TT Ads

 

මේ දිනවල ගමන් බිමන් යන ඔබට බොහෝ ආයතනවල, ආරෝග්‍යශාලාවල, සුපිරි වෙළෙඳ ආයතන වලදී රෝස පාට පීත්ත පටියකින් දමා ඇති සැරසිල්ලක් (Pink Ribbon) දකින්නට ලැබෙනු ඇත. ඒ පුංචි සැරසිල්ල තුළ විසල් කතාන්දරයක් සැඟව තිබේ. විශේෂයෙන් ලෝකය පුරා විසිරී සිටින මුළු මහත් කාන්තා සංහතියටම බලපාන ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුවක් ගැන සිහි කරදීම මේ සැරසිල්ලේ අරුතයි. සෑම වසරකම ඔක්තෝබර් මාසය වෙන්වන්නේ පියයුරු පිළිකා හා සම්බන්ධයෙන් දැනුවත් වීමේ (Brest Canser Awareness Month) කාලය ලෙසය. එය මුළු ලෝකය පුරාම සැමරෙන්නකි. මෙය මුලින්ම ආරම්භ වූයේ ඇමෙරිකාවේය. නමුත් මේ වන විට ලෝකයේ සෑම රටකම ඔක්තෝබරය පියයුරු පිළිකාවෙන් අත්මිදීම සඳහා දැනුවත්වීම් සිදු කරනු ලබයි. පසුගිය දස වසර පුරාම අපගේ සෞඛ්‍ය අංශද මෙහි කොටස් කරුවන් බවට පත්ව සිටියි. මේ වසරේ එහි තේමාව වන්නේ “Be breast Aware” යන්නය. එහි ගැබ්ව තිබෙන්නේ ඔබේ පියයුරෙහි ස්වභාවය ගැන දැනුවත් වන්න. එහි වෙනස්කම් මතුව තිබේදැයි දැනුවත්ව ඒ ගැන විමසිලිමත් වන්න. වෙනසක් තිබේ නම් වහ වහාම වෛද්‍ය උපදෙස් පතන්න යන්නය.
කාන්තාවක ලෙස ඉපදීමම පියයුරු පිළිකාවක් සඳහා අවදානම වැඩිපුර දරන්නකි. ලෝකයේ සේම ලංකාවේද කාන්තාවන්ට බලපාන, ප්‍රධානතම පිළිකාව වන්නේද පියයුරු වල හට ගන්නා පිළිකාවය. ලංකාවේ වසරකට කාන්තාවන් 800ක් පමණ පියයුරු පිළිකාව නිසා මිය යන්නේ ඉතා ඛේදනීය ආකාරයකටය. පියයුරු පිළිකාවලින් මිය යන්නේ කාන්තාවන් පමණක් බව ඔබ සිතනව නම් එය වැරදිය. වසරකට පිරිමින්ද 10-12 ක් පමණ සංඛ්‍යාවක් මේ පියයුරු පිළිකාව නිසා අපට අහිමි වෙයි. එබැවින් පිරිමින්ට පවා පියයුරු පිළිකා අවදානම ඉතා සුළුවෙන් හෝ තිබෙන බවද අමතක නොකළ යුත්තකි.
පියයුරුවල පිහිටා තිබෙන ග්‍රන්ථි හෝ නාලවල අසාමාන්‍ය ලෙස සිදුවන සෛල බෙදීමක් පියයුරු පිළිකාවක් වේ. ඔබගේ පියයුරු ගැන නිතරම අවධානයෙන් සිටින්න. වයස අවුරුදු 20 පමණ සිට ඇඳුම් මාරුකරන විට හෝ ස්නානය කරන විට කණ්ණාඩියක් ඉදිරියට ගොස් පියයුරු වල කිසියම් වෙනසක් ඇත්දැයි බලන්න. ඇඟිලි තුඩුවලින් පියයුරු වටා අතගා ගැටිති, සමේ රළුවීම් හෝ වෙනත් වෙනස්කම් තිබේදැයි විමසිලිමත් වන්න.
* පියයුරු යුගළයෙහි අලුතින් මතු වූ අසම්මිතික බවක්
* පියයුරුවල කැසීමක්
* පියයුරුවල හටගත් ගැටිත්තක් හෝ ඉදිමීමක්
* පියයුරුවල සම මත රළුවීමක් හෝ වෙනස් වීමක්
* තනපුඬුවල ගිලීයාමක් හෝ වෙනසක්
* තන පුඬුවෙන් කිරි වැනි හෝ අසාමාන්‍ය ස්‍රාව පිටවීමක්
* තන පුඬුවල අසාමාන්‍ය වේදනාවක්
මෙවැනි වෙනස්කමක් නම් හෙට නොව අදම මේ දැන්ම වෛද්‍ය උපදෙස් කරා යොමුවන්න. ඕනෑම රජයේ රෝහලකදී නොමිලේම මේ සඳහා පරීක්ෂණ වලට යොමු විය හැකිය. මන්ද පියයුරු පිළිකාව කලින් හඳුනා ගැනීමෙන් ඔබගේ පියයුරු සේම ජීවිතයද ගලවා ගත හැකිය. මේ තරම් දැනුවත් වීම් සිදු කරන අතරේ වුවද, සෑම වසරකම අපේ රටේ කාන්තාවන් 3500ක් පමණ අලුත් පියයුරු පිළිකා රෝගීන් ලෙස හඳුනා ගනී. ඒ හඳුනා ගන්නේ තත්ත්වය බැරෑරුම් වූ කල්ගත වූ පසුව වීම ඉතා කනගාටුදායකම තත්ත්වයයි. මින් 30% ක් පමණ දෙනා වයස අවුරුදු 50ට අඩු වූවන් සේම ඉතිරි 70% ආර්තවහරණයෙන් පසු වයස්වල අයයි. පියයුරු පිළිකා අවදානම වැඩි කාටදැයි දැන සිටීමද ඉතාම වැදගත් වෙයි.
* පවුලේ මව හෝ සොයුරියකට පියයුරු පිළිකාවක් වැළඳී තිබෙන පවුල්වල කාන්තාවන්.
* දරුවන් නොමැති හෝ පළමු දරු ප්‍රසූතිය අවුරුදු 35ට පසුව සිදුවූ කාන්තාවන්
* ඔසප් නැවතුන වයස 55ට පමණ වැඩි කාන්තාවන්
* ඊස්ට්‍රජන් හෝමෝනයට දීර්ඝ කාලීනව නිරාවරණය වූ කාන්තාවන් (අඩු වයසින් මල්වර වී, ප්‍රමාද වී ආර්තවය නැවතුනු අය)
* ශරීරය අධික තරබාරු බවින් යුතු සේම ආර්තවහරණයෙන් පසු බර වැඩි වූ කාන්තාවන්.
ඔබට මේ ගැන කිසියම් සැකයක්, ගැටලුවක් තිබේ නම් ළඟම පිහිටි රජයේ රෝහලකට, ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානවල පැවැත්වෙන සායනයකට හෝ ජාතික පිළිකා මර්දන වැඩසටහන, නො: 555/5, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට, කොළඹ 05 යන ස්ථානවලින් සේම දුරකථන අංක -0112368627 අංකයෙන් තොරතුරු දැන ගත හැකිය.

උපදෙස්,
ජාතික පිළිකා මර්දන වැඩ සටහනේ, පිළිකා විශේෂඥ
වෛද්‍ය සුරාජ් පෙරේරා

කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට අපගේ ස්තූතිය

සාකච්ඡා කළා
නිර්මලා කුමාරි සේනාරත්න

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>