TT Ads

පිදුරුතලාගල, ගෝනපිටිය, කබරගල සහ උඩගබ්බල යන කඳු පන්තිවලට මුවා වීම නිසා දවසේ වැඩි වේලාවක් අඳුරු ස්වභාවයක් උසුලන අපූරු ඉසව්වක් පිළිබඳවයි. අද අපේ මේ විමසුම.

මේ ප්‍රදේශය හැඳින්වෙන්නේ මන්දාරම් නුවර යනුවෙන්. නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් මේ ගම් පියසට මහනුවරින්, රිකිල්ලගස්කඩ, පදියපැලැල්ල ඔස්සේ ඔබට පැමිණිය හැකිය. මේ මන්දාරම් නුවර නුවරඑළිය දිස්ත්‍රික්කයට අයිති වුණත් සමශීතෝෂ්ණ දේශගුණයක් සහිත ගම් පියසක්.

සදාහරිත වන ගහනයකින් සහ දවසේ වැඩිම වේලාවක් මිහිදුමින් ගැවසුණු කඳු පන්තිවලට මැදි වූ මේ අපූරු පුරවරය කොළපතන ඇල්ල ඇතුලු සිඟිති දිය ඇලි කිහිපයකින් ද පොහොසත්.

මේ අපූරු පරිසරයට මහනුවර සිට වගේම නුවරඑළියෙ සිටත් ළඟා වන්නට පුළුවන්. නුවරඑළියේ සිට මන්දාරම් නුවරට ඇති කිලෝමීටර් 38ක් පමණ වෙනවා.

පිදුරුතලාගල පාමුල ඇති මීදුම් ගම්මානය ලෙස අතීතයේ සිට ප්‍රකට මෙය එකල “මන්දාරම් පුරය” යනුවෙන් හැඳින්වූ බවත් මහනුවර රාජධානි යුගයේදී මෙය ඉතා බලගතු ශිව පූජකයකුගේ ග්‍රහණයට යටත් වී තිබූ බවත් පළමුවෙනි විමල ධර්මසූරිය රජු ඒ ශිව පූජකයාගේ බලය බිඳ මේ පුරය බේරාගත් බවත් “මන්දාරම්පුර පුවත” නම් ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන් හේන් සහ ආලින්දාකාර කුඹුරුවලින් ගහණ වූ මන්දාරම් පුර වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන වන අතර පලිබෝධ නාශක ආදියෙන් නොකෙළෙසුණු සහල් සහ එළවළු මිලදී ගැනීම සඳහා මේ ප්‍රදේශය ඉතා සුදුසු බව කිව යුතුයි.

තවමත් නාගරික ලක්‍ෂණ එක් නොවූ බෝධියක් මැදිකරගත් මන්දාරම් නුවර කඩමණ්ඩිය පවා නිතර අඳුරු පැහැති මීදුමකින් වැසී යන අතර එහි ව්‍යාපාරිකයන් ප්‍රකාශ කළේ දවසේ වැඩිම වේලාවක් වෙළෙඳසල් තුළ විදුලි බුබුලු දැල්වීමට සිදුවන නිසා සෙසු ප්‍රදේශවලට වඩා තමන්ගේ විදුලි බිල ඉහළ යන බවයි.

සාමාන්‍ය සංචාරකයන් මෙහි නොපැමිණියත් පරිසර සංචාරයේ නාමයෙන් මෙහි පැමිණෙන කණ්ඩායම් මන්දාරම් නුවර විවිධ ස්ථානවල රාත්‍රියට කඳවුරු ඉදිකොට බීමත්ව අශීලාචාර ලෙස හැසිරෙන බව පවසන මෙහි ගැමියන් ඒ පිළිබඳව කතා කරන්නේ දැඩි නොසතුටකින්. ඒ අනුව ඔවුන්ගේ සදා හරිත නිසල ගැමි වන පියස නාගරීකරණයෙන් වැනසෙනවාට දැඩි සේ අකමැති ඔවුන් එවැනි සංචාරකයන් මෙහි පැමිණෙනවාට වඩා නොපැමිණෙනවා නම් හොඳ යැයි අප හා පවසා සිටියා.

එමෙන්ම මන්දාරම් පුර ආශ්‍රිතව දැනට ඉදිවෙමින් පවතින කුඩා ජල විදුලි බලාගාර නිසා ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලට අයහපත් බලපෑම් සිදුවී ඇති අතර එය ප්‍රදේශයේ ජෛව විවිධත්වයට බලපෑම් ඇති කරන බවත් එමගින් තමන්ගේ කෘෂිකාර්මික ජන ජීවිතයට ද බාධා පැමිණ ඇති බවත් පවසන එහි ගොවි ජනතාව පිදුරුතලාගල ඇතුලු කඳු වැටි හැරුණු කොට තමන් දෙස බලන වෙන කිසිවෙකුත් නොමැති බවයි අප හා සිනාසෙමින් කියා සිටියේ.

එමෙන්ම වතු ආශ්‍රිත ද්‍රවිඩ ජනතාව හැරුණු කොට සිංහල බෞද්ධ ජනතාවක් වෙසෙන මන්දාරම් නුවර ජන සමාජය තුළ ගුප්ත විශ්වාස තවමත් ශේෂව පවතින බව මේ ගමනේ දී අපට මැනවින් වැටහී ගියා. ඒ කෙසේ හෝ ශ්‍රී ලංකාවේ සෑම පෙදෙසකම ස්වභාසෞන්දර්ය නරඹන ඔබට මෙම මන්දාරම් පුරයෙන් ලැබෙන සුවිශේෂ අත්දැකීම අප රටේ වෙන කවර හෝ ස්ථානයකදී ලැබියහැකි දැයි අපටනම් සිතා ගැනීමටවත් බැහැ.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>