TT Ads

තේ පිළියෙළ කිරීමේදී භාවිත කරන ආම්පන්න වල ස්වභාවයද තේ වල රසය එහා මෙහා වීමට හේතු වෙයි. තේ පිළියෙළ කිරීම සඳහා ප්ලාස්ටික් කෝප්ප භාවිතා කිරීම රසය වෙනස් වීමට මූලික හේතුවකි. තේ වතුර වලට අමුතු රසයක් එකතු වීම සේම තේ වලට ඔබ නොසිතන ආකාරයේ විස වර්ග එකතු වීමට ද එය හේතු වෙයි. කාලයක් තිස්සේ මේ ආකාරයට තේ පිළියෙළ කිරීම නිවසේ උදවිය භයංකර රෝග ආබාධ වලට අනියම් ආකාරයට ගොදුරු කරවන්නක්ද විය හැකිය

තේ පිළියෙළ කිරීම සඳහා වඩාත් උචිත වන්නේ පිඟන් මැටියෙන් පිළියෙළ කරන ලද මූඩිය සහිත පෝච්චියක් හෝ ජෝගුවකි. තේ කොළ දැමීමට පෙර මේ පෝච්චිය හෝ ජෝගුවට නටන උණු වතුර ටිකක් දමා වසා රත්කර ගන්න, ඉන්පසු ඒ වතුර ඉවත් කර තේ කොළ දමා අවශ්‍ය පමණට වතුර එකතු කර වසා තේ කොළ තැම්බීම සඳහා මිනිත්තු 3-4ක් තබන්න. මෙවැනි තේ පෝච්චියක තේ පිළියෙළ කිරීමෙන් තේවල උණුසුම සේම රසයද ආරක්ෂා වෙයි.

“කටේ තියන්න බැහැ කහට” සමහර විට කෙනෙකු කියනු ඔබ අසා ඇතිවාට සැක නැත. තේ කොළ නියම ප්‍රමාණයට දමන්නට නම් තේ හැන්දක් භාවිත කරන්න. ඔබ පිළියෙළ කරන්නට බලාපොරොත්තු වන තේ කෝප්ප ගණනට වඩා වැඩිපුර තේ හැඳි 1ක ප්‍රමාණයක් තේ කොළ හැටියට දැමිය යුතුය. එනම් තේ කෝප්ප පහක් හැඳීමට තේ කොළ තේ හැඳි 6ක් යොදන්න. එසේම තේ සඳහා වතුර යොදන විට කෝප්ප ගණනට වඩා වැඩිපුර කෝප්ප දෙකක් යොදන්න. එවිට තේ වල කහට නියම ප්‍රමාණයට ලැබෙනු ඇත. එසේම දියර කිරි වර්ග යොදන විට ඒවාද රත්කර යෙදීමට වග බලා ගන්න. සීනි යෙදීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. මෙකල බොහෝ දෙනෙකු දියවැඩියාව වැනි රෝග වලින් පෙළෙන නිසාම ඔවුන්ගෙන් විමසා සීනි දැමීම වඩාත් යෝග්‍ය ක්‍රමයයි. එසේ නොමැති නම් සීනි වෙනම බඳුනක තබා අවශ්‍ය ප්‍රමාණයට දමා ගැනීමට කුඩා තේ හැන්දක් සමග පිළිගැන්විය හැකිය.

සාදා ගත් තේ කෝප්පවලට දැමීමට පෙර ඒවාද තද උණුසුම් වතුර ටික ටික දමා කෝප්ප රත්කර ගන්න. තේ වල උණුසුම හොඳින් රැඳී පැවැතීමට එය උදව්වේවි. එසේම තේ ටික හැදූ විගසම ඉක්මනින් පිළිගන්වන්න. තේ පානයට පෙර කිසියම් රස කැවිල්ලක් ලබා දෙන්නේ නම් ඒවා ආහාරයට ගන්නා අතරතුර තේ ටික පිළියෙළ කරගන්න. තේ ද ඒවා සමගම පිළිගැන්වීමේදී කෑම කා අවසන් වන විට තේ ටික හොඳ හැටි නිවී තිබීම නිසා තේවල රසය නැති වී යනු ඇත.

අප නිතරම සාදා ගන්නේ කහට තේ හෝ කිරි තේ ආකාරයට පමණි. තේවලට කිරි සහ සීනි යෙදීමෙන් තේවල අඩංගු වන ගුණ බොහොමයක් වැනසී යන බව මේ පිළිබඳ කරන ලද පර්යේෂණවලදී තිබේ. තේවල නියම ගුණ ලැබීමට නම් වැඩි කහට තේ ප්‍රමාණක් කිසිවක් මුසු නොකොට පානය කළ යුතුය.
තේ වලට කුරුඳු කුඩු ටිකක් හෝ කුරුඳු පොතු කැබැල්ලක් එකතු කළ විට “කුරුඳු තේ” පිළියෙළ කරගත හැකිය. එසේම කුරුඳු තේ පානය දියවැඩියා රෝගීන්ට ගුණ දෙන්නකි.

එසේම තේ වලට දෙහි බිංදු කීපයක් දමා “දෙහි තේ” එකක් පිළියෙළ කිරීමද නවමු අත්දැකීමක් විය හැකිය. ඉඟුරු කැබැල්ලක් තලා දමා සාදා ගන්නා ඉඟුරු තේ පානයද අප අතර ඉතාම ජනප්‍රියය. එසේම පිළියෙළ කරගත් කහට තේ වලට අයිස් කැට දමා, සිසිලසට පිළිගැන්වීමටද පිළිවන.

රුසියන් ජාතිකයන් තේ පානය කරන්නේ මී පැණි හෝ දෙහි යුෂ ටිකක් දමාගෙනය. කිරි සහ සීනි යෙදීම හැකි තරම් අඩු කරමින් තේ පානයට හුරු වීමෙන් තේ වල අන්තර්ගතයැයි සැලකෙන හෘද රෝග අවම කිරීමේ ගුණ, වයස් ගත වීම අඩු කරන ගුණය, දියවැඩියාව වැනි රෝග වලට ගොදුරුවීම අවම කිරීමේ ගුණ වැනි වාසි ඔබට අත්විඳීමට ලැබෙනු ඇත. එසේම තේවල නියම ඖෂධීය ගුණ ලබා ගැනීමට නම් තේ සෑදීමේදී තේ කොළ ද වතුර සමග ළිප තබා තැම්බීම නොකළ යුතුය. තේ කොළ බඳුනකට දමා නටන වතුර වත් කොට තැම්බෙන්නට වසා තැබීම නිවැරදි ක්‍රමයකි. එසේම තේ පිළියෙළ කිරීමේදී භාවිත කළ යුත්තේ හුමාලය පිටවෙමින් හොඳින් නටන ජලයයි. ජලයේ උෂ්ණත්වය අඩු වීමද තේ වල නියම රස ඉස්මතු නොවීමට හේතුවක් වෙයි.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයට
අපගේ ස්තුතිය

නිර්මලා කුමාරි සේනාරත්න

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>