TT Ads

මගේ බබා Normal ලැබෙයිද? සීසර් කරයිද? එහෙමනම් ඇයි සීසර් කරන්නේ. ලේබර් රූම් එකට දැම්මාම මොනවාද කරන්නේ? අනේ මේ මගේ පළවෙනි බබා. මට නම් මුකුත් හිතා ගන්න බෑ. ඔහොම දරු උපතට සූදානම් වෙන අම්මලාගේ හිත්වලට ඔය වගේ දහසකුත් එකක් ප්‍රශ්න ගැටලු ඇතුළු වෙන එක සාමාන්‍ය දෙයක්.
ඔය විදියේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඒ පිළිබඳව හරිහැටි දැනුමක් නැති උදවිය නම් ඕනෑ තරම් ඉන්නවා. ගොඩක් වෙලාවට ඒ ගැබිනි මවගේ අසල්වැසියන් සහ නෑදෑ හිතවතුන් වෙන්න පුළුවන්. නමුත් මේ වගේ මව්වරු අතර රෝහල් ගැනත් විවිධ මත අද වන විට ගොඩනැගිලා තියෙනවා. මේ හැම කාරණයක්ම ගැන හිතලා, දරු උපතට රෝහල් ගතවුණු මොහොතේ සිට රෝහලෙන් පිටව යනකල්ම ඔබ වෙනුවෙන් සිදු කරන පිළිවෙත් ගැන විස්තර කරන්න ඕනෑ කියලා මම හිතුවා.

රෝහල කියන්නේ ඔබේම තැනක්. ඒ නිසා රෝහලට ඇතුළත් වෙන්න බය වෙන්න එපා. මුලින්ම පූර්ව ප්‍රසව වාට්ටුවට තමයි දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් ඇතුළත් කර ගන්නේ. එතනදී ඔබ වෙනුවෙන් කෙරෙන කටයුතු වෙනුවෙන් ඔබගේ සහාය ලබා දිය යුතුවීමත් අනිවාර්යයි. උස බර මැන බලා, මුත්‍රා පරීක්ෂණයක් සිදු කරන අතරම ඔබ පැමිණි විගසම වාට්ටුවේදී සිදු කරන්නේ වෛද්‍යවරු කුස තුළ සිටින දරුවාගේ තත්ත්වය පරීක්ෂා කර බැලීමයි. එය ඔබගේ උදරය මත තැබූ නළාවකින් හෝ යම් උපකරණයක් මගින් සිදු කරනවා. එවිට බබාගේ හදවත ගැහෙන හඬ අසන්නට පුළුවන්. ඒ හඬ අනුවත් රෝහලේදී වෛද්‍යවරු ගන්නා තීරණ වෙනස් වෙනවා.

මීළඟට ඔබ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරනවා. එය වාට්ටුවේ ඉන්න නේවාසික වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය මගින් සිදු කරන අතර එහිදී ඔබගේ පෞද්ගලික විස්තර ලබා ගැනීමක් සිදුකරනවා. ඒ කියන්නේ ඔබේ නම, ගම, රැකියාව, ආදායම් මාර්ගය, ආදායම, සමාජ වටපිටාව ගෙදර ඉන්න අය කවුද? වගේ පෞද්ගලික තොරතුරුයි. ඊළඟට මේ ඔබේ කී වෙනි බබාද, සති කීයද? කලින් බබාලා ගැන විස්තර, පෙර කළ ශල්‍යකර්ම ගැන විස්තර වගේ දේවල් ලබා ගන්නවා. මේ ඉතිහාසය ගැනීම ඔබ පිළිබඳ ඊළඟ පියවර සඳහා වැදගත් වන නිසා නිවැරදි තොරතුරු ලබා දීම මෙන්ම අදාළ වෛද්‍ය වාර්තා ආදිය ළඟ තබා ගැනීමත් ඔබේ වගකීමක්. මෙවැනි පරීක්ෂාවට ලක්කළ ඔබව මීළඟට ශාරීරික පරීක්ෂණයකට ලක් කරනවා,
ඔන්න ඒක තමයි ගොඩක් වෙලාවට ඔබ අකමැතිම අවස්ථාව. ඒ නිසා මම බොහොම සරලව කියල දෙන්නම් මොනවද මේ පරීක්ෂා කරන්නේ කියලා. ඔබේ හිසේ සිට පාදාන්තය දක්වාම හොඳින් නිරීක්ෂණය කරන අතර, උදර පරීක්ෂණයට මද වේලාවක් ගත කරනවා. මුලින්ම ඔබේ උදරය අතින් බලා පරීක්ෂා කරන අතර එහිදී උදරයේ හඬයි, ශල්‍ය කැපුම්, සමේ නිරෝගී බව ආදී කාරණා සැලකිල්ලට ගන්නවා. මී ළඟට ටේප් පටියක් තබා ඔබේ උදරය මැන බලනවා. එමගින් දරුවාගේ වර්ධනය ගැන තක්සේරුවක් ලබා ගන්නවා. දින ගානට අනුව බබා හැදිලද කියලා අදහසක් එහිදී ගන්න පුළුවන්. ඉන්පසුව උදරය අතගාලා බලනවා බබාගේ පිට තියෙන්නේ මොන පැත්තටද කියලා. ඊළඟට යටි බඩ හරියෙන් ටිකක් තදට අල්ලලා බලනවා. ඒ බබාගේ මොන කොටසද ප්‍රමුඛ වෙලා තියෙන්නේ කියලා දැන ගන්නයි. ඒ කියන්නේ බබාගේ තට්ටමද තියෙන්නේ හිසද තියෙන්නේ කියලා තේරුම් ගන්න. බබා තට්ටමෙන්ලු ඉන්නේ? මොකක්ද මේ කතාවේ තේරුම. බබා තට්ටමෙන් ඉන්නවා කියලා කියන්නේ බබාගේ පිහිටීම. සාමාන්‍ය දරුවෙක් මවගේ උපත් මාර්ගය හරහා සාමාන්‍ය විදියට බිහිවෙද්දී හිස තමයි මුලින්ම එන්නේ. හැබැයි මෙතනදී හිස වෙනුවට මුලින්ම බිහි වෙන්නේ තට්ටම. මේ ගැන රෝහලේ සූතිකා පුහුණුව ලබපු කාර්ය මණ්ඩලයට හොඳ අවබෝධයක් තිබෙනවා. එම නිසා ඒ කුමන තත්ත්වයකදී වූවත් රෝහලේදී මවත් දරුවාත් සුරක්ෂිතයි. ඒ සඳහා ඔබගේ සහය අත්‍යවශ්‍ය වෙනවා.

මී ළඟට ඔබගේ උපත් මාර්ගය පරීක්ෂාවට ලක් කරනවා. මම දන්නවා ඔබ මේ පරීක්ෂණයට නම් කැමතිම නැහැ. නමුත් ඔබ දන්නවානම් එහි වැදගත්කම කිසි විටකත් මේ පරීක්ෂණයට බාධා කරන්නේ නැහැ. එහිදී ඇඟිලි දෙකක ආධාරයෙන් උපත් මාර්ගය පරීක්ෂාවට ලක් කරනවා. උපත් මාර්ගය සාමාන්‍ය දරු ප්‍රසූතියකට සුදුසුද? එසේ නම් දැන් ප්‍රසවය කුමන අවස්ථාවේද යන කාරණා මෙන්ම දරුවා පිළිබඳවත් යම් තක්සේරුවක් එමගින් ලබා ගත හැකියි. ඉන් පසුව ඔබගේ ප්‍රසවය සිදු විය යුතු ආකාරය ගැන තීරණයකට එළඹෙනවා.
සාමාන්‍ය ආකාරයට ප්‍රසවය සිදු කිරීමට නම් ඔබ සූතිකාගාරය වෙත යොමු කරනවා. නමුත් සූතිකාගාරයට යන සියලු මව්වරු යෝනි ප්‍රසව සිදු කරන්නේ නෑ. මවගේ හෝ දරුවාගේ යම් හදිසි තත්ත්වයක් මතු වුවහොත් සූතිකාගාරයේ සිටත් සීසර් ශල්‍යකර්මය සඳහා යොමු කරවන අවවස්ථා තිබෙනවා. නමුත් ඒ සම්බන්ධව ඔබ බිය විය යුතු නැහැ. අවශ්‍ය වන්නේ සිදුවන කාරණය පිළිබඳව ඔබ තුළ තිබෙන දැනුමයි.

සූතිකාගාරයට යන ඔබට පෙර සූදානමක් අවශ්‍යයි. දරුවා ලැබීම රෝගයක් නොවන නිසා ඔබට තනිව සූදානම් විය හැකියි. හදිසි තත්ත්වයක් නොවේ නම් ප්‍රසවය ආරම්භ වීමේ ලක්ෂණ මතු වූ පසුව යෝනි පරීක්ෂණයකින් ප්‍රසවයේ අවස්ථාව තහවුරු කර ගත් පසු ඔබව සූතිකාගාරය වෙත යොමු කරනවා.

ලබන සතියේ අපි සූතිකාගාරය ගැන කතා කරමු.

නිලුක්ෂි තිලකසිරි
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී
අනුරාධපුර ශික්ෂණ රෝහල
රූපවාහිනී/ගුවන්විදුලි සම්පත් දායිකා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>