TT Ads

දිනක් මා මාගේ මිතුරියකගේ නිවසට යන විට සිව් හැවිරිදි වියේ පසු වූ ඇයගේ පුතා සිටියේ හැඬුම්බර මුහුණිනි. ඔහු අසනීපයෙන් පසුවන්නේදැයි මා විමසූ විට මාගේ මිතුරිය දුන්නේ මෙබඳු පිළිතුරකි.

“කොච්චර වත් සෙල්ලම් වාහන කෑලි ටිකක් තියෙනවා. ඒවා එහාට මෙහාට කර කර හප්ප හප්ප ඉන්නවා. අකුරක් ලියන්න අඬගහගන්න හරිම අමාරුයි. මම ඒවා ඔක්කොම ටික අරගෙන පෙට්ටියකට දාලා අල්මාරියෙන් තිබ්බා.”

වාහන කෑලි ලෙස ඇය පැවැසුවේ දරුවාට ක්‍රීඩා කිරීමට තිබෙන කුඩා වාහනයි. දරුවාගේ මිත්තනිය නිතරම ඒවා ගෙනැවිත් දෙන බවත් වැඩි දුරටත් පැවැසූ ඇය ඒ පිළිබඳව ඇයටද මා සමග දෙස් පැවැරුවාය.
සිඟිති දරුවන්ට ඉගැන්වීම යනු අකුරු, ඉලක්කම් ඉගැන්වීම නොවේ. ඇත්තෙන්ම අකුරු, ඉලක්කම් වෙතට පැමිණීමට පෙර ඔවුන්ටම ලබාදිය යුතු තවත් බොහෝ දේ තිබේ. අකුරු ලිවීමට, කියවීමට, අකුරුවල හැඩ මතකයේ රඳවා ගැනීමට අකුරු වල ශබ්ද සවනට හුරු වීමට, ශබ්ද කිරීමට වැනි සියලු දේට ඔවුන් කුඩා කාලයේ සිට කරන විවිධ ක්‍රියාකාරකම් මනා පිටිවහලක් වේ.

කුඩා දරුවෝ විවිධ දේ සමග ක්‍රීඩා කිරීමට ඉතා ආශා කරති. විශේෂයෙන් පිරිමි දරුවන් වාහන සමග ක්‍රීඩා කිරීමට ප්‍රිය කරන බව අපි කවුරුත් දනිමු.
නමුත් ක්‍රීඩා කිරීමට අමතරව දරුවන්ගේ බුද්ධිය වර්ධනය කිරීමෙහිලා මේවා ප්‍රයෝජනයට ගත හැකි බව බොහෝ මව්වරුන් දන්නේ නැත. මවුවරුන්ට තම විවේක කාලයේදී මේවා සමග විවිධ ක්‍රියාකාරකම් වලට දරුවාව යොමු කරවීමට පුළුවන.

පහත දැක්වෙන්නේ ඒ ආකාරයට කළ හැකි ක්‍රියාකාරකම්ය.
■ වාහන පිළිබඳව දරුවාට කියා දෙන්න.
දරුවා සතු වාහන සියල්ල අසලට ගෙන ඒවා පිළිබඳව දරුවාට කියා දෙන්න. ඒවා ගමන් කරන්නේ කොහොමද? උදා:- අහසේ, වතුරේ, ගොඩබිම
ඒවායෙන් ඇති ප්‍රයෝජන මොනවාද?
උදා:- ට්‍රැක්ටරය, බැකෝ යන්ත්‍රය
■ වාහන වෙන් කරන්න
අහසේ, ගොඩබිම හා දියේ යන වාහන ලෙස මේවා වෙන් කළ හැක.
■ වාහන ඇසුරින් විවිධ ප්‍රශ්න විමසීම
දරුවා සතු සෙල්ලම් වාහන ටික පේළියට හෝ තැනින් තැන තබා දරුවා වෙත ප්‍රශ්න යොමු කළ හැක.
උදා:-
■ සීනුවක් තියන වාහනය කුමක්ද?
■ බඩු ඇදීමට භාවිත කළ හැකි වාහනය
■ වැඩි දෙනෙකුට ගමන් කරන්න පුළුවන් වාහනය.
■ රටකින් රටට යන්න පුළුවන් වාහන?
■ හඳට යන්න පුළුවන් මොකෙන්ද?
■ ඉන්ධන අවශ්‍ය නොවන වාහන මොනවාද?

දරුවාගෙන් ප්‍රශ්න විමසන විට දරුවෝද මව හෝ තමන්ගෙන් ප්‍රශ්න අසන වැඩිහිටියා වෙත ප්‍රශ්න යොමු කිරීමට උත්සාහ කරති. එවැනි අවස්ථාවලදී දරුවාටද අවස්ථාව දී දරුවා අසන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දිය යුතුය.
එයින් දරුවා තුළ උනන්දුව ඇතිවනවා මෙන්ම දරුවාට එය මහත් සතුටක්ද වනවා ඇත.
මෙම ක්‍රීඩා හා ක්‍රියාකාරකම් සියල්ල අවසානයේ භාණ්ඩ සියල්ල එකතු කර නිසි තැන්වල තැබීමට දරුවන්ට හුරු කරවීමද ඉතා වැදගත්ය. මෙහිදී කළ යුතු වන්නේ දරුවාට මෙසේ කරන ලෙස අණදීම නොව දරුවාගේ සහයෝගයද ලබා ගනිමින් මව හෝ දරුවා සමග කාලය ගත කරන වැඩිහිටියන්ගේ මූලිකත්වයෙන් එය සිදු කිරීමය.

ජලදිනී සේනානායක

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>