TT Ads

විවාහකයන් අතර ඇති වන අනියම් සම්බන්ධතා මේ කාලේ හරිම සුලබයි. ඒ නිසාම ඒක සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. තම සැමියාගේ අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් උපදේශන ආයතනවල පිහිට පතන බොහෝ කාන්තාවන් පොදුවේ පවසන කරුණක් තිබෙනවා.

“මගෙන් එයාට කිසිම අඩුපාඩුවක් වුණේ නෑ. මං හැම දේම එයා වෙනුවෙන් කරනවා. අබමල් රේණුවක තරම්වත් වරදක් මං එයාට කරලත් නෑ. ඉතින් ඇයි එයා මෙහෙම වෙනස් වුණේ?”

සැමියා අනියම් සම්බන්ධතාවක් පවත්වන බව දැන ගත්තම බොහෝ කාන්තවන් සිතන්නේ එය තමන්ගේ අඩුපාඩුවක් නිසා සිදු වූ දෙයක් කියලයි. එසේ සිතමින් ඔවුන් බොහෝ වේදනාවට පත් වෙනවා. නමුත් බිරිඳගේ අනියම් සම්බන්ධතාවක් පිළිබඳව දැන ගන්නා පිරිමි එය තමන්ගේ අඩුපාඩුවක් නිසා සිදු වුවක් ලෙස සිතන්නට කැමති වන්නේ නෑ. “ඒ ගෑනිට තියෙන විසේ හින්දා එක මිනිහෙක් මදි වෙලා එක එක මිනිස්සු එක්ක යනවා.” වැනි දෙයක් කියමින් ඒ වරද තනිකරම ඔවුන් බිරිඳ පිටම පටවනවා.

ඒ කතාව මොකක් වුණත් විවාහක කාන්තාවන් සහ පිරිමින් අනියම් සම්බන්ධතාවලට පෙළඹෙන එකම හේතුව තමන්ගේ සැමියා ප්‍රමාණවත් නොවීම හෝ බිරිඳගේ අඩුපාඩු තිබීම නොවෙයි. එවැනි කිසිදු ගැටලුවක් නැතිව ඉතා හොඳින් පවුල් ජීවිත ගත කරන කාන්තාවන් සහ පිරිමින් වුවත් ඇතැම් අවස්ථාවලදී අනියම් සම්බන්ධතාවලට යොමු වීමට බැරිකමක් නෑ.

මෙලෙස පවුල් ජීවිතයේ කිසිදු අඩුපාඩුවක් නැති විවාහක කාන්තාවන් සහ පිරිමින් අනියම් සම්බන්ධතා කෙරෙහි නැඹුරු විය හැකි එක් ප්‍රධාන හේතුවක් වන්නේ ආකර්ෂණයයි. ඕනෑම කෙනෙකු තුළ වයස් භේදයකින් තොරව විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණයක් පවතිනවා. ඒක වැරදි හෝ අස්වාභාවික දෙයක් නොවේ. මේ ආකර්ෂණය නිසා තමයි මනුෂ්‍ය වර්ගයා බෝවීම සිදු වන්නේ. නැත්නම් මනුෂ්‍යයා කියන සත්වයා මේ වන විට ලොවින් වඳ වී ගොස් තිබිය හැකියි.

මේ ආකර්ෂණය කරුණු කිපයක් නිසා සිදු විය හැකියි.
1. බාහිර පෙනුම
2. කටහඬ (මෙහිදී කටහඩේ මිහිරි බව වගේම කතා කරන විලාසයත් බලපානවා.)
3. අදහස් හා ආකල්ප
4. අඳින පළඳින ස්වභාවය
5. හැසිරීම
යන කරුණු මේ අතරින් ප්‍රධානයි.

පිරිමින් කාන්තාවන්ටත්, කාන්තාවන් පිරිමින්ටත් ආකර්ෂණය වීම ස්වාභාවික තත්ත්වයක් වන බැවින් විවාහ වුණ පසුවත් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇති ආකර්ෂණය මනුෂ්‍යයන් වෙතින් තුරුන් වී යන්නේ නෑ. නමුත් සමාජ සහ සංස්කෘතික බැමි නිසාත්, තමන්ගේ බිරිඳ/සැමියා කෙරෙහි පවතින ආදරය, ලෙන්ගතුකම, බැඳීම, ගරුත්වය වැනි හැඟීම් නිසාත් ආකර්ෂණයක් ඇති වූ පමණින් අනියම් සම්බන්ධතා කෙරෙහි යොමු නොවී එම හැඟීම් යටපත් කරගෙන හිඳීම මනුෂ්‍යයන් වෙතින් සිදු වෙනවා.

සමාජ සාරධර්ම, සංස්කෘතිය වගේ දේවල් බලපාන්නේ අපේ උඩු සිතට පමණයි. අපේ යටි සිතට මේ කිසිවක් අදාළ වන්නේ නෑ. ඒ අනුව වෙනත් කෙනෙකු කෙරෙහි ආකර්ෂණයක් ආශාවක් ඇති වුණාම ඒ හැඟීම් ඉටුකර ගන්න කියලා අපේ යටි සිත අපට බල කරන්න පුළුවන්. ඒත් සමාජ සාරධර්ම සංස්කෘතිය වැනි දේවල්වලින් බැඳී තිබෙන නිසා උඩුසිත එයට බොහෝ විටම එකඟ වන්නේ නෑ. ඒ නිසා තමයි තව කෙනෙක් ගැන උනන්දුවක්, කැමැත්තක් යොමු වූ පමණින් හැම කෙනෙක්ම අනියම් සම්බන්ධතා කෙරෙහි යොමු නොවෙන්නේ. ඒ බැමි කඩා ගෙන යටි සිතේ ආශාවන් ඉටු කර ගන්නට පෙළඹෙන අය අනියම් සම්බන්ධතාවලට යොමු වෙනවා.
සතුන් හා මනුෂ්‍යයන් අතර තිබෙන වෙනස වන්නේත් මනුෂ්‍යයන් ශික්ෂණය, සදාචාරය වැනි දේවල්වලින් බැඳී සිටීමයි. ඒ නිසා තමන්ගේ සිතේ ආශාවක් ඇති වූ පමණින් එය ඉෂ්ට කර ගන්නට මනුෂ්‍යයන් පෙළඹෙන්නේ නෑ. නමුත් මාධ්‍ය මගින් විශේෂයෙන් ටෙලි නාට්‍ය වැනි දේවල් මගින් නිතර අනියම් සම්බන්ධතා සිද්ධි අසන්නට දකින්නට ලැබීම, ඇසුරු කරන අය එවැනි දේවලට යොමු වී සිටීම, සමාජය තුළ නිතර එවැනි දේ අසන්නට දකින්නට ලැබීම වැනි හේතූන් මත අනියම් සම්බන්ධතා යනු නව ප්‍රවණතාවක් සහ සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. එවිට පවුල් ජීවිතය පිළිබඳව තිබෙන වටිනාකම් සිතින් අඩු වීම මත ඊට නැඹුරු වීමේ අවකාශය තිබෙනවා.

තමන්ගේ සැමියා අනියම් සම්බන්ධතාවකට යොමු වුණේ තමාගේ අඩුපාඩුවක් නිසා කියලා බොහෝ කාන්තාවන් සිතුවත් ඇත්තටම පිරිමින්ට තමන්ගේ බිරිඳගේ අඩුපාඩු පෙනෙන්න පටන් ගන්නේ අනියම් සම්බන්ධතාවක් ඇති කර ගැනීමට පෙර නොව ඉන් පසුවයි. ඒ තමන්ගේ බිරිඳ සහ අනියම් පෙම්වතිය දෙස සංසන්දනාත්මකව බැලීමට පිරිමින් පෙළඹීම නිසයි. මෙය අනියම් සම්බන්ධතාවක පැටලුනු කාන්තාවන් අතරද පවතින පොදු තත්ත්වයක්. මෙහි තම බිරිඳගේ/සැමියාගේ බොහෝ වෙනස්කම් අඩුපාඩු ඔවුන්ට පෙනෙන්නට පටන් ගන්නවා. විශේෂය වන්නේ සුළු වෙනසක්, සුළු අඩුපාඩුවක් පවා මහ විශාල ලෙස මෙහිදී පෙනෙන්නට පටන් ගැනීමයි. එය හරියට කෙන්ද, කන්ද වීමක් වැනි දෙයක්.

තවත් විශේෂම දෙයක් තිබෙනවා. පිරිමින් හෝ කාන්තාවන් තුළ ආකර්ෂණයක් ඇති වන්නේ තමන්ගේ බිරිඳට වඩා රූමත් කාන්තාවක්, සැමියාට වඩා කඩවසම් පිරිමියෙක් සමගම නොවෙයි. රූපය යනු ආකර්ෂණය ඇති වීමට බලපාන එක් අංගයක් පමණයි. ඇත්තටම අපේ හිතේ තවත් කෙනෙක් පිළිබඳ ආකර්ෂණයක් ඇති වීමට බලපාන හේතු හරි සංකීර්ණයි. ඒකට හේතුව “අසවල් කාරණය” කියලා හරියටම කෙළින් ඉරක් ඇන්දා වගේ පැහැදිලි, සෘජු හේතුවක් දක්වන්න අසීරුයි. එය කොයි තරම් අසීරු සහ සංකීර්ණ කාරණයක්ද කිව්වොත් සමහර විට ඒ හේතුව ඒ පුද්ගලයාටවත් නොහැඟෙන්න පුළුවන්. “අනේ මන්දා හරියටම හේතුවක් නම් කියන්න බෑ. ඒත් එයාව මගේ හිතට තදින්ම දැනෙනවා. හුරු පුරුදු ගතියක් දැනෙනවා. සංසාරේ මීට කලින් අපි අපේ වෙලා ඉන්න ඇති” වැනි දේවල් කියන්නේ මේ සංකීර්ණ බව නිසාමයි.

අනියම් සම්බන්ධතා ඇති වීමට බලපාන තවත් කරුණු ලබන සතියේ කතා කරමු.

දම්රවි පදනමේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක
සුරංග අමරකෝන්

ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>