TT Ads

මවුකිරි නිපදවීම සහ මවුකිරි ගලා ඒමේ විද්‍යාත්මක ක්‍රියාදාමය ගැන දැන් ඔබ හොඳින් දැනුවත්. එමනිසා මවුකිරි ලබා දීමේදී මවට සහ දරුවාට ඇති විය හැකි ප්‍රායෝගික ගැටලු සහ නිවැරදිව මවුකිරි ලබා දීම පිළිබඳ තක්සේරුවක් ලබා ගැනීම ගැන දැනුවත් වීම දැන් ඔබට වැදගත් වේවි.
බබා අධික ලෙස හැඬීම, මවුවරු ආතතියට පත් කරවන ප්‍රධාන කරුණක්. එලෙස දරුවා හැඬීම නිසාම මවුවරු අතැම්විට තම පියයුරුවල කිරි ප්‍රමාණය පිළිබඳ තක්සේරුවකටත් එළඹෙනවා. ඒ “මට කිරි මදි” කියලා.

  • බබා මගේ පියයුරු අල්ලා ගන්නේ නැහැ.
  • එයා කිරි බොන්නේ එක පැත්තකින් විතරයි.
  • මගේ පියයුරු පුංචියි. ඒ නිසා කිරි මදි.
  • බබා හොඳට නිදා ගන්නේ නෑ.

ඔය විදියේ නොයෙකුත් ප්‍රශ්න නිසා බොහෝ මවුවරුන්ට මානසික පීඩාවන් ඇති වෙනවා.
“මට කිරි මදි” ඔබටත් මෙසේ හැඟී තිබෙනවාද? නමුත් එක්වරම ඒ ගැන බියට පත්වෙන්න එපා. ඔබට කිරි එරෙන ප්‍රමාණය නොව දරුවාට අවශ්‍ය කිරි ප්‍රමාණය ගැන තක්සේරු කරන්න.

* එක් දරුවෙකු නොව දරුවන් දෙදෙනෙකුට වුවත් අවශ්‍ය ප්‍රමාණයට මව් කිරි නිපදවීමට මවකට පුළුවන්.
දරුවා අධිකව හැඬීම හා මට කිරි මදියි කියා සිතෙනවාට විසඳුම්

1. දරුවා ප්‍රමාණවත් තරම් කිරි නොලබන අවස්ථාද තිබෙනවා. දරුවා නිවැරදිව පියයුරට සම්බන්ධ වීම හා ස්ථාපිත වීම පිළිබඳව ඇති ගැටලු ඊට හේතුයි දරුවා පියයුරට සම්බන්ධ වීමේදී හා ස්ථාපිත කිරීමේදී අවශ්‍ය වන දැනුම සහ නිපුණතාවය ඔබ පූර්ව ප්‍රසව සමයේදී මනා ලෙස ලබා ගත යුතුයි. ප්‍රසවයෙන් පසු රෝහලේදීත්, නිවසේදීත් ඒ සඳහා මග පෙන්වීම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් ඔබට ලබා ගත හැකියි.

  • කිරි දීම සඳහා ඔබ සන්සුන්ව හා සුව පහසුව සිටිය යුතුයි.
  • දරුවාද ඊට සූදානම්ව සිටිය යුතුයි.

ඔබ හොඳින් කොන්ද හා උරහිස කෙළින් තබා ගත යුතුයි. සුව පහසුව අසුන්ගෙන හෝ හාන්සි වී දරුවා තමා දෙසට හොඳින් හරවා ගෙන දරුවාගේ කන, අත, හා කකුල එක රේඛාවක පිහිටන සේ හරවා ගත යුතුයි. එසේ නිවැරැදිව ස්ථාපිත වූ දරුවා නිවැරදිව පියයුරට සම්න්ධ වූවා නම් කිරි උරනවිට විවිධ ශබ්ද නැගෙන්නේ නැහැ. එවිට දරුවා ගැඹුරින් සෙමින් කිරි උරා බොනවා. කම්මුල පිටතට පිම්බෙනවා. ඇරියෝලාවෙන් වැඩි කොටසක් තිබෙන්නේ මුඛය තුළයි. යටි තොළ පිටතට පෙරළී මුඛය

“ආ” ශබ්දයට විවෘත වෙනවා. මෙසේ නිවැරදිව ස්ථාපිතය හා සම්බන්ධය පවතින දරුවා කිරි උරමින් සහ නවතිමින් විනාඩි 20-30 අතර කාලයක් කිරි උරා බොනවා.

දරුවා ප්‍රමාණවත්ව කිරි නොලබන බවට අපට විශ්වාසදායී ලෙස තහවුරු කර ගත හැකිද?

■ දරුවාගේ බර මාසයකට 400-500ට කට අඩු ප්‍රමාණයක් වැඩි වීම.

■ මුත්‍රා පිට වීමේ වාර ගණන ප්‍රමාණය සහ වර්ණය වෙනස් වීම. මුත්‍රා ගණන පැය විසි හතරට හය වාරයකට අඩුවෙන් මුත්‍රා කිරීම.

යන ලක්ෂණ කිරි ප්‍රමාණාත්මකව නොලැබෙන බවට විශ්වාස දායක සහිත ලෙස සඳහන් කරන්න පුළුවන්.
මවුවරු මවුකිරි පිළිබඳ තක්සේරු කිරීමට පහත සඳහන් කාරණාද වැඩි වශයෙන් සැලකිල්ලට ගනු ලබනවා.

  • දිගු වේලාවක් දරුවා කිරි ඉරීම
  • කිරි බිවූ පසුවත් සෑහීමකට පත් නොවීම
  • නිතර නිතර හැඬීම
  • දරුවාගේ මල වියළි වීම
  • මවුකිරි බීම ප්‍රතික්ෂේප කිරීම
  • පියයුරෙන් කිරි නොවැගිරීම
  • ගර්භණී සමය තුළ පියයුරු විශාල නොවීම.

නමුත් මෙවැනි ලක්ෂණ කිරි මද කම නිසාම පමණක් නොව වෙනත් කාරණා නිසාද සිදුවෙන්න පුළුවන්. දරුවා සුව පහසු නොවීම, ගුඩුස් නොයෑම, ශීතල, උණුසුම ආදී හේතු නිසාද දරුවන් හඬනවා.

මවුකිරි බී නිදා ගැනීමද දරුවාට අනුව සහ බාහිර පරිසරය අනුවත් වෙනස් වෙනවා. එබැවින් එය කිරි බීම පිළිබඳ තක්සේරුවකට එළඹීමට තරම් සාධාරණ හේතුවක් නොවෙයි.

කෙසේ වෙතත් දරුවාට අඛණ්ඩව මව් කිරි ලබා දීමේදී මීට අමතරව වෙනත් යම් යම් ප්‍රායෝගික ගැටලුද පැන නගින බව නොරහසක්. අපි ඒ පිළිබඳව ඉදිරි සතිවලදි සවිස්තරාත්මකව කතා බහ කරමු.

නිලුක්ෂි තිලකසිරි

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>