TT Ads

 

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් බාලසූරිය මහතා මිය ගියේය. කලක සිටම ඔහු වරින් වර රෝගාතුර වීම නිසා අනපේක්ෂිත ලෙස තමන් මිය ගියහොත් දැනට විශ්වවිද්‍යාල සහ පාසල් අධ්‍යාපනය ලබන දියණියන් දෙදෙනාත් බිරිඳත් අසරණ විය හැකි නිසා තම දේපළ ඔවුන්ට බෙදා දිය යුතු යැයි සිතූ බාලසූරිය මහතා දේපළ සම්බන්ධයෙන් අන්තිම කැමති පත්‍රයක් ලියා තැබීය.
බාලසූරිය මහතා මිය ගිය පසු ඔහුගේ බිරිඳ විශාල ගැටලු රැසකට මැදි විණි. තම සැමියාගේ බැංකු ගිණුමේ රුපියල් ලක්ෂ පනහකටත් වඩා වැඩි මුදලක් ඇති බව ඇය දනී. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ මුදල් ලබා ගැනීමට ඇයට අවශ්‍ය විය.
අවසානයේ නීතිඥ උපදෙස් මත බාලසූරිය මහත්මියට බූදල් නඩුවක් පැවැරීමට සිදුවිණි.

අපි මුලින්ම අන්තිම කැමති පත්‍රය යනු කුමක්දැයි සොයා බලමු

යම් තැනැත්තකු මිය යාමට පෙර තමන් සතු දේපළවල අයිතිවාසිකම අන් අයකුට ලබා දෙන ආකාරය පිළිබඳව සකස් කරනු ලබන ලේඛනය අන්තිම කැමති පත්‍රයයි. මෙය නොතාරිස්වරයකු ඉදිරියේ සිදු කරන්නක් නම් සාක්ෂිකරුවන් දෙදෙනෙකු අත්සන් තැබිය යුතු අතර නොතාරිස්වරයකු නොමැති නම් සාක්ෂිකරුවන් පස් දෙනකු ඉදිරියේ අන්තිම කැමති පත්‍රයේ අත්සන් තැබීම අවශ්‍ය වේ.
අන්තිම කැමති පත්‍රයක් ලියන්නේ කෙනකු ජීවත්ව සිටියදීය. එනිසා මුලින් අන්තිම කැමති පත්‍රයක් ලියූ කෙනකුට පසුව අවශ්‍ය නම් නැවතද අන්තිම කැමති පත්‍ර ලියා තැබීමට බාධාවක් නැත. මෙහිදී තමා කලින් ලියූ අන්තිම කැමති පත්‍රය හෝ පත්‍ර අවලංගු වන බවට ප්‍රකාශයක් අවසානයට ලියූ අන්තිම කැමති පත්‍රයෙහි ඇතුළත් කිරීම සාමාන්‍යයෙන් සිදු කළ යුතුය. එවැනි අවස්ථාවක වලංගු වන්නේ එම තැනැත්තා අවසානයට ලියූ අන්තිම කැමති පත්‍රයයි.
මෙසේ යම් කෙනෙකුට අන්තිම කැමති පත්‍රයක් ලිවීමට මෙන්ම එවැනි කිසිවක් නොලියා හිඳීමටද පුළුවන. එසේ නොලියා සිටි විටෙක ඔහුගේ නීත්‍යානුකූල උරුමකරුවන්ට එම දේපළ හිමි වනු ඇත.
අන්තිම කැමති පත්‍ර සහිත බූදල් නඩු සහ අන්තිම කැමති පත්‍ර රහිත බූදල් නඩු වශයෙන් මෙය දෙආකාරවේ.
අන්තිම කැමති පත්‍රයක් ලියා නොතබා දේපළ වෙන් කර දීමක්ද නැතිව කෙනකු මිය ගියහොත් මිය ගිය පුද්ගලයාගේ නීත්‍යානුකූල උරුමකරුවකුට ප්‍රදේශයේ සිවිල් අධිකරණයේ තෙස්තමේන්තු නඩුවක් පැවැරිය හැකිය. එම පෙත්සමේ පෙත්සම්කරු වීමට නීත්‍යානුකූල උරුමකරුවකුට හැකියාව ඇති අතර අනෙකුත් සියලුම උරුමකරුවන් එහි වගඋත්තරකරුවන් කළ යුතුවේ.
නිදසුනක් ලෙස මිය ගියේ විවාහක පුද්ගලයකු නම් ඔහුගේ/ඇගේ නීත්‍යානුකූල බිරිඳ/සැමියාට මෙහි පෙත්සම්කරු විය හැකිය. දරුවන් සිටින්නේ නම් ඔවුන් වගඋත්තරකරුවන් කළ යුතුය.
අන්තිම කැමති පත්‍රයක් මත බූදල් නඩුවක් පවරන විට එම අන්තිම කැමති පත්‍රය යම් අයකු භාරයේ තබා මිය ගියේ නම් එම පුද්ගලයාට එකී නඩුවේ පෙත්සම්කරු ලෙස ඉල්ලීමක් කළ හැකි අතර පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අන්තිම කැමති පත්‍රයේ සඳහන් දේපළ උරුමය ලබන තැනැත්තන් මෙන්ම, මිය ගිය අයගේ වෙනත් නීත්‍යානුකූල උරුමකරුවන් වෙතොත් ඒ අයද වගඋත්තරකරුවන් කළ යුතුය.
යම් හෙයකින් මිය ගිය අයගේ උරුමකරුවකු බාල වයස්කාර නම් ඒ අය වෙනුවෙන් නඩු භාරකරුවකු පත් කර බූදල් නඩුව පවත්වා ගෙන යා හැකිය. එසේ නඩු භාරකරු ලෙස පත් කරන තැනැත්තා වැඩිහිටි පුද්ගලයකු විය යුතුය.
එසේම එම තැනැත්තා සිහි විකල අයකු නොවීම, එකී දේපළට ප්‍රතිවිරුද්ධ අයිතියක් ඇත්තකු නොවීම යන කරුණුද මෙහි ලා වැදගත්ය.
මිය ගිය පුද්ගලයා මිය යන අවස්ථාව වන විට පැවති දේපළේ ස්වභාවය සහ වටිනාකම, නඩු පැවරීමේදී අදාළ වෙයි. අන්තිම කැමති පත්‍රයක් ඇත්නම් දේපළේ වටිනාකම අදාළ නොවන මුත් එකී අන්තිම කැමති පත්‍රය ඔප්පු කිරීම සඳහා අනිවාර්යයෙන්ම බූදල් නඩු පැවැරිය යුතුය. අන්තිම කැමති පත්‍රයක් නොමැත්තේ නම් දේපළවල වටිනාකම රුපියල් ලක්ෂ 40 කට වඩා වැඩි නම් එවිටද බූදල් නඩුවක් පැවැරිය යුතුය. දේපළවල වටිනාකම රුපියල් ලක්ෂ 40 කට වඩා අඩුනම් දේපළ උරුමක්කාර සහතික ලබා ගැනීමට ප්‍රදේශයේ දිසා අධිකරණයෙන් ඉල්ලීමක් කළ හැකිය.
මෙසේ බූදල් නඩුවක් පැවැරීමට යම් කාලයක්ද තිබේ
යම් තැනැත්තකු මිය ගිය දිනයේ සිට මාස 3ක් ඇතුළත බූදල් නඩුවක් පැවැරිය යුතුය.
අන්තිම කැමති පත්‍රයක් ඇත්තේ නම් අන්තිම කැමති පත්‍රය සොයා ගත් දින සිට මාස 3ක් ඇතුළත බූදල් (තෙස්තමේන්තු) නඩුකරයක් පැවැරිය යුතුවේ.
බූදල් නඩුවක් පැවැරීමේදී සෑම ඉල්ලීමක්ම පෙත්සමක් හා දිව්රුම් පෙත්සමක් මගින් සිදු කළ යුතුය. මෙම පෙත්සමට පහත දැක්වෙන කරුණු ඇතුළත් කළ යුතුය.
1. අන්තිම කැමති පත්‍රයක් ලියා තිබූ බව හෝ නැති බව
2. මිය ගිය පුද්ගලයාගේ මරණය සිදු වූ බව
3. මිය ගිය පුද්ගලයාගේ දේපළ පිළිබඳ විස්තර හා ඒවායේ පිහිටීම
4. මියගිය තැනැත්තාගේ උරුමකරුවන්
5. බූදලයේ බැරකම් පිළිබඳ විස්තර
6. බූදලයේ ණය හිමියන් පිළිබඳ විස්තර
7. පෙත්සම්කරු හිමිකම් පාන්නේ කවර තත්ත්වයකින්ද හෝ
8. අන්තිම කැමති පත්‍රය ඔප්පු කරවා ගැනීමට පෙත්සම්කරුට ඇති හේතු

මෙසේ දිසා අධිකරණය වෙත ඉදිරිපත් කරන සෑම තෙස්තමේන්තු නඩුකර ඉල්ලීමක්ම දැන්වීමක් මගින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම දෙවතාවක් පුවත්පත්වල පළ කළ යුතුය. ඉන්පසු නඩුව කැඳවීමට දින නියම කෙරේ. පුවත්පත්වල දැන්වීම් පළ කරන ලෙස නියම කරන්නේ මේ සඳහා වෙනත් අයිතිවාසිකම් තිබෙන අය හිඳී නම් ඉදිරිපත් වන්නටය. යම් හෙයකින් මිය ගිය පුද්ගලයා බැංකු ණයක් ගෙන එය පියවා අවසන් වී නැත්නම් මෙවැනි නඩුවලදි මුලින්ම මුදල් හෝ දේපළ වලින් ඒවා පියවීමට නියම කෙරේ.
මෙලෙස පුවත්පත් දැන්වීම් දැමූ පසු විරෝධතා කිසිත් නොමැති නම් ඉදිරිපත් කරන ලද පෙත්සම් සහ දිව්රුම් පෙත්සමේ දක්වා ඇති ආකාරයට අන්තිම කැමති පත්‍රය අනුව දේපළ බෙදිය යුතු ආකාරය සලකා බලා ඒ අනුව දේපළ බෙදීමට අධිකරණය විසින් නියෝග නිකුත් කරනු ඇත.
අන්තිම කැමති පත්‍රයක් නැති දේපළක් නම්, (එම දේපළ මියගිය තැනැත්තා විසින් මිය යාමට පෙර බෙදා වෙන් කර නොමැති වූවිට) නීතියෙන් ලැබිය යුතු අයිතිවාසිකම් අනුව මිය ගිය පුද්ගලයාගේ බිරිඳට මුළු වටිනාකමෙන් භාගයක් සහ ඉතිරි භාගය දරුවන් අතර බෙදේ. මිය ගිය තැනැත්තාට දරුවන් නොමැති නම් ඒ පුද්ගලයාගේ දෙමාපියන්ට ඉතිරි භාගය අයත් වනු ඇත. දෙමාපියන් ජීවතුන් අතර නොමැති නම් ඔහුගේ සහෝදර සහෝදරියන්ට බෙදේ.
අන්තිම කැමති පත්‍රයක් තිබෙන අවස්ථාවක වුවද එය මිය ගිය පුද්ගලයා විසින්ම සකසන ලද අන්තිම කැමති පත්‍රයක්ද යන්න තහවුරු කළ යුතුවේ. එසේ කිරීමට අවශ්‍ය වන්නේ යම් පුද්ගලයකු විසින් අන්තිම කැමති පත්‍රයට අභියෝග කළ විටය. පුවත්පත්වල දැන්වීම් දැමිය යුත්තේ මෙසේ හිමිකම් ඇති අයට ඉදිරිපත් වන්නටය.
අන්තිම කැමති පත්‍රයක් ඇති බූදල් නඩුවකදී නම් වගඋත්තරකරුවන්ගේද කැමැත්ත මත අධිකරණය මගින් පෙත්සම්කරු වෙත ප්‍රොබේට් බලපත්‍රයක් ලබාදේ.
අන්තිම කැමති පත්‍රයක් නැති විට පෙත්සම්කරුට ලබා දෙන්නේ අද්මිනිස්ත්‍රාති බලපත්‍රයයි.
පෙත්සම්කරු එම ප්‍රොබේට්/අද්මිනිස්ත්‍රාති බලපත්‍රය මත කටයුතු කළ යුතුය. මියගිය පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් අධිකරණය මගින් නඩුව වෙනුවෙන් විවෘත කරනු ලබන ගිණුමකට බැර කළ යුතුය. නිශ්චල දේපළ අන්තිම කැමති පත්‍රයේ දක්වා ඇති ආකාරයට හෝ අන්තිම කැමති පත්‍රයක් නොමැති නම් උරුමකරුවන්ට ලැබිය යුතු ප්‍රමාණයන් පාර්ශවයන් අතර බෙදා හැරීම ප්‍රොබේට්/අද්මිනිස්ත්‍රාති බලපත්‍රය ලැබුණු තැනැත්තා විසින් කළ යුතුය.

ජ්‍යෙෂ්ඨ නීතීඥ මහින්ද ලොකුගේ
සටහන – ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>