TT Ads

 

ඉවසීම ගැන අපි එදිනෙදා ජීවිතය ගැන කොතෙක් කතා කළත් ඉවසීම නිකන්ම කළ හැකි දෙයකුත් නොවේ. එයද පුහුණු කළ යුතුය. මේ සම්බන්ධයෙන් අද ඔබේ අවධානය යොමු කරවන්නේ බාහිරින් පැමිණෙන විවිධ කායික පීඩා සහ කරදර ඉවසීමට පුහුණු වන ආකාරය පිළිබඳවයි.බාහිරින් එන කරදර අතර අනුන්ගෙන් එල්ලවන චෝදනා බැණුම්, නින්දා අපහාස මුල් තැනක් ගනී. “කිඹුලා කනවා ඉවසන්න පුළුවන්. කොහිල කටු ඇනෙනවා ඉවසන්න බෑ” යනුවෙන් පැරණි පිරුළක් තිබේ. අපේ ශරීරයට විශාල හානියක් වන දෙයක් ඉවසුවත් ඉහත කී පරිදි අපේ මනසට විශාල වශයෙන් හානිකර දෙයක් වන නින්දා, අපහාස, චෝදනා, බැණුම් ආදිය ඉවසීම හරිම අමාරුය. නමුත් මේවා අත් නොවිඳි කිසිදු මනුෂ්‍යයෙක් මේ මිහිපිට නොමැත. සමහර විට මේ නින්දා අපහාස පදනමක් නැති ඒවාය. පදනමක් ඇතිව නින්දා අපහාස, ඇනුම් බැණුම් එල්ල වන විට එහි සාධාරණත්වයක් ඇතැයි සිතා හෝ සිතට දැනෙන ආවේගය අඩු කර ගැනීමට යම් උත්සාහයක් දැරිය හැකිය. නමුත් නිරපරාදේ ඔබට එවැනි චෝදනාවක්, නින්දාවක් එල්ල වන්නේ නම් එය ඔබට කොතෙක් දුරට ඉවසා සිටීමට හැකිවෙයිද? මඳකට මේ ගැන අවධානය යොමු කරමු.
“මම කරපු වරදක් හින්දා මෙහෙම fදාස් අහන්න වෙනව නම් ඉවසන්න පුළුවන්. ඒත් නොකරපු දෙයක් කොහොම දරා ගන්නද?” යැයි මෙහිදී ඔබ පවසනු නොඅනුමානය.
ඔබ කළ වරදකට ඔබට චෝදනා එල්ල වන විට ඉවසා සිටීම හොඳය. එය කළ යුතු දෙයකි. මන්ද, ඉවසීම පුරුදු වීමේදී එයද වැදගත් වන නිසාය. නමුත් සැබෑවටම ඉවසීම පුරුදු කිරීමේදී ඔබ නොකළ වරදකදී එල්ල වන චෝදනා නින්දා අපහාස ඉවසා සිටීමට හුරුවීම ඉතා වැදගත් වේ. මෙහිදී ඔබ නොකළ දෙයක් නම් එයට ඔබ වග කිව යුතු නැතැයි සිතා ඉවසා සිටීම, ඔබේ නිර්දෝෂීභාවය වෙනුවෙන් ආවේගශීලී නොවි කරුණු ඉදිරිපත් කිරීමට හැකි නම් එසේ කිරීම වැනි දෙයක් ඔබට කළ හැකිය. කෙසේ වුවද සරලව සිතිය යුත්තේ ඔබ නොකළ දෙයක් නම් කවුරු මොනවා කීවත් එය ඔබට අයත් නැති සහ ඔබ වග කිව යුතු නැති දෙයක් බවය. මෙසේ සිතන්නට පෙළඹෙන විට ඔබ තුළ ආවේගශීලී ගති පහ වී යයි. දිගින් දිගටම මෙය පුහුණු කරන්න. එවිට එවැනි අවස්ථාවලදි නොකිපී හිඳින්නට ඉබේම ඔබට හැකි වනු ඇත.
ඉවසීම තව තවත් ගැඹුරට පුහුණු කරගෙන යනවිට ශරීරය තුළින්ම උපදින කටුක කායික වේදනාවන් ඔබට දරා ගන්නට සිදු වෙයි. කායික වේදනා අත් වන්නේ පෘථග්ජන අපට පමණක් නොවේ. මහරහත් වහන්සේලාට මෙන්ම බුදුරජාණන් වහන්සේටද මෙය පොදු විය. හේතුව මේ සෑම දෙනාටම තිබෙන්නේ මස්, ලේ, ඇටවලින් සෑදුනු සිරුරකි. ඉවසීම පුරුදු කර ගෙන යන ිවිට අපේ ශරීරයට දැනෙන මාරාන්තික වේදනාවකදී අපේ මනස ඒ හා ගැටීමෙන් වළකා ගැනීමට අපට හැකියාව ලැබේ. කායික වේදනාව සමග මනස ගැටුණොත් අපේ සිත්හි තරහ දුක කලකිරීම වැනි හැඟීම් සමුදායක් ඇති වෙයි. නමුත් එය කයට දැනුණු වේදනාවක් බව හඳුනා ගෙන එය මනසින් ග්‍රහණය කර නොගන්නා විට මස්, ලේ ඇටවලින් සැදි සිරුරට කායික වේදනා යනු අතිශයින්ම සාමාන්‍ය දෙයක් බව සිතන්නට ඔබේ මනස හුරු වෙයි. එවිට කයට දැනෙන වේදනා සමග මනස නොගැටී හිඳිනු ඇත.
මෙය කොතරම් දුරට ප්‍රායෝගිකද යන්න ඔබට සිතෙන්නට පුළුවන. එය සත්‍යයකි. තදබල ඉවසීමක් සාමාන්‍ය කෙනෙකුට කිරීම ඉතා අසීරුය. නමුත් කෙලෙස් නසන්නට නම් ඉවසීම පුරුදු කළ යුතුමය. ඉවසීමට නොහැකි විට අප බොහෝ විට උත්සාහ දරන්නේ පලා යෑමටය. එම ගැටලුවෙන් පලා යන්නට හෝ සැඟවෙන්නට උත්සාහ දරන්නේ ඒවා දරා ගැනීමට හැකි ලෙස මනස පුහුණු කර නැති නිසාය.
බොහෝ දෙනෙක් මේ ආත්මයේදීම නිවන් දකින්නට සිතන්නේවත් නැත. තව ආත්ම ගණනක් මනුෂ්‍ය ලෝකයේ මෙන්ම දිව්‍ය ලෝකවලද සැරිසරා අවසානයේ මතු බුද්ධත්වයට පත්වන මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීම බොහෝ දෙනාගේ කැමැත්තය. නමුත් මෛත්‍රී බුදුන් පහළ වන තුරු මේ සංසාරයේ තව කොපමණ භවයන් සංඛ්‍යාවක සැරි සරන්නට සිදු වෙයිද? ඒ භවයන් සුගතිගාමී වුවහොත් හොඳය. නමුත් අපට ඒ අති දීර්ඝ වූ කල්ප ගණනක් පුරා මොන මොන භවයන්හි උපත ලබන්නට සිදු වේදැයි කාට නම් කිව හැකිද?
බුද්ධ දේශනාව වන්නේ හිස ගිනිගත් අයකු එම ගින්න නිවා ගැනීමට ක්‍රියා කරන්නේ යම් සේද, අප්‍රමාදවම කෙලෙස් ප්‍රහීන කිරීම පිණිස උත්සාහ කළ යුතුය. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් තිබේ. හිස ගිනි ගත් අයකු දඟලන්නට පටන්ගත්තොත් ගින්න තව තවත් ඇවිළී යාම සිදුවේ. ඒ නිසා ගින්න නිවා ගැනීමට වහා ක්‍රියාත්මක විය යුත්තේ කළ යුතු සහ නොකළ යුතුදේ හරිහැටි හඳුනා ගෙනය.
එනිසා තමන් වෙත එළඹෙන දුක් කරදරවලදී කලබල නොවී සිටීමට මුලින්ම පුහුණු විය යුතුය. එය පළමු පියවරයි. එය හරිහැටි පුහුණු නොකර ඊළඟ පියවර වෙත යා හැකි නොවේ.
ඊළඟ පියවර නම් එම ගැටලු සහගත අවස්ථාවේදී කළ යුතු දෙය නිවැරදිව වටහා ගෙන වහා ක්‍රියාත්මක වීමය. එළඹ තිබෙන අර්බුදයට හෝ ගැටලුවට එරෙහි නොවී එය මැදහත් සිතින් දරා ගැනීමට පුරුදු පුහුණු වුණොත් මේ කෙලෙස් මතු වුණේ කොහෙන්ද, කොහොමද, කොතැනින්ද යන්න ඔබට හඳුනා ගැනීමට හැකි වෙයි. එනිසා කෙලෙස් නසන්නට අවශ්‍ය නම් ඒ සඳහා ඔබ උත්සාහයකුත් දරනවා නම් එම උත්සාහයේ නිසි ප්‍රතිඵල ලබා ගැනීමට ඔබ වෙත පැමිණෙන කායික හා මානසික පීඩා දරා ගැනීමට හැකි අන්දමට ඉවසීම පුරුදු පුහුණු කළ යුතුය.මෙය මානසිකව මෙන්ම කායිකවත් පුහුණු කළ යුතු වෙයි. එවිට දරා ගැනීමට ඉතා අපහසු තීව්ර මානසික වේදනාවන් සේම දැඩි කායික වේදනාවන්ද සමනය කර ගැනීමට මනස ක්‍රමයෙන් හුරු වනු ඇත.

කරන්දෙනියේ උණසේවෙල සිරි නිවේසාරාමාධිපති ශාස්ත්‍රපති

පූජ්‍ය පිටිගල ධම්මවිනීත හිමිපාණෝ

සැකසුම – ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>