TT Ads

 

පුංචි තිරයේ සහ සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන චතුරිකා පීරිස් පසුගිය කාලයේ රංගන කටයුතුවලින් තරමක් ඈත්ව සිටියේ ඇය ඒ වන විට සිය කුළුඳුල් දරු උපතට සූදානමින් සිටි නිසාය. චතුරිකා සහ ඇගේ සැමියා වන රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලකගේ කැදැල්ලට එක්වූ පුංචි අමුත්තියගේ නම “ආරාධනා”ය. කෙටි නිහැඬියාවකින් පසු මේ වන විට නැවතත් සිය රංගන කටයුතු ආරම්භ කර තිබෙන චතුරිකා, “ආරාධනා” ගේ පැමිණමත් සමග සිය දිවිය වෙනස් වූ ආකාරය ගැන හෙළිකරමින් “රැජිණිය” සමඟ මෙසේ සංවාදයට එක් වූවාය.

 මව් පදවිය ලැබුවාට පස්සේ චතුරිකා ආයෙමත් රංගන කටයුතු පටන් අරන් කියන්නේ ඇත්තද?
ඔව්. දුව ලැබුණාට පස්සේ ටික කාලයක් මම එයා වෙනුවෙන්ම කාලය වෙන් කරලයි තිබුණේ. දැන් දුවගේ වයස මාස දෙකයි. පසුගිය 10 වැනිදා ඉඳන් මම ආයෙමත් රඟපෑම් කටයුතු පටන් ගත්තා. ඒ නිසා මේ දවස්වල ටිකක් කාර්ය බහුල විදියට තමයි මගේ දවස ගෙවෙන්නේ.
 දුවත් එක්ක ගත කරන කාලය ඔබට දැනෙන්නේ මොන විදිහටද?
ඒක හරිම සුන්දරයි. හුඟක් අය කියනවා අලුතෙන් අම්මා කෙනෙක් වුණාම ගොඩක් වෙහෙසකර ජීවිතයක් තමයි ගත කරන්න වෙන්නේ කියලා. හැබැයි මට නම් එහෙම වෙහෙසක් දැනෙන්නේ නැහැ. මොකද කොච්චර කාර්ය බහුල වුණත් දරුවා එක්ක ඉඳීමෙන්ම මගේ වෙහෙස නිවෙනවා. එයා ළඟ නැති වෙලාවට මට හරිම පාළුයි. ඒ නිසා රූ ගත කිරීම් වලට යද්දී පවා හුඟක් වෙලාවට මම බබාව අරගෙන යනවා.
 දුවට “ආරාධනා” කියන නම ලැබීම පිටුපස්සේ බොහෝ අය නොදන්නා කතාවක් තියෙනවා කියන්නේ ඇත්තද?
ඔව්. ඒ කතාව ඇත්ත. ගයානුයි මමයි මුල ඉඳන්ම දුවෙකුට තමයි කැමැත්තෙන් හිටියේ. අපි දුවට තබපු “ආරාධනා” කියන නම ගණ පිහිටීමක්වත්, වෙන කිසිම දෙයක්වත් බලලා තියපු නමක් නෙවෙයි. දුව ඒ නම අරගෙනම ඉපදුනා කීවොත් මම හිතන්නේ ඒක නම් වඩාත් නිවැරදියි.
 ඒ කතාව “රැජිනිය” පාඨකයන්ටත් දැන ගන්න කියමු නේද?
ඒ ගැන හරියටම දන්නේ ගයාන් තමයි. දුව ලැබෙන්න ඉන්දැද්දී දවසක් ගයාන් උදේ නින්දෙන් නැගිටලා කිව්වා “අපේ දුවගේ නම ආරාධනා” කියලා. ගයාන් එදා හීනෙන් ලස්සන දුවෙක්ව දැක්කාලු. ඒ වෙලාවේ “ආරාධනා” කියන නම එයාගේ හිතට ඇවිත් තියෙනවා. අපට ලැබුණු දුවත් එදා එයා හීනෙන් දැකපු දුව වගේමයි කියලයි ගයාන් කියන්නේ.
 ගයාන්ගේ පළමු විවාහයේ දරුවන් දෙදෙනාත් කාලයක් ඔබ සහ ගයාන් ළඟ නේද හැදී වැඩුණේ?
ඔව්. හැබැයි ඒ පුතාලා දෙන්නාම දැන් අපි ළඟ නැහැ. ඒ දෙන්නා දැන් එයාගේ අම්මා ළඟයි ඉන්නේ.
 ඇයි එහෙම වුණේ.
මම විශ්වාස කරන දෙයක් තමයි, පිරිමි දරුවෙක් තමන්ගේ අම්මා ළඟ හැඳී වැඩෙන්න ඕනෑ කියන එක. මොකද, එහෙම නොවුණොත් ඒ අය ටිකෙන් ටික ලොකු වෙද්දී වෙන කෙනෙකුට ඔවුන්ව හරියට පාලනය කරගන්න බැරි වෙනවා. මොකද අවුරුදු 9-10 වෙද්දී අම්මාට වගේ පිටස්තර කෙනෙකුට පුතාලාව පාලනය කරගන්න අමාරුයි. එහෙම බලෙන් පාලනය කරන්න ගියොත් ඒ අය මුරණ්ඩු වෙනවා. ඒ නිසා මම හිතනවා ගයාන්ගේ පුතාලා දෙන්නා ගැන අපි ගත්තු තීරණය නිවැරදියි කියලා.


 ඉදිරි කාලයේදී කලාව වෙනුවෙන් ජීවිතයේ වැඩි ඉඩක් ඔබට වෙන් කරන්න හැකිවේවි කියලා හිතෙනවාද?
දරුවා ලැබෙන්න තිබුණු නිසා ගිය අවුරුද්දේ විතර ඉඳන්ම මම අලුත් ආරාධනා බාර ගත්තේ නැහැ. නමුත් ඒ අතරතුරේදීත් කලින් බාරගත් ටෙලි නාට්‍ය දෙකක මම විටින් විට රඟපෑවා. එයින් එකක් තමයි මේ දවස්වල ජාතික රූපවාහිනියෙන් විකාශය වන “එක රෑනේ කුරුල්ලෝ” ටෙලි නාට්‍යය. මේ දිනවලත් මම ඒ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සඳහා සම්බන්ධ වෙනවා. ලබන වසරේ ජනවාරි මාසේ අලුත් චිත්‍රපටයක වැඩ පටන් ගන්නවා. ඒ ඇරුණාම ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවල වැඩ ගොඩක් එකට බාරගන්න මම කැමති නැහැ. මොකද, එහෙම වුණොත් මට දුව වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න බැරි වෙනවා.

කිෂාන් කනංකෙ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>