TT Ads

තම පෙම්වතා වන ප්‍රමුදිත සමග විවාහ වූ හිරුණිගේ පළමු පදිංචිය වූයේ ප්‍රමුදිතගේ මහගෙදරය. සේවා ආයතනයෙන් හිමිවන නිවාස ණය ලබා ගෙන තමන් සතු ඉඩමේ නිවසක් තනා ගැනීම හිරුණිගේ සිහිනයක් වුවද එම ඉඩමේ ඔප්පු නිරවුල් නොවීම මත ඊට බාධා පැමිණුනි. ඒ අනුව ඇය අතිශය සාම්ප්‍රදායික ගුප්ත විශ්වාස හා සබැඳි ප්‍රමුදිතගේ පැරණි මහ ගෙදර ඉදිරිපස කොටසේ ඔහු හා යුග දිවිය ගත කිරීමට පෙළඹිණි.

උදයට මුලින්ම මුණ ගැසෙනා පුද්ගලයාගේ සිට නිවසේ මුල්ලක හිඳ “චුක් චුක්” හඬ නඟන හූනා දක්වා හාත්පස ජීවී අජීවී බලපෑම් මත තම ජීවිතවල සැපත – විපත උදාවන බව විශ්වාස කළ ප්‍රමුදිතගේ මව, විවාහක වැඩිමල් සොයුරිය සහ අවිවාහක නැගෙණිය සමග කතා බස් කිරීම වුව දුෂ්කර ක්‍රියාවක් බව හිරුණිට වැටහී යන ලද්දේ විවාහ වී එහි පදිංචියට ගිය මුල් දිනවලමය. ඒ අනුව හැකිතාක් ඉක්මනින් තමන් සතු ඔප්පු නිරවුල් නොවූ ඉඩම විකුණා තවත් කීයක් හෝ වියපැහැදම් කොට නිරවුල් ඔප්පු සහිත ඉඩමක් මිලට ගැනීමේ සිහිනයක නිමග්නව සිටි යුගයේම හිරුණි ගැබ් ගත්තාය.

නමුදු තමන් ඒ වනවිට ජීවත් වූ යල්පැන ගිය මානසිකත්වයන්ගෙන් පිරි පරිසරයක් මැද ගැබිනි සමයක් පසු කිරීමේ අසීරුව වටහා ගත් හිරුණි එලෙස ගැබ් ගෙන මාස කිහිපයක් තුළ තම මෑණියන්ද එහි කැඳවා ගත්තාය. ඉතා සංවර විනීත චරිත ලක්‍ෂණවලින් හෙබි තැනැත්තියක වූ ඇයටද ප්‍රමුදිතගේ මහ ගෙදර ජීවත් වීම මහත් වධයක් බව හිරුණිට වැටහුණද පදිංචියට වෙනත් නිවසක් නොමැතිකම මත මවගේ එම දුෂ්කරතාව පිළිබඳව කළහැකි යමක් හිරුණි තුළ නොමැති විය.

නිසි කල්ගතවූ පසු හිරුණි හුරුබුහුටි දියණියකගේ මවක වූවාය. ප්‍රසූත නිවාඩුව නිමවනතෙක් ඇය මවත් දියණියත් සමග සිටියේ ඇගේ මහගෙදරය. නමුත් ප්‍රසූත නිවාඩුව අවසන් වු පසු යළි ආපසු දියණිය සහ තම මවද කැටුව ප්‍රමුදිතගේ මහගෙදරට එන්නට හිරුණිට සිදුවිය. ඒ ඇයට තම මහගෙදර සිට රැකියාවට යාමට අපහසු වූ බැවිනි.

හිරුණිගේ සිඟිති දියණිය සුවසේ වැඩෙන්නට වූ අතර ඇයට දිවා කාලයේ හිරුණිගේ මවගේ සෙනෙහසත් රාත්‍රී කාලයට සහ සති අන්ත දිනවල හිරුණිගේත් ප්‍රමුදිතගේත් සෙනෙහසත් නොමඳව ලැබිණ.

එහෙත් තම එකම පුතු වන ප්‍රමුදිතගේ, බිරිඳ දියණිය දෙස හෝ ආදරයෙන් බැලීමට තරම් නිරවුල් මනසක් යල්පැනගිය ගුප්ත අදහස් දරන ඔහුගේ මව සහ සොයුරියන් සතුව නොතිබිණ. එම බිලිඳු දියණියගේ උපත මුල්කොට ශාස්ත්‍ර ඇසීමට, අංජනම් බැලීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් එම බිලිඳිය කෙරෙහි අහේතුක නොමනාපයක් ගොඩ නගාගෙන ඇතැයි ප්‍රමුදිතද සිතීය. ඒ අනුව පියා සහ මිත්තණිය හැරුණු කොට මෙහි වෙසෙන අන් කිසිවකුත් සමග කතා කිරීමෙන් වැළකී ඔවුන් දෙස නිකමටවත් නොබලන ලෙස තම දියණිය කෙමෙන් වැඩුණු පසු හිරුණිද උපදෙස් දෙන ලද්දේ හුදෙක් දියණියගේ ආරක්‍ෂාව සඳහාමය. ප්‍රමුදිතගේ මවගේත් සොයුරියන්ගේත් සිත්තුළ රජයන ගුප්ත විශ්වාස මත තම දියණියට ඔවුන්ගේන් යම් අනතුරක් වීමටද හැකියාවක් ඇති බව හිරුණිගේ සිත නිතර කියන්නට ඇත.

සාමාන්‍යයෙන් වර්තමානයේ සියලුම මාපියන් පාහේ තම දරුවන් වයස අවුරුදු තුනේදී පෙර පාසල්වලට ඇතුළු කරන මුත් හිරුණිලා පදිංචිව සිටි නිවසේ සිට තරමක් හොඳ පෙර පාසලකට සැලකිය යුතු දුරක් පැවැති නිසා සිඟිති දියණිය පෙර පාසලකට යැවීමට මාස නවයක් පමා විය. ඒ හිරුණි තම ඥාති සොයුරියකගේ අ.පො.ස. උසස් පෙළ විභාගය හමාර වනතුරු බලා සිටි නිසාය. ඉන්පසු හිරුණිකාගේ නිවසේ නතර වූ ඇගේ ඥාති සොයුරියට එම සිඟිත්තිය ආරක්‍ෂාකාරී ලෙස දිනපතා පෙර පාසල් රැගෙන යාමේ වගකීම පැවැරුණි.

හිරුණිගේ සිඟිති දියණිය ඉතා පහසු වෙන් පෙර පාසල් දිවියට හුරුවුවද ඇය එහිදී එක් වදනකදු කතා නොකරන බව මුල් දිනවල සිටම එහි පාලිකාවන්ට වැටහිණ. පෙර පාසලේ තමන් වෙත පැවැරෙන කටයුතු මැනැවින් ඉටුකළ ඇය එහි පාලිකාවන් සමග තබා සම වයසේ සිසු දරු දැරියන් සමගවත් මුවින් කතා නොකළ අතර ඇය ඔවුන් හා අදහස් හුවමාරු කර ගත්තේ හස්ත සංඥාවෙන් හා හිසිනි. සිඟිත්තිය පෙර පාසලේ දී මෙසේ හැසිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ ප්‍රධාන පාලිකාව මුල් සති දෙකතුන තුළම හිරුණි සහ ප්‍රමුදිත ගෙන්වා මුල්වරට ඔවුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කළාය. එහෙත් තම දියණිය මෙලෙස නිහඬ බව පළකරනුයේ පෙර පාසලේ දී බවත් නිවසේ දී සාමාන්‍ය ලෙස කතා බස් කරන බවත් හිරුණි සහ ප්‍රමුදිත ප්‍රධාන පෙර පාසල් පාලිකාවට දැනුම් දුන්හ. එහිදී ඇය කියා සිටියේ මෙම සිඟිත්තිය තුළ දක්නට ලැබෙන එකම විශේෂත්වය කතා නොකිරීම පමණක් බවත් ඇය පෙර පාසලේ සෙසු සියලු කටයුතු නොපිරිහෙලා ඉටුකරන බවත්ය. ඒ අනුව මෙම සිඟිත්තිය තුළ පවත්නා මෙම තත්ත්වය මනෝවෛද්‍ය ප්‍රතිකාර මගින් සුවපත් කළ හැකි බවට විශ්වාසය පළකළ ප්‍රධාන පෙර පාසල් පාලිකාව ඔවුන් ඒ සඳහා යොමු කළාය.

එම සිඟිති දැරියගේ කතා නොකරන ස්වරූපය පිළිබඳව දෙමාපියන් වෙතින් අසා දැනගත් මනෝ වෛද්‍යවරයා එය වරණීයමූකතාවය (Selective Mutism) නම් රෝගී තත්ත්වය ලෙස ඔවුන් හමුවේ අනාවරණය කළේය. ඒ සඳහා දෙමාපියන් සහ මිත්තණිය සමග හැරුණු කොට සෙසු කිසිවකු සමග කතා නොකරන ලෙස ඇයට ලැබුණු මානසික විධානය යම් අයුරින් බලපෑ හැකිවුවද එවැනි තත්ත්වයක් නොමැතිව වුවද ඇතැම් සිඟිත්තන් කෙරෙන් මෙම තත්ත්වය දැකිය හැකි බව කීය. ඉන්පසු මෙය විධිමත් කථන චිකිත්සක (Speech Therapy) සහ ව්‍යාවෘතික චිකිත්සාව (Occupational Therapy) යනක්‍රමවලින් සුව කළ හැකි බවට විශ්වාස කළ මනෝ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ දැරියගේ පෙර පාසල් ගමන සිදුකරන අතරේම යම් කාලයක් එම චිකිත්සකවරුන් ලවා එම චිකිත්සාව ලබා දෙන ලෙසය. එම සිගිත්තිය පිටස්තර ස්ථානවල දී ගොළුවත රැකීමේ එම ක්‍රමය කෙමෙන් මඟහැරී ගොස් ඇය සාමාන්‍ය තත්ත්වයට පත් වීමට තවත් මාස කිහිපයක් ගතවිණි.

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ

විශේෂඥ මනෝ වෛද්‍ය රුමී රූබන්

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>