

අධිකව සීනි යෙදූ කෑම හා පැණි බීම භාවිතය මගින් “ස්ථුලතාවය” (තරබාරුව) “දියවැඩියාව” හා “හෘද රෝග” ඇතිවීමේ අවදානම නිසැක ලෙසම ඉහළ යනු ඇත.. ශරීරයට අත්‍යවශ්‍ය වන ප්‍රෝටීන, මේද, විටමින්, ඛනිජ හා තන්තු ආදි සංඝටක අප එදිනෙදා ආහාරයට ගන්නා ආහාර මගින් සපුරා ගනිද්දී සීනි අඩංගු ආහාර හා පැමිණි බීම තුළින් සිරුරට ලැබෙන්නේ “හිස් කැලරි”ය. මොළයේ ක්‍රියාකාරිත්වයට යම් සීනි ප්‍රමාණයක් අවශ්‍ය වුවද, ඒ අවශ්‍යතාව දිනපතා ලබා ගන්නා සාමාන්‍ය ආහාර පාන මගින් ලැබෙන අතර “හිස් කැලරි” අනවශ්‍ය ලෙඩ රෝග රැසකට මුල පුරන බව වෛද්‍ය මතය වේ.

ප්‍රබලම ඇබ්බැහි කාරකයකි

සීනිවල කිසිම පෝෂණ ගුණයක් නැත. දෛනික කැලරි අවශ්‍යතාවට වඩා 10%-20% ඉක්මවා ශරීරයට සීනි ලැබෙයිනම් එයින් විශේෂයෙන් දරුවන් පෝෂණ ඌනතාවලට ගොදුරු වන්නේ පැණි රස කෑම වැඩියෙන් ගැනීමෙන් දෛනික කැලරි අවශ්‍යතාවය නිතරම ඉක්මවා ලැබෙන බැවිනි. සීනි ඇබ්බැහි කාරකයකි. “ඩොපමින්” නම් රසායනිකය පුද්ගලයෙකු සීනි වලට ඇබ්බැහි කිරීමට උපරිම ලෙස සමත්කම් දක්වයි.
සමීක්ෂණ වාර්තා අනුව වර්ෂයකට ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයෙක් සීනි කිලෝ 30ක් පමණ පරිභෝජනය කරයි. දෛනිකවම එම ප්‍රමාණය ග්‍රෑම් 80-85 අතර ප්‍රමාණයකි. නිර්දේශිත සීනි ප්‍රමාණය එක පුද්ගලයෙකුට දෛනිකව ග්‍රෑම් 30කි.

අක්මාව විනාශ කරයි

මත්පැන් අධික භාවිතයෙන් අක්මාව ආසාදනයට ලක්කෙරෙන සිරෝසිස් රෝගය වැළඳීමට ඇති ඉඩකඩ බහුලය. මත්පැන් නොබීවත් සිරෝසීස් සෑදීමට සීනිවලින් බලපෑම් ඇති කරයි. අප ආහාරයට ගන්නා සීනි ශරීරයේදී ග්ලූකොස් හා පෘක්ටෝස් වශයෙන් රුධිර ධාරාවට වැඩි වශයෙන් එකතු වීමෙන් ඒවා අක්මාවේ තැන්පත් වේ. මෙලෙස කලක් ගතවීමේදී අක්මාවේ මේදය තැන්පත් වේ. මෙමගින් “සිරෝසිස්” රෝගී තත්ත්වය ඇතිවිය හැකිය.

හෘද රෝග තෑගි කරයි

“සංතෘප්ත මේදය” හෘද රෝගවලට ප්‍රධානම හේතුවක් බවට දශක ගණනාවක සිටම අප දැනුවත් වී සිටියත් හෘද රෝගවලට අධික සීනි භාවිතයද හේතු වන බව නවතම වෛද්‍ය පර්යේෂණවල තොරතුරු මගින් හෙළිදරව් වේ. සීනි බිඳ හෙළීමේ දී බිහිවන පෘක්ටෝස් LDL (අහිතකර කොලෙස්ටරෝල්) හා ට්‍රයිග්ලිසරයිඞ් මට්ටම වැඩි කරන බව හෙළිදරව් වේ. රස කැවිලි හා විවිධ ආහාර මෙන්ම පැණි බීම බහුලව දිනපතා භාවිත කළ පුද්ගලයන් එවැනි භාවිත කිරීම්වල නිරත නොවුණු පුද්ගලයන්ට වඩා 20%-25%කින් පමණ හෘදයාබාධයන්ට ගොදුරු වන බව “ඇමෙරිකාවේ ජාතික සෞඛ්‍ය පිළිබඳ හාවර්ඞ් විද්‍යායතනය” මගින් පසුගියදා හෙළි කරන ලදී.

ස්ථූලතාවයට හේතුවක්

අග්න්‍යාසය මගින් නිකුත් කෙරෙන “ඉන්සියුලින්” නම් හෝමෝනය රුධිරයට එකතුවන සීනි සිරුරේ පටකවලට ගෙනයන්නට උපකාරී වෙයි. සීනි අධිකව ආහාරයට එකතුවීමෙන් රුධිරයට එකතු වන අධික සීනි ප්‍රමාණයන් පටක වෙත ගෙනයන ඉන්සියුලීන් හෝමෝනයේ නිසි ක්‍රියාකාරීත්වයට බාධා පැමිණේ. එම තත්ත්වය ස්ථුලතාවය (තරබාරුව) ඇතිවීම කෙරෙහි බලපෑම් කරයි.

සීනි සහ පිළිකා

ශරීරයට අවශ්‍ය ක්ෂණික ශක්තිය ලබාදීමේදී යම් විශේෂ අවස්ථාවලදී (ක්‍රීඩාවල යෙදෙන විට) “සීනි” සුලබව ආහාරයට ගැනීමෙන් “පියයුරු පිළිකා” වැළඳෙන බවද ඕස්ටේ්‍රලියාවේ නිව්සවුත් වේල්ස් හි සිදු කරන ලද Pink Saree Project අධ්‍යයනයේදී හෙළිදරව් වී ඇත. මෙම අධ්‍යයනයේදී ඒ සඳහා තෝරාගත් කාන්තාවන් සියල්ලන්ම දෙවසරකට වරක් බැගින් “මැමෝග්‍රෑම් පරීක්ෂණයට” භාජනය කරන ලද අතර සීනි බහුල ආහාරවල බලපෑමෙන් “කාන්තාවන් නව දෙනෙකුගෙන් එක් කාන්තාවක්” පියයුරු පිළිකාවලට ගොදුරු වන බව එහිදී තහවුරු කර ගෙන ඇත.

සීනි බහුල ආහාර නිසා පළමුව “ස්ථුලතාව” (අධික තරබාරුව) ඇතිවන අතර එමගින් පියයුරු පිළිකා පමණක් නොව ආමාශයික පිළිකා, පුරස්ථි පිළිකා ආදි පිළිකා තත්ත්වයන් ඇතිවන බවද තවදුරටත් අනාවරණය විය. මෑතකදී බි්‍රතාන්‍යය සිදුකළ වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු කළේ වැඩුණු පුද්ගලයෙකුට දිනකට කැලරි 100-150 කට වඩා වැඩි ප්‍රමාණයක් සිරුරට සීනි මගින් නොලැබිය යුතු බවයි.

පැණි බීම හා සැකසූ ආහාරවල මාරක රසය

සකස් කළ ජනප්‍රිය ආහාර වන පිට්සා, කේක්, බර්ගර් බන් වර්ගවලත් පැණිබීම වර්ගවලත් පෘක්ටෝස් බහුලය. පෘක්ටෝස්වලට අමතරව ආහාර රසවත් කිරීමට යොදන විවිධ පැණි රස කාරක වන කෝන් සිරප්, කිතුල් පැණි. තල් පැණි, පොල් පැණි. හකුරු, සක්කර, උක් පැණි ආදි ස්වාභාවික රසකාරක මෙන්ම ස්ටේවියා නිස්සාරක වන සැකරින්, ඇස්පාර්ටේම් සයිලටෝල්, සෝරබිටෝල්, ඇසෙසැල්ෆෝම් වැනි කෘත්‍රිම රසකාරක ද ලොව පුරා නිපදවන ආහාර සඳහා බහුලව භාවිත කරයි. මෙම කෘත්‍රිම රසකාරක සාමාන්‍ය සීනිවලට වඩා පැණි රසයෙන් අධිකය.

කෝලා බීම වර්ග හෝ පැණි බීම මි.ලී. 300 ප්‍රමාණයේ බෝතලයක පමණක් අඩංගු සීනි ප්‍රමාණය තේ හැඳි 8-9 පමණ ඉක්ම වන බවද පරීක්ෂණ වලදී හෙළි වී ඇත. ආහාර වර්ග රස කිරීමට යොදා ගන්නා “කෝන් සිරප්” පිළිබඳවද ඔබ දැනුවත් විය යුතුය. “කෝන් සිරප්” වැඩිපුරම යොදා ගන්නේ කුඩා දරුවන්ගේ ආහාරවලටය. කුඩා දරුවන් ළමා අවධියේ සිටම අධි රුධිර පීඩන තත්ත්වයකට මෙබඳු සීනි බහුල සිරප් වර්ග නිසා පත්විය හැකිය. ඒ නිසා දරුවාට ලබාදෙන ආහාර සම්බන්ධයෙන්ද ඔබ අවදියෙන් සිටිය යුතුය.

කීර්ති එස්. කුමාර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>