TT Ads

ඔබේ ගෙවත්ත කුඩානම් එය අලංකරණය කිරීම සඳහා ඉඩ නැති බව සිතමින් ඔබ ළතැවෙනවාද?

ඒ වගේම ඒ කුඩා භූමි භාගය තුළ මල් පැළ ටිකක් වවා ගැනීම අත්‍යවශ්‍යයැයි සිතන්නේ මිදුලේ අලංකරණයට මල් ඉතාමත් වැදගත් ලෙස ඔබ සලකන නිසාය. නමුත් එළවළු පැළ ටිකකුත් මේ අතරට සිටුවා ගත හැකි නම් එය කොතරම් අගේදැයි ඔබ සිතන්නට පුළුවන. මෙහි දක්වන්නේ ඔබේ ගෙවත්තට අපූරු අලංකරණයකුත් එක් කරමින් මල් වගේම එළවළු පලතුරු ආදියත් වගා කර ගත හැකි අපූරු ක්‍රම කිහිපකි.

 

භූමි අලංකරණයට පෙර

භූමි අලංකරණයට පෙර, ගෙවත්තේ පිහිටීම පිළිබඳ අවධානය යොමුකරන්න

  •  ගෙවත්ත පිහිටා ඇත්තේ තෙත් කලාපයේ නම්, මි.මී. 2500ට වැඩි වර්ෂාවක් ලැබේ. මෙම ප්‍රදේශයට ආවේණික වූ භෝග ගැන අවධානය යොමු කිරීම අගනේය. මැංගුස්ටීන්, රඹුටන්, ඇපල්, දූරියන් සහ අලිපේර වැනි පලතුරු ද, සලාද, බීට්රූට්, ගෝවා, බෝංචි සහ කැරට් වැනි ප්‍රදේශයට ආවේණික එළවළු පිළිබඳවද අවධානය යොමුකළ හැක.
  •  වියළි කලාපයේ අවුරුද්දකට මි.මී. 1750ට වඩා අඩු වැස්සක් ලැබේ. මෙම පළාතේ පේර, පැපොල්, අඹ, දිවුල් සහ මාදන් වැනි පලතුරු භෝග ද, බංඩක්කා, මිරිස්, වට්ටක්කා, ලූනු, බටු සහ කැකිරි වැනි එළවළු භෝග ද, ප්‍රදේශයට ආවේණිකය.
  • ඔබගේ ගෙවත්ත පිහිටා ඇති පරිසරය, නාගරික, අර්ධ නාගරික හෝ ගමක ද යන්න පිළිබඳ අවධානය යොමුකළ යුතුය.
  •  ගෙවතු වගාවෙන් භූමි අලංකරණයට යොමුවෙන ඔබට අවශ්‍යතාවය අනුව, ඉඩ-කඩ, මිල-මුදල, කාලය, ශ්‍රමය, දැනුම සහ පරිසර සාධක අනුව සත්ව පාලනයකට (මී මැස්සෝ, එළුවන්, ගවයින්, කුකුළන්, තාරාවන්, හාවන් හෝ මත්ස්‍ය වගාව) යොමු විය හැක.
  • තවද, ඉඩමේ පිහිටීම, පස්වල ස්වභාවය, ඉඩමට හිරු එළිය වැටීම පිළිබඳවද, සිතා බලා භෝග තෝරා ගත යුතුය.
  •  අප්‍රේල් මාසයේ සිංහල-හින්දු අවුරුද්දට එළවළු මිල වැඩිවෙයි. ජුනි-ජූලි සහ නොවැම්බර්-දෙසැම්බර් වැසි කාලවල එළවළු මිල වැඩි වෙයි. විශේෂයෙන් මෙම කාලවලට අස්වනු ලැබෙන පරිදි ගෙවත්තෙහි වගාව සැලසුම් කරගැනීමෙන් වැඩි වාසියක් හිමි වේ.

ඉහත කරුණු හා ඔබේ පවුලේ සාමාජිකයින්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන ගෙවත්තෙහි භෝග හෝ භූමි අලංකරණය කළ යුතුය.

භූමි අලංකරණ ගෙවත්තක වාසි

  • අලංකාරය වගේම ආර්ථික වාසිය
  •  පවුලේ සියලු දෙනාට සමබර වස-විස නැති ආහාර වේලක්
  •  කෘෂිකාර්මික දැනුම වැඩිවේ
  • ආකල්ප සහ පවුලේ, හිතමිතුරන් අතර සබඳතාවය වැඩිවේ
  •  විවේකය සතුටින් ගත කිරීම
  • මානසික හා කායික ව්‍යායාමය
  •  නැවුම් එළවළු සහ පලතුරු ආහාරයට ගත හැකි වීම
    ඉඩ-කඩ උපරිම ප්‍රයෝජනයට ගැනීමේ ක්‍රම
  •  මල්වැල් යෙදූ ආරුක්කු වෙනුවට, කරවිල, පතෝල, වැටකොලු වැල් ආරුක්කු යොදා ගැනීම
  •  නිර්මාණශීලීව එළවළු පාත්ති යෙදීම, විවිධ හැඩතල සහ වෙනස් වර්ණ සහිත භෝග තෝරා ගැනීම
  •  අහස ජයගනිමින්, එල්ලා ඇති බඳුන් (ඉවතලන ප්ලාස්ටික් බෝතල්, පොල්ලෙලි, ටයර්) වල, භෝග වගාව
  •  නිවසේ තාප්ප, බිත්ති ප්‍රයෝජනයට ගෙන, බඳුන්වල වගාකිරීම
  •  අලංකාරය සහ ප්‍රයෝජනය සඳහා පොකුණු තුළ මිරිදිය මත්ස්‍ය වගාව
  •  භෝග වගාව සමඟ කෘමිනාශක ගුණය සහ අලංකාරය සඳහා මල් වර්ග (දාස්පෙතියා, කපුරු) වගාව
  •  නිවසින් ඉවතලන, විවිධ බඳුන් වල (සපත්තු, බේසම්, හට්ටි-මුට්ටි, බැරල්) අලංකාරවත්ව භෝග වගාව
  •  නිවසේ ජනෙල් අසල, අලංකාර ලෙස, විවිධ බඳුන්වල, විවිධ භෝග වගා කළහැක

මෙතෙක්, කාන්තාවක් වශයෙන් අලංකාරය සඳහා මල් වවන්නට ඔබ සිතන්නට ඇති. මල් වලට හිමි අලංකාරය සමඟ ප්‍රයෝජනයක් ද අත්කර ගනිමින් භෝග වගා කළ හැකි බව, බුද්ධිමත්ව සිතිය යුතු කාලය උදාවී ඇත. භූමි අලංකරණය ආරක්ෂා කරගනිමින් භෝග වගාකරන්න.

මාතලේ අපනයන කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේහිටපු විෂයානුබද්ධ නිලධාරි (විශේෂ ශ්‍රේණිය)
සරාසඳ ජයකොඩි

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>