TT Ads

විවාහය කියන්නෙ කාන්තාවකගේ නැවත ඉපදීමක් වගේ. මොකද විවාහයත් සමග ඇය අලුත් ජීවිතයක් ආරම්භ කරනවා. ඒ විදියට අරඹන ජීවිතයට නියම අරුත අරගෙන එන්නේ ඇය මවක් වීමේ පෙරනිමිති පහළ වීමත් සමගයි.

සමහර කාන්තාවන්ගේ විවාහයත් සමගම ඒ ආදරණීය තිලිණය ඔවුන්ට ලැබෙන්නේ සියලු පැතුමන් ඉටුකරමිනුයි. ඒත් සමහරෙකුට ඒ කිරි සිහිනය සිහිනයක්ම පමණක් වන්නේ ජීවිත කාලයම බලාපොරොත්තු පෙරදැරිව මඟබලා හිඳීමේ අවස්ථාවට පාර කපමින්. එවන් අත්දැකීමකට මුහුණ දුන් බිරින්දෑවරුන් පමණක් නොව සැමියන් ද පසුවන්නේ සතුටින් පිරි ජීවිත නම් නොවෙයි. ගතවෙන හැම නිමේෂයක්ම ඔවුන් ගෙවා දමන්නේ තමන්ගෙන් දුරට ගිය කිරි සිනහව පිළිබඳව සිහින මවමින්.

එවන් පිරිසක් දරුවන් නොමැතිව සුසුමන් හෙළද්දී ඇතැමෙක් තම කුස පිළිසිඳ ගත් දරු කළලය විනාශ කර දමන්නේ සිත්පිත් නොමැති අයුරිනි. ඇතැම් අය දරු ඵල පමා කරන්නට නොයෙක් ක්‍රමෝපායන් සොයමින් වෙහෙසෙන අවස්ථාද තිබෙනවා. කෙසේ හෝ මවක් වන්නට පෙරුම් පුරන කාන්තාවන් වෙනුවෙන් අද අපි කතා කරන්නට හිතුවා.

නිසි කළ විවාහයට….

වයස අවුරුදු 25ක් වන විටවත් තරුණියක විවාහ දිවියට ඇතුළත් වන්නට හිතනවා නම් හොඳයි. මොකද දරුවෙකු බිහිකිරීමට හොඳම වයස ලෙස සැලකෙන්නේ 25ත් 30ත් අතර කාලයයි. වයස අවුරුදු 18ට අඩු 35ට වැඩි කාන්තාවන් දරු පිළිසිඳ ගැනීමෙන් සිදුවෙන සංකුලතා වැඩි බව වෛද්‍ය විද්‍යාත්මකව හඳුනාගෙන තිබෙනවා. නමුත් 35ට වැඩි කාන්තාවන්ට නිසි වෛද්‍ය අධීක්‍ෂණයන්ට යටත්ව දරු සුරතල් බලන්නට පුළුවන්. එහෙම වුණත් 18ට අඩු යුවතියන් මවුවරුන් බවට පත්වීම නම් අනුමත කරන්නට බැහැ. මොකද ඒ වන විට ඔවුන් මවක් වීමට අවශ්‍ය සුදුසුකම් සපුරාගෙන නොතිබෙන නිසා.

18ට අඩු නම් මවක් වෙන්න බැරි ද?

සාමාන්‍යයෙන් යුවතියක මල්වර වීමත් සමගින් ඇය මවක වීමට අවැසි යෝග්‍යතාව ලබාගත්තත්, එතරම් ළාබාල වයසකදී මානසිකව මෙන්ම ශාරීරිකව ද ඇය මවක වීමට අවැසි සූදානම ලබාගෙන නැහැ. එවන් වයසක යුවතියකට දරුවෙකු හදා වඩා ගැනීමට මෙන්ම දරුවෙකු පිළිසිඳ ගැනීමට හෝ බිහිකිරීමට සුදුසු තත්ත්වයක නැති නිසා එවන් අඩු වයසකදී දරුවන් බිහිකිරීම කිසිසේත් සුදුසු යැයි අනුමත කරන්නට බැහැ.
ඇත්තටම එවන් වයසකදී ඇතිවිය හැකි සංකුලතා බොහොමයි. අවදානම වැඩියි. ඒ නිසා දරුවෙකු බිහිකිරීමට සිතනවා නම් වයස 18 පසුවෙන තුරුවත් ඉවසන්නට වෙනවා.

35ට වැඩි නම් ….

35ට වඩා වැඩි වයසක පසුවෙන මවක දරු ප්‍රසූතියකට සූදානම් වීම අවදානම් තත්ත්වයකට මුහුණ දීමට හේතුවක්. ඒ අවුරුදු 35 පසුකරනවාත් එක්කම කාන්තාවන් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වීමට පවතින ඉඩකඩ වැඩිනිසා. ඒ අතර අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි සංකුලතා සුලභයි. එවන් තත්ත්වයකදී දරුවාගේ අසාමාන්‍ය තත්ත්වයක් ඇතිවෙන්නට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා වයස අවුරුදු 35ට වැඩි අම්මලා දරු ප්‍රසූතියකට සූදානම් වෙද්දි වෛද්‍යවරුන් වෙතින් ඒ පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමුකරන්නට වග බලා ගන්නවා නම් හොඳයි.

නිසි කලදී දරුඵල ලබන්නට නම් …

කාන්තාවක විවාහයෙන් පසුව ලිංගික සබඳතා පැවැත්වීම ඔසප් චක්‍රයට අනුව තීරණය කරනවා නම්, එය නිසි කල දරුඵල ලබන්නට හේතුවක්. සැබැවින්ම දින 28කට වරක් ඔසප් චක්‍රය සිදුවෙන කාන්තාවකට දරුවෙකු ලැබීමට සුදුසුම කාලය වෙන්නේ ඔසප් ඇරඹීමෙන් පසුව එළඹෙන 12වන දිනයයි. එදිනට ලිංගික සබඳතා පැවැත්වීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල කරා ළඟාවීමට තිබෙන ඉඩකඩ වැඩියි. එයට හේතුව වන්නේ ඩිම්බ කෝෂයෙන් මේරූ ඩිම්බයක් පිටවී එළියට පැමිණෙන්නේ දින 12-14ත් අතර කාලයේදී වන බැවිනුයි. මේ කාලයේදී ඩිම්බ කෝෂයේ සිට උදර කුහරයට ගමන් කරනා ඩිම්බය පැය 48ක කාලයක් සජීවීව පවතිනවා. ඒ නිසා මෙම කාලයේදී අඹු සැමි සබඳතා පැවැත්වීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල නෙළා ගැනීමට හැකියාව තිබෙනවා.

සරු කාලය හඳුනාගන්නේ කොහොමද ?…

සාමාන්‍යයෙන් ඩිම්බයක් පිටවීමෙන් පසුව පැය 48ක් සජීවීව පවතිනවා සේම පිරිමි ශුක්‍රාණුවක් එළියට පැමිණීමෙන් පසුව පැය 72ක් නොනැසී පවතිනවා. මාසෙට දින 30ක් තිබුණත් සරු කාලය පවතින්නේ දින පහක් පමණයි. හැබැයි ඒ දින පහේදීම සබඳතා පවත්වනවාට වඩා දවසක් ඇර දවසක් සබඳතා පැවැත්වීම තමයි සාර්ථක ප්‍රතිඵල ලැබීමට හේතුවන්නේ.

ලිංගික ක්‍රියාවලියට පසුව….

බොහෝ අයෙකු ලිංගික ක්‍රියාවලියට පසුව කරනු ලබන වැරැදි පුරුද්දක් නිසා ඒ කිරි සිනහව ඔබෙන් ඈතට යන්නට ඉඩ තියෙනවා. ඒ ලිංගික ක්‍රියාවලිය අවසන් වීමත් සමඟින් නිදි යහනෙන් බිමට බසිනා කාන්තාව තම සිරුර පිරිසිදු කර ගැනීමට යොමු වීමයි. එසේ වීමෙන් ශරීරයට ඇතුළු වූ ශුක්‍රාණු නිසි පරිදි ඇතුළු වීමට තිබෙන හැකියාව අඩුවෙන්නට පුළුවන්. ඒ නිසා සංසර්ගයෙන් පසුව නිසොල්මනේ පැය බාගයක්වත් වැතිර සිටීම තමයි වඩාත්ම සුදුසුවන්නේ.

උසට සරිලන බර….

මවක් වන්නට සූදානම් වන කාන්තාවගේ උසට සරිලන බරක් තිබීමත් වැදගත්. ඒ අනුව ශරීර ස්කන්ධ දර්ශකය 18.5ට වැඩිවීම, අවශ්‍යම කාරණාවක් ලෙස දක්වන්නට පුළුවන්. ඒ වගේම ශරීර ස්කන්ධ දර්ශකය 25ට වඩා වැඩිවීමත් සුදුසු නැහැ. එසේ වීමට හේතුවන්නේ අධික බරකින් යුක්ත වීම ගර්භණී සමයේදී මෙන්ම ප්‍රසූතියේදී විවිධ සංකුලතා මතුවෙන්නට හේතුවක් වීමයි.

ඒ වගේම අධික බරක් ඇති කාන්තාවන්ගේ ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීම සාමාන්‍ය පරිදි සිදුවෙන්නේ නැහැ. එහෙම වුණොත් ගැබ් ගැනීම ප්‍රමාද වන්නට පුළුවන්. ගර්භණී වීමට බලාපොරොත්තු වෙන එවැනි බර අධික කාන්තාවන් ආහාර පාලනයට වගේම ව්‍යායාමයට යොමු වීමයි වඩාත් සුදුසු වන්නේ.

ෆෝලික් අම්ලය. සපිරි පෝෂ්‍යදායී ආහාර….

ගැබ් ගැනීමට බලාපොරොත්තුව සිටිනා කාන්තාවක් හැකිතාක් දුරට සමබල ආහාරයක් ගන්නත් හිතට ගන්නට වෙනවා. ඒ වගේම එය ස්වාභාවික ආහාරයක් වීම බෙහෙවින් වැදගත්. බාගෙට පිසින ලද මස් මාංශ බිත්තර ආහාරයට ගැනීම නම් කිසිසේත් සුදුසු නැහැ. මේ ආකාරයට පෝෂණීය ආහාර ලබාගන්නවා සේම ෆෝලික් අම්ලය ගැබ් ගැනීමක් ගැන සිතන්නට මාස තුනකට පෙර සිටවත් ලබාගැනීමට කාන්තාවන් මෙන්ම පුරුෂයන් ද සිතට ගැනීම අවශ්‍යමයි.
රුබෙල්ලා එන්නත ලබාගැනීමත් කාන්තා ඔබට බෙහෙවින් වැදගත්. එය ද විවාහයට පෙර ලබාගැනීමයි කළ යුත්තේ.

උපදෙස් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

කල්හාරි දසනායක

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>