TT Ads

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ දැනුවත් කිරීමක්

මේ දිනවල අප රටට බලපා තිබෙන අධික හිරු රශ්මිය හේතු කර ගෙන මිනිසුන්ට සිදු විය හැකි ආපදාවන් ගැන සේම ඒවායින් මිදීම සඳහා අනුගමනය කළ යුතු නිර්දේශයන්ද, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේ.
විශේෂයෙන්ම කිව යුත්තේ මේ අධික හිරු රශ්මිය නිරෝගී අයට සේම දැනටමත් කිසියම් රෝගාබාධවලින් පීඩාවිඳින අයටද එකසේම අහිතකර බලපෑම් ඇති කළ හැකි බවය. විශේෂ අවදානම් කණ්ඩායම් ලෙස කුඩා දරුවන්, වයෝවෘද්ධ අය, දීර්ඝ කාලීනව පෙණහලු ආබාධ සහ නිදන්ගත රෝග වලින් පෙළෙන්නන් එළිමහනේ සිය සේවාවල යෙදෙන අය හඳුන්වා දී තිබේ. මේ අධික හිරු රශ්මියට දිගු කාලයක් නිරාවරණය වීමෙන් සම රතුවීම්. බිබිලි මතුවීම්, තද හිසරදය, ක්ලාන්ත ගති සිහිමූර්ඡා වීම් (Heat Stroke) අධික ලෙස මස්පිඩු පෙරළීම් (Heat Cramps) සේම අධික ලෙස දහදිය පිටවී මරණය පවා සිදුවිය හැකි බවද සමාජය දැනුවත් විය යුතුව තිබේ.
සැර අධික හිරු එළියේ ගත කළ කෙනෙකු සිහිමුර්ඡාව වූ විටෙක ජලය පෙවීමට උත්සාහ කිරීමෙන් වළකින්න. ජලය මුහුණේ, සිරුරේ අතපයේ ගාන්න. එසේම ඇඳ සිටින ඇඳුම් ලිහිල් කර සෙවණ, හොඳ වාතාශ්‍රය තිබෙන තැනකට රැගෙන යන්න. සිහිය තිබෙන විටෙක නම් ජලය ස්වල්පයක් බීමට දෙන්න. එසේම මස් පිඬු පෙරළුන විටෙක ලුණු ද්‍රාවණ බීමට දීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. එය කෙසේවත් සුදුසු ක්‍රියාවක් නොවේ. ජලය බීමට දෙන්න. හුස්ම ගැනීමේ අපහසුතා, හිසරදය තිබේ නම් ඉක්මනින්ම වෛද්‍යවරයෙකු වෙත හෝ රෝහලක් වෙත රැගෙන යන්න.

ඉතාම තදබල ලෙස හිරු රශ්මිය පවතින්නේ උදේ 11 සවස 3.30 පමණ අතරතුරේදීය. මේ කාල පරාසය තුළ එළිමහනට යෑම හැකි තරම් අඩු කරන්න. එසේ යන විටෙක වුව වට ප්‍රමාණය වැඩි පන් තොප්පියක්, කුඩයක් රැගෙන යන්න. පිපාසයට අධික ලෙස සීනි යෙදූ පාන වර්ග බීමෙන් වළකින්න. එවිට පිපාසය තවත් වැඩි වී ඔබ නොසිතන ගැටලුකාරී තත්ත්වයකට පත්වීමට ඉඩ තිබේ. හැකි තරම් ජලය පානය කරන්න. පිපාසය දැනෙන තුරු නොසිට විනාඩි 20කට පමණ වරක් වතුර, උගුරු 7-8ක් වත් බොන්න. සිරුරේ, මුහුණේ අතපයේ වතුර ගා ගන්න. හැකි තරම් ළා පාටට හුරු ඇඳුම් වලින් සැරසීම මේ කාලයට ගැළපේ. එසේම ඇඟට තද නොවුණු ලිහිල් විලාසිතා වලින් සැරසෙන්න. තද හිරු රැසින් ඇස් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රමිතියෙන් යුතු අව් කණ්ණාඩියක් පැළඳීමට හැකි නම් හොඳය. දවසට කීප වරක් සිසිල් ජලයෙන් ඇඟපත සෝදා ගත හැකි නම් සහනයක් ලද හැකිය. ඒ සෑම වාරයකදීම සබන් පාවිච්චිය අවශ්‍ය නැත. ජලයෙන් සේදීම පමණක් ප්‍රමාණවත්ය. මේ දිනවල කුඩා දරුවන් එළිමහනේ ක්‍රීඩාවල යෙදීමෙන් වළක්වන්න. විශේෂයෙන් අධික හිරු රශ්මිය පවතින කාලය තුළ කය වෙහෙසා එළිමහනේ කරන කටයුතු වලින් ඈත් වන්න.

එළිමහනේ වැඩ කරන අය හැකි තරම් ඇඟපත වැසෙන ආකාරයේ ඇඳුම් වලින් සැරසීම වඩාත් යෝග්‍ය වෙයි. එසේම වට ප්‍රමාණය වැඩි තොප්පි පැළඳීම හෝ හිස් වැසෙන සේ ආවරණයක් පැළඳීමට ද උපදෙස් දෙයි. උදේ 11 සවස 3.30ත් අතර අව්වට යන්නේ නම් විශේෂයෙන් ප්‍රවේසම් වන්න. හිරු රශ්මිය දැඩිවීමට පෙර වැඩ කටයුතු ආරම්භ කිරීම සහ හිරු රශ්මිය අඩුවන සවස් යාමයේ වැඩ කටයුතු යොදා ගැනීම වඩාත් යෝග්‍ය වෙයි. හොඳින් සුළං ධාරා එන වාත්‍රාශය යහමින් තිබෙන තැනක ස්ථානගත වන්න. විදුලි පංකා, වායුසමීකරණ හරහා වුව අවට වාතය සිසිල් කර ගැනීම යෝග්‍ය වෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේපාරිසරික සහ වෘත්තීය
සෞඛ්‍ය ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ
ඉනෝකා සුරවීර
අවධාරණය කරයි

නිර්මලා කුමාරි සේනාරත්න

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>