TT Ads

ආදරය කියන වචනයට විවිධ පුද්ගලයන් විවිධ අරුත් දිය හැකියි. කොහොම වුණත් ආදරය දකින විදිය කාන්තාවන් සහ පිරිමින් අතරේ යම් වෙනසක් තියෙනවා. එහෙම කියන්නේ අපි නොවෙයි මනෝ විද්‍යාඥවරුන්.තමන්ගේ පවුල් ප්‍රශ්න වලට උපදෙස් ලබා ගැනීම සඳහා උපදේශන සේවාවන්ට පැමිණෙන බොහෝ කාන්තාවන් කියනු ලබන පොදු ප්‍රශ්නයක් තමයි තමන්ගේ සැමියා තමන්ට පෙර මෙන් ආදරේ නැති බව. එය තව දුරටත් ඔවුන් දක්වන්නේ “එයාට ඕනෙ මාත් එක්ක කායිකව එකතු වන්න විතරයි” කියලයි.

ඇමෙරිකාවේ පර්යේෂකයන් පිරිසක් විසින් කරන ලද පර්යේෂණයක දී ස්ත්‍රී පුරුෂ වෙනස අනුව ලිංගික
හැඟීම් බලපාන ආකාරය පිළිබඳව කරුණු රැසක් අනාවරණය කරගෙන තිබුණා. එහිදී මූලික වශයෙන් හෙළිදරව් වූ කරුණක් වූයේ ගැහැනියට පිරිමියෙකුගෙන් වඩාත් අවශ්‍ය ආදරය බව සහ පිරිමියාට ගැහැනියකගෙන් වඩාත් අවශ්‍ය කායික ආශ්වාදය බවයි.

මෙයින් ඔවුන් අදහස් කළේ පිරිමියාට ආදරය අවශ්‍ය නැති බව නොවෙයි. ඔවුන්ටත් ආදරය ඕනේ. නමුත් ඔවුන් එය ලබා ගන්නේ කායික ආශ්වාදය හරහා බවයි. මෙහිදී කායික ආශ්වාදය කියන්නේ ලිංගිකව සිදුවන එක්වීම් පමණක්ම නොවෙයි. කාන්තාවගේ ස්පර්ශයද මීට අයිතියි.මේ සඳහා බලපාන හේතුද එම පර්යේෂකයන් විසින් විස්තර කර තිබුණා.

ජීව විද්‍යාත්මකව බලන විට පිරිමියාගේ සහ කාන්තාවගේ ලිංගික ආවේග සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස්.
පිරිමින්ගේ ලිංගික ආවේග ඉතා බලවත්. කාන්තාවකගේ එය පවතින්නේ ඊට වඩා පහළ මට්ටමකයි. සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න පිරිමියකුට උපරිම වශයෙන් කායික තෘප්තිය ලබන්න විනාඩි දෙකහමාරක පමණ කාලයක් ප්‍රමාණවත් බව පවසන එම පර්යේෂකයන් කාන්තාවකට එය විනාඩි දහතුනක් තරම් කාලයක් බවද පවසනවා. “තමන්ගේ සැමියාට වෙන කිසිම දෙයක් අවශ්‍ය නෑ. කායික එක්වීම් පමණයි අවශ්‍ය” කියලා කාන්තාවන් පවසන්නට මෙයත් ප්‍රධාන හේතුවක්.එම පර්යේෂකයන් තව දුරටත් එය මෙසේද දක්වනවා.

ජීව විද්‍යාත්මක වශයෙන් බලන විට පිරිමියකුට කායික එක්වීම සඳහා ස්ථානයක් පමණයි අවශ්‍ය වන්නේ. නමුත් කාන්තාවකට ඒ සඳහා හේතුවක්ද අවශ්‍ය වෙනවා. ඒ හේතුව වන්නේ ආදරයයි.
“මෙයා මට ආදරෙයි” කියන හැඟීම කාන්තාව තුළ තහවුරු වුණොත් පමණයි ඔවුන්ට තමන්ගේ සහකරු සමග කායික එක් වීමකට යොමු විය හැකි වන්නේ. ඉහත කී ආකාරයට විනාඩි දහතුනක පමණ කාලයක් කාන්තාවකට ගත වන හේතුව එයයි.පිරිමියෙකුගේ වඩාත් සංවේදී ඉන්ද්‍රිය ඇස් දෙකයි. ඔවුන්ට කාන්තාව දැකීම තුළින් තමයි උත්තේජනයක් ඇති වන්නේ.

නමුත් කාන්තාවකට එහෙම නොවෙයි. කාන්තාවකගේ වඩාත්ම සංවේදී ඉන්ද්‍රිය කන් දෙකයි. ඒ අනුව කාන්තාව තුළ පිබිදීමක් ඇති වන්නේ ඇසීම තුළින්. ඇසීම යනු තමන්ගේ සැමියා තමාට ආදර බස් දෙඩීම සහ තමන්ව වර්ණනා කරනු ඇසීමයි. මේ නිසා තමන්ට ආදර බස් නොදොඩන සැමියන්ව කාන්තාවන්ට එපා වෙනවා.
තමන්ගේ සැමියා තමන් හා කතා කරන, තමන්ට ඇහුම්කන් දෙන කෙනෙක් වෙනවා දකින්නට ඕනෑම කාන්තාවක් බලාපොරොත්තු වෙනවා. මේ නිසා තමන්ට ආදර බස් නොදොඩන පිරිමින්ව කාන්තාවන්ට එපා වීම සාමාන්‍ය තත්ත්වයක්.

මෙම පර්යේෂකයන් පවසන අන්දමට තමන්ගේ ඔළුවේ ප්‍රශ්න තියාගෙන කාන්තාවන්ට කායිකව එකතු වෙන්න අමාරුයි. ඒ නිසා නිතරම තමන්ගේ සැමියා තමන් හා කතා කරන තමන්ට ඇහුම්කන් දෙන කෙනෙක් වෙනවා දකින්න හැම කාන්තාවක්ම බලාපොරොත්තු වෙනවා. ඔළුවේ ප්‍රශ්න තියන කොට කාන්තාවක් තුළ ප්‍රබෝධමත් බවක් ඇති වන්නේ නෑ. ඒ නිසා ඇයට එවැනි අවස්ථාවලදී කායිකව එක්වීම අපහසුයි.
නමුත් පිරිමින්ට එහෙම නොවෙයි. ප්‍රශ්න තියනකොට ඔවුන්ට කායිකව එක්වීමේ හැකියාව වැඩියි. පිරිමින්
මෙමගින් තමන්ගේ සිතේ ඇති ආතතිය මුදා හැරීම සිදු කරනවා. පිරිමින් ගැහැනියකගෙන් ආදරය බලාපොරොත්තු වන්නේ කායික නැඹුරුවකුත් එක්කයි.

මෙම පර්යේෂකයන් විසින් පිරිමියකුගේ කායික ආශ්වාදය මයික්‍රොවේව් උදුනකටත්, කාන්තාවකගේ කායික ආශ්වාදය විදුලි උදුනකටත් සමාන කර තිබෙනවා. මයික්‍රොවේව් උදුන තත්පර කිහිපයක් තුළ උණුසුම උපරිම ධාරිතාවයකට ඉහළට නගින අතර එය නිවී යන්නේද ඉක්මනින්මයි. ඒ අනුව එහි ක්‍රියාකාරීත්වය වේගවත්. නමුත් විදුලි උදුන රත්වන්නේ සෙමින්. එය රත් වූ පසු උණුසුම අඩු වන්නෙත් සෙමින්මයි.
කොයි තරම් වේගයෙන් තාක්ෂණය දියුණු වුණත් අපගේ මොළයේ පරිණාමීය ලක්ෂණ තවම තිබෙනවා. ආදරය කියන දේ කාන්තාවන් ඉහළින්ම බලාපොරොත්තු වෙනවා. මෙය පරිණාමයේ සිටම පවතින දෙයක්. කාන්තාව කායික සතුටටත් වඩා අගය කරන්නේ මානසික සතුටයි. සැමියා තමාව තේරුම් ගැනීම, වර්ණනා කිරීම වගේම තමාගේ කටයුතුවලට උදව් කිරීම, තමාට වේදනාවක් දැනුණු විට හිස අත ගා සැනසිලි බස් දෙඩීම, ආදරයෙන් තුරුළු කරගෙන හිඳීම, තමා වෙනුවෙන් කැප වීම වැනි දේවල් ඇය ඉහළින්ම අපේක්ෂා කරනවා. ඇයට ආදරය දැනෙන්නේ එවිටයි.

මේ නිසා කාන්තාවකට ආදරය කිරීම සංකීර්ණ දෙයක් වශයෙන් පිරිමියෙකුට දැනෙන්න පුළුවන්. ඒ නිසා තමයි බොහෝ පිරිමින් කියන්නේ “ගෑනියෙක්ව සතුටු කරන්න හරි අමාරුයි” කියලා. මේ වගේ තත්ත්වයක් ඇති වී තිබෙන්නේ තමන්ගේ පෙම්වතා/සැමියා තමන්ට ආදරය කරන බව කාන්තාවගේ මනසට දැඩිව දැනීම ඇය බලාපොරොත්තු වන නිසයි. එහෙම නැති වුණොත් ඇය “එයාට ඕනෙ මට ආදරේ කරන්න නෙමෙයි මගෙන් කායිකව සතුටු වෙන්න විතරයි” යන චෝදනාව කරනවාමයි.

නමුත් පිරිමියෙකුට ආදරය කරන්න කාන්තාවකට ඔය තරම් මහන්සි වෙන්න ඕන නෑ. හේතුව පිරිමින් අපේක්ෂා කරන ආදරය ඔය තරම් සංකීර්ණ නොවන නිසයි.
ඒ වුණත් මෙහෙම දේකුත් තිබෙනවා. තමන්ගේ පෙම්වතිය හෝ බිරිඳ තමන්ව විවේචනය කරනවට පිරිමින් කැමති නෑ. එය ඔවුන්ට දැනෙන්නේ තමන්ගේ පිරිමිකමට කරන ලද නිග්‍රහයක් විදිහටයි. එයින් ඇති වන අප්‍රසාදය තමන්ගේ පෙම්වතිය/බිරිඳ කෙරෙහි ඇති ආදරය ඔවුන්ගේ හිතින් අඩු වීමට පවා බලපාන බව කාන්තාවන් විශේෂයෙන් මතක තබා ගත යුතුයි. ඊට හේතුව ගැහැනියක් තමන්ගේ ගැහැනුකම ගැන හිතනවාටත් වඩා ඉහළින් පිරිමින් තමන්ගේ පිරිමිකම ගැන සිතීමයි.
පිරිමින් වඩාත් කැමති තම පෙම්වතිය/බිරිඳ ලස්සනට පිළිවෙළට ඉන්නවා දකින්නයි. ගමනක් යන විට පමණක් නොවෙයි ගෙදරදී වුවත් ඇය පිළිවෙළකට හිඳිනු දැකීම පිරිමියා අපේක්ෂා කරන දෙයක්. පිරිමියාගේ වඩාත් සංවේදී ඉන්ද්‍රිය ඇස කියලා ඉහතත් සඳහන් කළා.
කාන්තාවන් බොහෝ දේවල් කතා කරන්න කැමති වුණත් පිරිමි ගොඩක් දේවල් එක දිගට අහගෙන ඉන්න කැමති නෑ. ඒ නිසා එක දිගට කතා කළොත් ඒවා වැඩි පුර ඔවුන්ගේ මනසට යන්නෙත් නෑ. නමුත් බිරිඳ සුන්දරව ඉන්නවා නම් එය පිරිමියාගේ සිතට තදින්ම ආකර්ෂණය වෙනවා.
මේ නිසා තමන්ගේ සැමියා තමන්ට ඉස්සර වගේ ආදරේ නෑ කියමින් ඔහුට චෝදනා කරනවාට වඩා මේ සඳහන් කළ කරුණු ගැන සැලකිලිමත් වුණොත් පවුල් ජීවිතේ ගැටුම් ගොඩක් අඩු කර ගත හැකි වේවි.

දම්රවි පදනමේ ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශක

සුරංග අමරකෝන්

ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>