TT Ads

පසුගිය දිනෙක අප හමුවන්නට පැමිණි එක්තරා කාන්තාවක් මෙවැනි කතාවක් පැවැසුවා.

“මම පෞද්ගලික ආයතනයක විධායක තනතුරක් දරන කෙනෙක්. මගේ මහත්තයත් ඒ වගේම උසස් රැකියාවක් කරනවා. අපි විවාහ වුණේ ප්‍රේම සම්බන්ධෙකින්. අපට කිසි දේකින් අඩුපාඩුවක් නෑ. අපට හොඳ ගෙයක් තියෙනවා. ඒක මට මගෙ තාත්තාගෙන් දෑවැද්දට ලැබුණු එකක්. අපි දෙන්නටම වාහනත් තියනවා. අඩුවක් කියන්න කිසි දෙයක් නෑ. ඒත් මගේ මහත්තයා ළඟකදී ඉඳලා අවිවාහක තරුණියක් එක්ක සම්බන්ධතාවක් පටන් අරන්. මට හිතා ගන්න බෑ එයා මෙහෙම දෙයක් කරන්නේ ඇයි කියලා. මම එයාට හරිම ආදරෙයි. කිසිම අඩුවක් කරන්නේ නෑ.”

ඒ කාන්තාව මේ විදියේ දිර්ඝ විස්තරයක් කියාගෙන ගියා.

මේ ගැටලුව විසඳන්නට නම් ගැටලුවේ සැබෑ තත්ත්වය අවබෝධ කර ගත යුතුයි. ඒ නිසා පසු දිනයෙක ඇගේ සැමියාත් අපගේ උපදේශන සේවාවට කැඳවා ගන්නට සිදු වුණා. සාමාන්‍යයෙන් තමන් අත වරදක් තිබෙන විට බොහෝ පිරිමින් උපදේශන සේවාවන්වලට එන්නට කැමති වන්නේ නෑ. නමුත් මේ සැමියා ආවේ කැමැත්තෙන්මයි. ඔහු තනිව ගෙන මේ ගැටලුව ගැන කතා කිරීමේදී ඔහු දුන්නේ මෙබඳු පිළිතුරක්.
“ඇත්ත. මගේ වයිෆ් මට හොඳට සලකනවා. මට කිසිම අඩුපාඩුවක් කරන්නේ නෑ. ඒත් එයාගේ වැඩ මට අල්ලන්නෙම නෑ. ඇත්තටම එයා බිරිඳක් නෙමේ අණ දෙන නිලධාරිනියක්.”

එසේ කී එම සැමියා දිගින් දිගටම තමන් ගත කරන පවුල් ජීවිතය ගැන විස්තර කළා.

ඔහු පවසන පරිදි එම බිරිඳ තමන්ගේ ඕනෑ එපාකම් වගේම ගෙදර හැම දෙයක්මත් දරුවාගේ සෑම දෙයක්මත් හොඳින් සොයා බලා කටයුතු කරන කෙනෙක්. නමුත් ගෙදර ඇය සිටින හැම වෙලාවෙම ඇය කළේ උස් හඬින් කතා කරමින් දරුවාට වගේම සැමියාටත් අවවාද, උපදෙස් සහ අණ දීමයි. ගෙදර නිතරම බිරිඳ උස් හඬින් කතා කරන පරිසරයක් තිබීම මේ සැමියාට රිස්සුවේ නෑ. සාමාන්‍යයෙන් දරුවන් වුණත් තරුණ වයසට එනකොට දෙමව්පියන් නිතර නිතර අවවාද උපදෙස් දෙන්න ගියොත් ඔවුන් ඒක කරදරයක් විදිහටයි සලකන්නේ. බිරිඳක් නිතරම “අරක කරන්න මේක කරන්න” කියමින් අණ දෙන්නටත්, අවවාද උපදෙස් දෙන්නටත් ගියොත් ඒ සැමියාට දැනෙන්නේ තමන් බිරිඳගේ යටතේ ඉන්නවා වගේ හැඟීමක්. අනික මොන දේටත් වඩා මහ ඉහළින් පිරිමින් තමන්ගේ පිරිමිකම ගැන සිතනවා. ඇත්තටම හැම පිරිමියකු තුළම තමන්ගේ පිරිමිකම ගැන හිත යට සැඟවුණු ආඩම්බරයක් තියෙනවා. ඒ නිසා ඒ පිරිමිකමට පුංචි හරි නිගාවක් වෙන වචනයක්වත් තව කෙනෙකුගේ කටින් පිට වුණොත් පිරිමින් දණ්ඩෙන් පහර කෑ සර්පයෙක් වගේ කිපෙනවා. ඒක පිරිමින්ට ආවේණික වූ ලක්ෂණයක්. ඒ කොහොම වුණත් මෙසේ වූ පළියටම තමන්ගේ බිරිඳ කියන දෙයක් පිළිගන්න වගේම ඒකට අවනත වෙන්න පිරිමින් මැලි වන්නෙත් නැහැ. නමුත් ඒක පාඩමකට අරන් නිතර නිතර අණ දෙන්න බිරිඳ උත්සාහ කළොත් කිසිම සැමියෙක් ඊට කැමති වන්නේ නෑ. බිරිඳ නිතර අවවාද දෙන්න පටන් ගත්තම සැමියාට හිතෙන්නේ ඇය තමන්ගේ අඩුපාඩු කියනව කියලයි. එවැනි අවස්ථා වලදී තමන් බිරිඳට දෙවෙනි වූවා යන හැඟීම මත තම පිරිමිකමට අඩුපාඩුවක් වුණා කියන හැඟීම සැමියාට දැනෙන්න පුළුවන්. නිතර නිතර පවුල තුළ මෙවැනි තත්ත්වයක් ඇති වුණොත් සැමියාට බිරිඳව එපා වෙන්න තියන හැකියාව වැඩියි.
මෙහිදී කාන්තාවන් අපෙන් අහන්න පුළුවන් සැමියාගේ අඩුපාඩු පෙන්වා දීම, ඔහුට උපදෙස් දීම නොකළ යුතු දෙයක්ද කියලා. නෑ, ඒක නෙවෙයි අපි කියන්නේ. සැමියා බිරිඳට අවවාද උපදෙස් දීම වගේම අවශ්‍ය අවස්ථාවලදී බිරිඳ සැමියාට අවවාද උපදෙස් දීමත් පවුලේ යහපත පිණිස අත්‍යවශ්‍යයි. නමුත් නිතර නිතර මෙවැනි තත්ත්වයක් තිබෙන විට සැමියාට බිරිඳව එපා වෙනවා. එක්කෝ ඔහු නෑසුණු ආකාරයෙන් එය නොතකා හරිනවා. එහෙම නැත්නම් දවසින් දවසම ඔහු, ඔහුටත් නොදැනී බිරිඳ වෙතින් මානසිකව දුරස් වෙනවා. මෙවැනි පිරිමියකු තමන්ගේ සිතට හරියන විදියේ කාන්තාවක් හමු වුණොත් අනියම් සබඳතාවක් ඇති කර ගැනීමට හැකියාවක් තිබෙනවා.

කාන්තාවක් කියන්නේ මෘදු මොළොක් සියුමැලි කෙනෙක්. සොබා දහම ඇය ඒ අයුරින් නිර්මාණය කර තිබෙන්නේ ඇය මවක විය යුතු නිසයි. එයට හේතුව දරුවකු ලොවට බිහි කරමින් උත්තරීතර මව් පදවිය දරන්නේ කාන්තාව නිසයි. දරුවකු බිහි කරන්න, දරුවාට ආදරය කරන්න, මව් කිරි දී ඇති දැඩි කරන්න හැකි වන්නේ මෘදු මොළොක් සිතක් ඇති අයකුටයි. දරුවකුගේ කායික, මානසික වර්ධනයට එවැනි මෘදු මොළොක් කාරුණික ගති පැවැතුම් ඇති අයකුගේ ආදරය රැකවරණය අවශ්‍ය වෙනවා. ඒ හැකියාව සොබා දහම විසින් උරුම කර දී තිබෙන්නේ පිරිමියෙකුට වඩා ගැහැනියකටයි. එවැනි මෘදු මොළොක් ගැහැනියවත්, මොළකැටි දරුවාවත් ආරක්ෂා කරන්න, ඔවුන්ට රැකවරණය ලබා දෙන්න අවශ්‍ය නිසා තමයි සොබා දහම පිරිමියා රළු ගොරෝසු අයෙක් විදිහට නිර්මාණය කර තිබෙන්නේ.

ධෛර්යවන්ත බව, අභියෝග හමුවේ නොසැලී සිටීමේ ශක්තිය, උත්සාහය, උනන්දුව හැම දෙයක්ම ගැහැනියකට තිබීම පිරිමියකුට මහත් ශක්තියක් වෙනවා. නමුත් ඒ පිරිමියකු මෙන් කටයුතු කරමින් සැමියා අභිභවා යන්නට නොවෙයි. මෙයින් අදහස් කරන්නේ බිරිඳ සැමියාගේ යටත් වැසියකු වීම යැයි ඔබ වරදවා වටහා නොගත යුතුයි. මෙහි අරුත සැමියාට ශක්තියක් වී ඔහු ළඟින් සිටීමයි. ඔහුගේ අණ දෙන නිලධාරිනිය වීම නොවෙයි. අණ දෙන නිලධාරිනියක් වෙන්න ගියොත් සැමියාට බිරිඳව එපා වෙනවා. ගැහැනියකට සහජයෙන් උරුම වූ සියුමැලි බව පිරිමින් තුළ ඇති කරවන්නේ ලොකු බැඳීමක් සහ ඇලීමක්. ඒ තුළ ඔහු ඇයට ආකර්ෂණය වෙනවා. එවැනි ගැහැනියක් තමන්ගේ සැමියාත් සමග දුක සැප බෙදා ගනිමින් ඔහුට ශක්තිය හා ධෛර්යය සපයන විට ඒ බැඳීම තවත් වර්ධනය වෙනවා. බිරිඳක් සැමියාට අණ දෙමින් ඕනෑවට වඩා ස්වාධීන වෙන්න ගියොත් එම පවුලේ දෙදරා යාම ඉක්මන් විය හැකියි. ඉහත සිද්ධියේ සැමියා කී මේ වදන් ඊට හොඳම උදාහරණයක්.

“මගේ පෙම්වතිය හරි අහිංසකයි. මම කැමැති ගෑනුකම තියන ගෑනියෙකුට. මම ඒ ගති ලක්ෂණ දැක්කේ මගේ පෙම්වතියගෙනුයි. මම ඇත්තටම ජීවත් වෙන බව මට දැනෙන්න පටන් ගත්තේ එයාව මුණ ගැහුනට පස්සේ. මගේ බිරිඳ ගෑනියෙක් නෙමේ පිරිමියෙක්. මමත් පිරිමියෙක්නේ, පිරිමියෙකුට තවත් පිරිමියෙක් මොකටද?”

 

මනෝවිද්‍යා උපදේශක, ආචාර්ය සුරංග අමරකෝන්

ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>