TT Ads

පැය 82 ක් මාරයා එක්ක සටන් කරපු සුජිත් අන්තිමට මාරයාට දිනුම දුන්නා. ඒ දවස් හතරක් තිස්සේ කන්න බොන්නවත් නැතිව, වේදනාවෙන්, බයෙන්, එකම ඉරියව්වකින් අඩි 30 ක් ගැඹුරු කුහරයක් ඇතුළේ ඉන්න තවදුරටත් බැහැ කියලා හිතුණු නිසා වෙන්න ඇති.
වයස අවුරුදු දෙකක් වුණු පුංචි සුජිත් විල්සන් ජීවත් වුණේ අම්මා තාත්තා සහ අයියා එක්ක දකුණු දිග ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ. පහුගිය සිකුරාදා, ඒ කියන්නේ ඔක්තෝබර් 25 වෙනිදා පුරුදු විදියටම ඔහු වටා පිටාවේ අයියලා අක්කලා එක්ක සෙල්ලම් කරමින් හිටියා. ඒ වෙලාවෙ සුජිත්ගේ අම්මා පොදු ළිඳ ළඟ රෙදි සෝදමින් හිටියා. එක පාරටම ඇහුණු පුංචි දරුවෙකුගේ විලාපයකින් පස්සේ පුංචි දරුවෝ එක රොත්තට කෑගසාගෙන සුජිත්ගේ අම්මා ළඟට ඇවිදින් දුන් ආරංචිය නිසා ඇය තෝන්තුවෙන් වගේ දිව ගියේ ළමයි පෙන්නපු වළ ළඟට. ඒ වෙද්දිත් පෙනුණේ පුංචි සුජිත්ගේ අත් දෙකයි ඔළුවයි විතරයි. ඒත් යන්තමට. ඇගේ දැනුමේ හැටියට නම් ඇගේ දරුවා හිටියේ පොල් ගස් දෙකක් විතර ගැඹුරකින්.

සුජිත් වැටිලා හිටියේ අත්හැර දැමුණු පටු ගැඹුරු වළකට, නැත්නම් සිදුරකට. මේ වගේ කුඩා ගැඹුරු සිදුරු ඕනෑතරම් ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල දකින්න පුළුවන්. මේවා පාවිච්චි කරන්නේ වතුර නැති කාලෙට ගම්වැසියන්ට වතුර ලබා දෙන්නයි. ප්‍රාන්ත රජයන්වලින් මේ විදියට පොළොව ගැඹුරට සිදුරු කරලා නළ මාර්ගයෙන් ජලය පොළොව මතුපිටට පොම්ප කරනවා. වැහි කාලෙට මේ සිදුරුවල වතුර පිරෙනවා. සමහර ගම්මු මේවා ළිං විදියටත් පාවිච්චි කරනවා. පොම්ප කරලා කරලා දිය උල්පත් හිඳුණට පස්සේ මේ වගේ සමහර සිදුරු අතහැරලා දානවා. සුජිත්ව ගිල ගත්තෙත් ඒ වගේ සිදුරක්.

ඔහු මේ සිදුරට වැටිලා පැය දෙකකට විතර පස්සේ තමයි රාජ්‍ය වශයෙන් ඔහුව ගොඩට ගැනීමේ මෙහෙයුම පටන් ගත්තේ. මේ වගේ සිදුරකට වැඩුණු මිනිසකුට බහින්න බැහැ. ඒ නිසා සිදුර ප්‍රමාණයෙන් විශාල කිරීම තමයි පළමු මෙහෙයුම වුණේ. නමුත් එහිදී සුජිත්ගේ හිස මතට පස් තට්ටු කඩා වැටෙයි කියන අවදානම නිසා ඒ මෙහෙයුම පැයක්වත් පවත්වාගෙන ගියේ නැහැ. ඊළඟ මෙහෙයුම වුණේ සුජිත් වැටී සිටි ස්ථානයට වෙනත් උමං මාර්ගයකින් ළඟා වීම. මේ මෙහෙයුම සිදු කරමින් පවතින වෙලාවේ ඔහු සිරවී සිටිනා ස්ථානයේ පස් තට්ටු බුරුළු වීම නිසා තවත් අඩි කීපයක් ගැඹුරට පුංචි සුජිත්ව රූටා වැටී තිබුණා.

අඩි 30 කට වඩා ගැඹුරින් විශාල වළක් හෑරීම සහ එමගින් සුජිත් සිටිනා ස්ථානයේ පොළොවේ පස් තට්ටු බුරුල් නොවීම කියන කාරණා ගැන සැලකිලිමත් විය යුතු නිසා ඔහු වැටුණු සිදුරේ සිට මීටර් 75 ක් විතර දුරින් තවත් සිදුරක් හාරමින් උමං මාර්ගයකින් ඔහු වෙත ළං වීම තමයි තුන් වෙනි මෙහෙයුම වුණේ. ඒ වෙද්දී දවස් දෙකක් ගත වෙලා අවසන්. නමුත් පුංචි සුජිත් බොහෝම අමාරුවෙන් ජීවිතය අල්ලාගෙන ඉන්නා බව එතැනට ගෙන්වා තිබූ වෛද්‍ය කණ්ඩායම සහතික කළා. කම්කරුවන් ඔවුන්ගේ රාජකාරිය කරන අතරතුර වෛද්‍ය කණ්ඩායම උත්සාහ කළේ සුජිත් වෙත නළ මාර්ගයෙන් හෝ ජලය ලබා දෙන්නටයි. නමුත් එය සිදු කළ හැකි කාර්යයක් වුණේ නැහැ.

ඉරිදා සවස් වරුව වනවිට සුජිත් සිහිසුන් වී ඇති බව වෛද්‍යවරුන් වාර්තා කළා. ඒ වෙද්දී ඔහු පූර්ණ දින දෙකක් කිසිම ආහාරයක් හෝ පානයක් ලබාගෙන තිබුණේ නැහැ. තවත් පැය පහකින් විතර ඔහු වෙත ළඟා වෙන්න පුළුවන් කියලා මෙහෙයුමේ නිරත අය දන්වා සිටියත් එය කළ හැකි වූයේ නැහැ. සඳුදා දහවල් කාලයත් ඉතාම අවාසනාවන්ත ආකාරයට ගෙවී ගියේ සුජිත් සිහිසුන් තත්ත්වයේ සිටියදීමයි.
මේ වනවිට මුළු ලෝකයම සුජිත් දිහා බලාගෙන හිටියා. හැමෝම ප්‍රාර්ථනා කළේ මේ දරුවා ඉක්මනින් බේරා ගන්න පුළුවන් වෙන්න කියලයි. සුජිත් වෙනුවෙන් කවි ලියවුණා. ෆේස්බුක් පිටු හැදුණා. ට්විටර් ගිණුම් හැදුණා. සෑම රටකම පාහේ රාජ්‍ය නායකයන් ඔහු ගැන විමසිලිමත් වුණා. ලෝකය පුරා විසිරී සිටින ඉංජිනේරුවන් මෙය මීට වඩා පහසුවෙන් කළ හැකි ක්‍රම ගැන අන්තර්ජාලය ඔස්සේ දැනුවත් කළා. නමුත් අඟහරුවාදා අලුයම වනවිට සියල්ල අවසන් වුණා. ඒ පුංචි සුජිත් මිය ගිය බව තහවුරු වීමෙන් පසුවයි. තවදුරටත් සිදුකළ මෙහෙයුම්වලින් පසු සුජිත් සිදුරෙන් පිටතට ගැනුණා. ඒ වනවිටත් ඔහුගේ සිරුරට සිදු වූ දැඩි හානි සහ තුවාල නිසා සිරුර නරක් වෙමින් පවතින බව තමයි වෛද්‍යවරුන් වාර්තා කර තිබුණේ. අඟහරුවාදා පාන්දර යන්න ගිහින් තිබුණු සුජිත් අඟහරුවාදා හවස් වෙද්දී යන්නම ගියා.

දෙවියනේ ඔබේ දරුවාට මේ වගේ විපතක් වුණොත්…. ඔබට පුළුවන්ද එක ඇසිල්ලක්වත් ඉවසාගෙන ඉන්න. ඔබ කෑ ගසා හඬයි. හැමෝගෙන්ම උදව් ඉල්ලාවි. පුංචි සුජිත්ගේ අම්මා තාත්තා විතරක් නෙමෙයි පවුලේ හැමෝමත් ඔය විදිහට කෑ ගසා හැඬුවා. හැමෝගෙන්ම උදව් ඉල්ලුවා. ඒත් මේ පුංචි සමනල් පැටියාව බේරගන්න කාටවත් බැරි වුණා. අපේ රටේ ඉන්න රත්තරන් අම්මලා තාත්තලාගෙන් මම අද ඉල්ලන්නේ එකම එක දෙයයි. ඔබේ පුංචි දරුවාව ඇහැක් වගේ බලාගන්න. එක තත්පරයක් ඇති මහ විපතක් වෙන්න. මගේත් ඔබේත් නොවුණත් සෑම දරුපැටියෙක් ගැනම ඔබත් අවධානෙන් සෙවිල්ලෙන් ඉන්න. පුංචි සමනල් පැටියන්ව ආදරෙන් බලාගෙන නිදහසේ පියාඹන්න ඉඩ දෙන්න.

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>