TT Ads

මේ ලෝකයේ අපට හිමිව තිබෙන සැප සම්පත් හිතපුරා භුක්ති විඳීමට හැකි වුවද අපේ මරණින් පසු යන ගමනේදී ඒවා රැගෙන යන්නට සමතෙකු නැත. කළ හැකිවන්නේ අප සිදුකර ගන්නා පුණ්‍යකර්මවල වටිනාකම වස්තුවක් ලෙස රැගෙන යාම පමණි.

ගිලනුන්ට දන්දීම බොහෝ පින් ලැබෙන සත්ක්‍රියාවකි. ඒ නිසාම ලංකාවේ සමහර ප්‍රචලිත රෝහල්වලට පමණටත් වඩා උදව් උපකාර ලැබෙන අයුරු දැකගත හැකිය. සමහර රෝහල්වලට දානයක් දීමට දිනයක් ලබා ගැනීමට පවා මහ තරගයක් කිරීමට අවශ්‍ය වෙයි. නමුත් උදව් උපකාර අත්‍යාවශ්‍ය සමහර තැන්වලට දන් පින් කරගන්නට එන උදවිය ඉතා විරලය. ඒ ගැන සමාජය නොදන්නාකමද මෙයට එක් හේතුවක් වී තිබේ. කොළඹ 10, මාලිගාවත්තේ පිහිටා තිබෙන ජාතික වෘක්කවේද කාන්දු පෙරීම සහ බද්ධ කිරීමේ ආයතනය හෙවත් වකුගඩු රෝහල පිළිබඳ සමහරුන් දන්නේ නැත. අද සමාජයට ඉතා දරුණු ලෙස බලපා තිබෙන වකුගඩු රෝගයෙන් පීඩා විඳින ඉතා අසරණ දහස් සංඛ්‍යාත රෝගීන් මෙහි පිළිසරණ ලබමින් සිටී. රටේ සතර දිගින් මෙහි ඇදී එන රෝගීන් සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යමින් පවතියි. මරණය පෙනි පෙනී ඉතා අවිනිශ්චිත කාලයක් ගෙවා දමන මේ අසරණ රෝගීන්ට පිළිසරණක් වන්නට පිහිටුවා ගෙන තිබෙන “ශ්‍රී ලංකා වකුගඩු රෝගීන් සුරැකීමේ” සංගමය ක්‍රියාත්මක වන්නේ මාලිගාවත්ත, බෝ සෙවණ විහාරයේය. මේ රෝගීන්ට ඒ පවුල්වලට ඔවුනගේ දරුවන්ට මේ සංගමය විසින් සලසන සේවය සුළුපටු එකක් නම් නොවේ. ඒ අතරින් එකක් වන්නේ දිනපතා උදේ වරුවේ මේ රෝගීන්ට ලබා දෙන තේ වේලයි. කාගේ හෝ අත්වාරුවකින් රෝහලට ගාටන මේ දුර්වල රෝගීන්ට ලබාදෙන තේ පැන් සංග්‍රාහය ඔවුනට අමෘතය මෙන්ය. මන්ද ඔවුනගේ රෝගී තත්ත්වයට අනුව විෂ බීජයක් ශරීරගත වීමක් යනු මරණය තවත් ඉක්මන්කර ගැනීමක් වීමට බොහෝ ඉඩකඩ පවතින නිසාය. මේ රෝහල පිහිටා තිබෙන්නේ ඉතාම ජනාකීර්ණ සේම අපිරිසිදු පරිසරයකය. ඒ නිසාම ආහාරයට පිරිසිදු යමක් සොයා ගැනීම ඉතා අසීරුය. එසේම බස් ගාස්තුව පමණක් යන්තමට සොයාගෙන සායන කරා එන මේ රෝගීන්ට එවැනි වියදමක් දැරීම අසීරුවන්නා සේම ගතට වාරු නැති ඔවුන්ට ඇවිද යාමද කළ නොහැකිය. ඒ නිසාම මේ ලබාදෙන තේ බිංදුවක් පවා ඔවුන්ගේ පණ කෙන්ද රැක දීමට ලබාදෙන රුකුල ඉමහත්ය. උපන්දිනයක්, සංවත්සරයක් වෙනුවෙන් ඔබ වියපැහැදම් කරන දෙයින් කුඩා කොටසක් මේ සඳහා වෙන් කිරීමට ඔබට පිළිවන. ඔබගේ මියගිය ඥාතියෙකුට පින් පැමිණවීමට, කාට හෝ සෙත් පැතීමකට හෝ ඔබගේ පින් මල්ලේ බර තවත් වැඩි කර ගැනීමට මෙය හොඳ මාර්ගයකි. දිනකට බනිස් ගෙඩියක් සමග කිරි තේ එකක් දීමට ඔබට වැය වන්නේ රු. 8500/-ක මුදලකි. සීනි සම්බෝලපාන් එකක් සමග කිරි තේ එකක් ලබාදීමට රු. 10,500/-ක් වැය වෙයි. ඔබට අවශ්‍ය නම් රු. 4500/-කින් පමණ කිරි තේ එකක් පමණක් වුවද ලබාදිය හැකිය.

ඒ සඳහා ඔබට පහසු දිනයක් ලබා ගත හැකිවා සේම ඔබගේ පිරිසට එහි පැමිණ ඒවා බෙදා දීමටද දායක විය හැකිය. මේ ආහාර වර්ග සියල්ල ඉතා පිරිසිදුව බෝ සෙවණ විහාරයේදී පිළියෙළ වෙයි. වසර ගණනාවක් තිස්සේ සිදුකරන මේ සත්ක්‍රියාව නොකඩවා කරගෙන යාම තරමක් අසීරු වී තිබෙන බැවින් ඔබගේ උදව් අත්‍යවශ්‍ය වී තිබේ. මරණය දැක දැක ජීවිත අයදින මේ අසරණයන්ගේ පවස නිවීමට ඔබගේ දෑත් දිගු කරන තුරු “වකුගඩු රෝගීන් සුරැකීමේ සංගමය” බලා සිටී. ඔබට මේ හා සම්බන්ධයෙන් විස්තර හෝ තේ පැන් සංග්‍රයකට දායක වීමට හෝ එහි ප්‍රචාරක, මාධ්‍ය ලේකම්, අජන්තා ගුණසේකර මහත්මියට, 0778812794, 076-0093908 යන ජංගම දුරකථන අංක හරහා ඇමතිය හැක. වකුගඩු රෝගීන් සුරැකීමේ සංවිධානය නමින් කොමර්ෂල් බැංකුව බේස්ලයින් ශාඛාවේ පවත්වාගෙන යනු ලබන ගිණුම් අංක 1000035900ට ඔබගේ ආධාර මුදල් බැරකළ හැකිය. නැතහොත් ශ්‍රී ලංකා වකුගඩු රෝගීන් සුරැකීමේ සංවිධානය, බෝ සෙවණ විහාරය, මාලිගාවත්ත, කොළඹ 10 යන ලිපිනයට ලිවීමෙන් හෝ පැමිණීමෙන් විස්තර ලබාගත හැකිය.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>