TT Ads

තමන්ට පිළිකාවක් වැළඳී ඇති බව දැන ගත්විට එම රෝගියා තුළ අධික මානසික කම්පනයක්, බියක් සේම ජීවිතය සම්බන්ධයෙන් කිසියම් විපක්ෂිත බවක් මතුවීම නිතැතින්ම සිදුවන්නකි. ඒ නිසාම ඒ අය සමග යහපත් ජීවන සබඳතාවක් පවත්වා ගැනීම අවශ්‍ය වේ.

සමහරු පිළිකා රෝගීන් හා සබඳතා පවත්වා ගැනීමට මැලිකමක් දක්වති. පිළිකාවක් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වන රෝගයක් නොවේ. එබැවින් මේ රෝගීන් ළඟින් ඇසුරු කරමින් සාත්තු සප්පායම් කිරීමට කෙසේවත් බිය විය යුතු නැත. ඒ තැනැත්තා හෝ තැනැත්තිය පිළිකාවට ගොදුරු වීමට පෙර, ඇසුරු කළ ලෙසම වෙනසක් නොපෙන්වා කටයුතු කිරීම මෙහිදී අතිශයින් වැදගත් වෙයි. ඊටත් වඩා සමීප වෙමින්, ඒ අය සමග සතුටු සාමීචියේ යෙදෙමින් කාලය ගත කිරීමට හැකි නම් වඩාත් අගනේය. නිතරම එම රෝගියාගේ සතුටට, කැමැත්තට මුල්තැන දීමට කටයුතු කරන්න. එසේම හැකි හැම විටම ඒ අය පවුලේ කටයුතු වලට සමාජීය කටයුතු වලට සම්බන්ධ කර ගනිමින් වෙනසක් නොපෙන්වා කටයුතු කිරීමට උත්සාහ ගැනීම අනෙක් වැදගත් කරුණකි.

රෝගියා දිවි ගෙවන තැන වඩාත් පිරිසිදු හොඳින් වාතාශ්‍රය සහිත සුව පහසු ප්‍රියජනක තැනක් බවට පත් කිරීමට උපරිමයෙන් කැපවන්න. එසේම ඔවුන් කැමති විනෝදාංශයක යෙදීමේ පහසුකම් මියුරු සංගීතය රසවිඳීමට අවස්ථාවන්, කාලීන තොරතුරු දැන ගැනීමට රූපවාහිනීය, පුවත්පත් සඟරා ඇසුරු කිරීමේ ඉඩකඩ සලසා දීම සුදුසුවේ. ඔවුන්ගේ ආගමික ඇදහීම් වලට අනුව භාවනා වැඩසටහන් යාච්ඤා මෙහෙයන් ආදියට යොමු කිරීමෙන් සිතේ සහනශීලී බව දියුණු කළ හැකිවේ.

රෝගියාගේ පෝෂණ අවශ්‍යතා ගැන වඩාත් සැලකිලිමත්ව රෝගියාට ප්‍රිය ජනක ලෙස ආහාරපාන ලබා දීමට උත්සාහ කරන්න. මේ රෝගීන්ට දැනෙන වේදනාව ගැනද අප අමතක කළ යුතු නැත. හැකි තරම් වේදනාව සහ මානසික අපහසුතා අවම වන ලෙස වෛද්‍ය උපදෙස් වලට අනුව කටයුතු කිරීමට වග බලා ගත යුතුවේ. ඒ සඳහා හෙද සේවාවල පිහිට ලබා ගන්න. එසේම පිළිකාව සාර්ථකව ජයගත් කණ්ඩායම් සමග කතා කර හිත නිවා ගැනීමට උදව් කරන්න.

කිසියම් ලෙසකින් රෝගියා සුව කළ නොහැකි ජීවිත අවදානමක සිටින බව වෛද්‍යවරයා පැවැසුවහොත් එය
රෝගියාගෙන් වසන් නොකරන්න. අද බොහෝ රෝගීන්ගේ ඥාතීන්, හිතවතුන් රෝගයේ තත්ත්වය ගැන රෝගියාගෙන් සඟවා තබා ගනී. මෙය සුදුසු ක්‍රියාවක් නොවේ. රෝගියාට මේ ජීවිත කාලය තුළ, කළ යුතු කිසියම් වැදගත් දේවල් තිබේනම්, ඒවා ඉටු කර ගැනීමට සත්‍ය දැන ගැනීම ඉතා වැදගත් වෙයි. උදාහරණයක් ලෙස රෝගියාගේ දේපළ, යම් වැදගත් ලියකියවිලි ආදිය ඔහු හෝ ඇය කැමති කෙනෙකුට පැවැරීමට, කිසියම් ආගමික ස්ථානයක් වන්දනාමාන කිරීමේ ආශාවක් ඇත්නම් එය සිත පුරා ඉටු කර ගැනීමට ආදී කටයුතුවල යෙදීමට ඒ දැනුවත් බව උදව් වේවි.

තමන් ඉක්මනින් මිය යන බව දැන සිටීමෙන් අදාළ රෝගියාට තම ආගමික විශ්වාසයන්ට අනුව සිත සුවපත් කර ගැනීමේ ව්‍යායාමයක යෙදීමට හැකිවේවි. එබැවින් අසාධ්‍ය තත්ත්වයට පත්වීමට පෙර සිත කලබල නොවන ආකාරයට, පවතින තත්ත්වයේ සැබෑව හෙළි කිරීම වඩාත් යෝග්‍යවේ. මෙවන් රෝගියෙකුට සිත සුව වඩවාලීමට සේම ශාරීරික සේම මානසික තත්ත්වය සුවපත් කිරීමට උදව් උපකාර කිරීම අතිවිශාල පුණ්‍ය කර්මයක් බව සිහි තබාගන්න.

 

කොළඹ 05, ඇල්විටිගල මාවතේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ,
ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා

 

නිර්මලා කුමාරි සේනාරත්න

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>