TT Ads

ජ්‍යෙෂ්ඨ නීතිඥ  මහින්ද ලොකුගේ

 

අප සමාජයේ හවුල් ඉඩම් භුක්ති විදිමට ගොස් ගැටලු රාශියකට මුහුණපා ඇති අවස්ථා බොහෝය.   හවුල් දේපල විකිණිමට යාමේදී මෙන්ම එවන් දේපල උකසට තබා ණය ලබා ගැනීමට යාමේදී දේපලේ නිරවුල් අයිතිය සම්බන්ධයෙන් ප්‍රශ්න පැන නගියි. එසේ වන්නේ තමන් සතු හවුල් අයිතිවාසිකම නිරවුල් කර ගැනීමට කුමන පියවර ගත යුතුද යන්න සම්බන්ධයෙන් මනා අවබෝධයක් නොමැති වීම නිසාය. එම නිසා බෙදුම් නඩු කාර්ය පටිපාටිය සංකීර්ණ වුවද හැකිතාක් අයුරින් සරලව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම යෝග්‍ය යැයි අප සිතමු.   එබැවින් කොටස් වශයෙන් බෙදුම් නඩු සම්බන්ධයෙන් ඉදිරි කලාප මගින් ද  ඔබව දැනුවත් කිරීමට පියවර ගන්නෙමු.

හවුල් අයිතියක් යනු කුමක්ද?

යම් දේපලක අයිතිය පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් අතර පවතින විට එම දේපල සම්බන්ධයෙන් ඔවුන්ට ඇති අයිතිය හවුල් අයිතියක් ලෙස සැලකේ.

 

බෙදුම් නඩුවක් යනු කුමක්ද?

යම් නිශ්චල දේපලක එනම් ඉඩමක අයිතිය පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් අතර හවුල් අයිතියක් ලෙස ඇති විට එලෙස තවදුරටත් එකී දේපල හවුලේ භුක්ති විඳීමට අපහසුවූ අවස්ථාවකදී, එකී හවුල් අයිතිකරුවන්ට  එම ඉඩම බෙදා වෙන්කරවා ගැනීම හෝ විකිණිම සදහා ඒ කවර අයිතිකරුවකු විසින් හෝ අයිතිකරුවන් කිහිප දෙනෙක් විසින් පවරනු ලබන නඩුව බෙදුම් නඩුවක් ලෙස හැදින්විය හැක.

 

හවුල් අයිතියක් ඇති ඉඩමක් බෙදා වෙන් කර ගැනීම සඳහා බෙදුම් නඩුවක් පැවරීම අත්‍යවශ්‍ය වන්නේද?

ඉඩමක් හවුල් අයිතිකරුවන් අතර බෙදා වෙන් කර ගැනීම සඳහා එලෙස නඩුවක් පැවරීම අත්‍යවශ්‍ය නොවේ. යම් හවුල් අයිතිවාසිකමක් ඇති ඉඩමක් එම හවුල් අයිතිකරුවන් අතර බෙදා වෙන් කර ගැනීමට අවශ්‍ය වූ විට ඔවුන්ගේ එකඟතාවය මත කැබලි වෙන් කර පිඹුරක් සකස් කර එම සියළුම අයිතිකරුවන් අතරේ සමගි බෙදුම් ඔප්පුවක් මගින් බෙදා වෙන් කර ගැනීමට හැකියාව ඇත.

මෙහිදී  එම හවුල් ඉඩමට අයිතිවාසිකම් ඇති සියලු හවුල් අයිතිකරුවන් එම සමගි බෙදුම් ඔප්පුවට අත්සන් කල යුතුය. එලෙස එක හවුල් අයිතිකරුවකු හෝ එම බෙදුම් ඔප්පුවට අත්සන් කිරීම පැහැර හරින්නේ නම් හෝ අත්සන් නොකරන්නේ නම් එවන් අවස්ථාවකදී එම ඉඩම බෙදු ඉඩමක් ලෙස සැලකිය නොහැකි අතර, එය  බෙදා වෙන් කර ගැනීම බෙදුම් නඩුවක් මගින් කල  හැක.

 

බෙදුම් නඩුවක් සම්බන්ධයෙන් බලපානු ලබන නීතිය කුමක්ද?

බෙදුම් නඩුවක් සම්බන්ධයෙන් 1977 අංක 21 දරන බෙදුම් නඩු පනතේ ප්‍රතිපාදනයන් සංශෝධනයන්ට යටත්ව අදාල වන අතර, බෙදුම් නඩුවක් පවරා පවත්වා ගෙන යාම  ඒ අනුව සිදු කරනු ලබයි.

 

බෙදුම් නඩුවක් පැවරීමට නඩු නිමිත්තක් හට ගත යුතුද?

වෙනත් නඩු වලදී මෙන් බෙදුම් නඩුවකදී  නඩු නිමිත්තක් නොමැත. එහෙත් හවුල් ඉඩමක් හවුලේ තවදුරටත් භුක්ති විදීමට නොහැකි වීම හෝ අපහසුවීම මත බෙදුම් නඩුවක් පැවරීම සිදු කරනු ලබයි.  එම කරුණ බෙදුම් නඩුවේ පැමිණිල්ලේ  සඳහන් කරනු ලබන අතර එය ඔප්පු කිරීම හෝ තහවුරු කිරීම අත්‍යවශ්‍ය බවට පෙර නඩු තීන්දු අනුව අධිකරණය තීන්දු කර ඇති බවක් නොපෙනේ .

 

බෙදුම් නඩුවක් පවරනු ලබන්නේ කුමන අධිකරණයකද?

මේ සම්බන්ධයෙන් බෙදුම් පනතේ 3 වන වගන්තියේ දක්වා ඇත. බෙදුම් නඩුවක් පවරනු ලබන්නේ එම නඩුවට විෂය වස්තුව වන ඉඩම පිහිටි ප්‍රදේශයේ  දිසා අධිකරණයේය.

තවද, යම් ඉඩමක් අධිකරණ බල ප්‍රදේශ දෙකක හෝ වැඩි ගණනක පිහිටා ඇත්නම් එයට සම්බන්ධ නඩුව පැවරිය යුත්තේ කුමන දිසා අධිකරණ බල ප්‍රදේශයකද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් ඇති විට,  එකී අවිනිශ්චිතභාවයට හේතු ඇතැයි යම් අධිකරණයක් අතරින් එක් අධිකරණයක් සෑහීමට පත් වන්නේ නම් ඒ අධිකරණය විසින් ඒ ගැන ප්‍රකාශයක් වාර්ථාගත කර එකී අධිකරණයේ නඩුව පැවරිය හැකිය.

කෙසේ වෙතත් යම් ඉඩමක් අධිකරණ බල ප්‍රදේශ කිහිපයක පිහිටා ඇති විට ඒ ඕනෑම අධිකරණ බල ප්‍රදේශයක නඩුවක් පැවරීමේ හැකියාව ඇත.

යම් ආකාරයකින්  ඉඩම පිහිටි අධිකරණයේ අධිකරණ බලයට පිටතින් වූ දිසා අධිකරණයක නඩු පැවරුවහොත් එම නඩුව ආරම්භයේදීම ප්‍රතික්ෂේප කරනු ලබයි.

 

බෙදුම් නඩුවක් පැවරීමේදී වැදගත් කරුණු මොනවාද?

හවුල් අයිතිවාසිකමක් ඇති ඉඩමක් සම්බන්ධයෙන් බෙදුම් නඩුවක් පවරන විට එම හවුල් අයිතිකරුවන්ගේ පෙලපත් සටහනක් පිලියෙල කිරීම අවශ්‍ය වන අතර  එමගින් දේපල සම්බන්ධයෙන් ඇති හවුල් අයිතිකරුවන් හෙලිදරව් වේ. මෙය  පිලියෙල කිරීම සදහා එම ඉඩමට අදාලව ඉඩම් හා ලේඛන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති ඉඩම ලියාපදිංචි කර ඇති පත්ඉරු සහ ලේඛන පරික්ෂා කිරීමෙන් මෙන්ම තමන් සතු ඔප්පු පරීක්ෂා කිරීමෙන් එකී විස්තර ලබා ගත හැකිය.

තවද, එම ඉඩමට අදාලව අයිතිය හිමි වී ඇති ඔප්පු වල සහතික පිටපත් හා පත්ඉරු වල සහතික පිටපත්ද ලබා ගැනීම අවශ්‍ය වන අතරම ඊට අමතරව ඔප්පු වලින් අයිතිවාසිකම් හිමි වූ පුද්ගලයන් ඒ වන විට මිය ගොස් ඇත්නම් එකී දේපලට අයිතිවාසිකම් ඇති උරුමකරුවන්ගේ නම් හා ලිපිනයන් ආදී විස්තර මෙන්ම එම අයට උරුම අයිතිවාසිකම් අනුව කොපමණ නොබෙදූ ප්‍රමාණයක් හිමි වන්නේද යනාදියේ විස්තර සොයා ගැනීම අවශ්‍ය වේ.

මෙම ඉඩමට අදාල බිම් ප්‍රමාණ, ඉඩමේ නම ආදිය තහවුරු කර ගැනීම සදහා එකී ඉඩමට අදාල වන්නාවු පිඹුරු පිටපත් ලබා ගැනීමද බෙදුම් නඩුවක් පවරන විට අත්‍යවශ්‍ය කරුණකි.

තවද, පෙලපත අනුව අයිතිය ලැබෙන අය හැරුණු විට උකස් හිමියන් හෝ  බදු කරුවන් සහ හෝ  ඉඩමට වෙනත් හිමිකමක් හෝ බැඳියාවක් ඇති අයගේ විස්තර මෙන්ම අයිතිය නැතත් ඉඩමේ පදිංචිව සිටින අය හෝ  පදිංචිය නැතත් එයට හිමිකම්පාන අය සිටින්නේ නම් ඒ අයගේ විස්තර සොයා දැන ගැනීම වැදගත්වේ .

තවද, බෙදීමට යෝජිත ඉඩමේ  නොබෙදූ කොටස් මුල් ඉඩමට  සම්බන්ධ නොවී  වෙනත් පත් ඉරුවක ලියා  පදිංචි වී ඇති අවස්ථාවක එම අයිතිවාසිකම් බෙදුම් නඩුව පවරන පැමිණිලිකරුගේ අයිතිවාසිකම් නම් එම බෙදුම් නඩුව පැවරීමට පෙර ප්‍රකාශන ඔප්පු මගින් එම පත්ඉරු  මුල් ඉඩමට සම්බන්ධ කිරීම වඩාත් යෝග්‍ය වේ.

 

බෙදුම් නඩුවක් පැවරීමේදී පාර්ශ්වකරුවන්  කල යුත්තේ කවුරුන්ද?

බෙදුම් පනතේ 2(1) වගන්තිය අනුව ඉඩමක්  අයිතිකරුවන් දෙදෙනෙකුට හෝ ඊට වැඩි ගණනකට හවුල් අයිතිය ඇති විට  එම ඉඩම බෙදා වෙන්කරවා ගැනීමට හෝ විකිණීම සදහා ඒ කවර අයිතිකරුවකු විසින් හෝ නැතහොත් අයිතිකරුවන් වැඩි සංඛ්‍යාවක් පැමිණිලිකරු හෝ පැමිණිලිකරුවන් ලෙස නම් කර  පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් බෙදුම් නඩුවක්   පැවරිය හැක.

බෙදුම් නඩුවකදී එම නඩුව පවරනු ලබන තැනැත්තා හෝ තැනැත්තන් පැමිණිලිකරු හෝ පැමිණිලිකරුවන් ලෙස නම් විය යුතුවන අතර, ඊට අමතරව එකී ඉඩම සම්බන්ධයෙන් හවුල් අයිතිවාසිකම් ඇති සෙසු සියලු අයිතිකරුවන් විත්තිකරුවන් ලෙස එම බෙදුම් නඩුවේ පාර්ශ්වකරුවන් කල යුතුය.

එම ඉඩමේ යම් අයිතිවාසිකමකට, එම ඉඩමේ යම් කොටසකට නැතහොත් ඉඩමේ යම් සම්බන්ධතාවයකට හෝ ඉඩමේ කර ඇති වැඩිදියුණු කිරීම් වලට හිමිකම ඇති හෝ හිමිකම ඇතැයි කියා සිටින සියළුම තැනැත්තන්ද මෙම නඩුවේ පාර්ශ්වකරුවන් කල යුතුය .

තවද, එකී ඉඩමට හිමිකම් ඇතැයි කියා සිටින උකසක් හෝ බද්දක්, ඵල භුක්තියක්, පරවශ්‍යතාවයක්, භාරයක් හෝ ජීවිත භුක්තියක් නිසා අන්‍යාකාරයේ එවැනි හිමිකමක් ඇති හෝ හිමිකමක් ඇතැයි කියා සිටින සියළුම තැනැත්තන් හෝ එම ඉඩමට යම් වැඩි දියුණු කිරීමක් සිදුකල බවට හිමිකමක් කියා සිටින තැනැත්තන් ඇත්නම් ඒ අයද මෙම නඩුවේ පාර්ශ්වකරුවන් කල යුතුය.

උකසක් සම්බන්ධයෙන් වූ විට ඒ උකස් හිමියා හෝ ඔහු යටතේ යම් සම්බන්ධතාවයකට හිමිකම් කියා සිටින යම් තැනැත්තකු හෝ  පාර්ශ්වකරුවකු ලෙස ඇතුලත් කල යුත්තේ  නෛතික ලේඛන තමා වෙත භාරදීම සදහා වූ ලිපිනයක් උකස් පනතේ විධි විධාන අනුව ඔහු විසින් ලියාපදිංචි කර තිබුනහොත් පමණි.

 

බෙදුම් නඩුවක පැමිණිල්ලක  ඇතුලත් විය යුතු කරුණු මොනවාද?

    1. නඩුවට අදාල වන ඉඩමට නමක් ඇත්නම් ඉඩමේ නම, ප්‍රමාණය හා වටිනාකම‍
    2. භෞතික මායිම් සලකුණු සඳහන් කිරීමෙන් හෝ පැමිණිල්ලට ඇමිණිය යුතු කටු සටහනක, සිතියමක හෝ පිඹුරක හෝ මාර්ගයෙන් ඉඩමේ විස්තරයක්
    3. එම ඉඩමේ යම් අයිතිවාසිකමකට, එම ඉඩමේ යම් කොටසකට නැතහොත් ඉඩමේ යම් සම්බන්ධතාවයකට හෝ ඉඩමේ කර ඇති වැඩිදියුණු කිරීම් වලට හිමිකම් ඇති හෝ හිමිකම් ඇතැයි කියා සිටින සියළුම තැනැත්තන්ගේ නම් හා ලිපිනයන්, තවද, එකී ඉඩමට හිමිකම් ඇතැයි කියා සිටින උකසක් හෝ බද්දක්, ඵල භුක්තියක්, පරවශ්‍යතාවයක්, භාරයක් හෝ ජීවිත භුක්තියක් නිසා අන්‍යාකාරයෙන් එවැනි හිමිකමක් ඇති හෝ හිමිකමක් ඇතැයි කියා සිටින සියළුම තැනැත්තන් හෝ එම ඉඩමට යම් වැඩි දියුණු කිරීමක් සිදුකල බවට හිමිකමක් කියා සිටින තැනැත්තන් මේ යටතේ අයිතිවාසිකම් හිමි තැනැත්තන් සේ ගැනේ.
    4. තවද, පැමිණිලිකරු දන්නා තරමින් හෝ පැමිණිලිකරු විසින් විමසා දැනගත හැකි තාක් දුරට එකී අයිතිවාසිකම්, කොටසේ සම්බන්ධතාවය හෝ වැඩිදියුණු කිරීමේ කොටස හෝ ප්‍රමාණය
    5. පැමිණිල්ලට අමුණා ඇති පෙලපත් සටහනක් මාර්ගයෙන් පැමිණිලිකරුගේ හිමිකම උරුම වී ඇති ආකාරය හා හැකි අවස්ථාවන්හිදී ඉඩමට හිමිකම් ඇති හෝ හිමිකම් ඇතැයි කියා සිටින හෝ ඒ ඉඩමේ යම් අයිතිවාසිකමකට, කොටසකට හෝ යම් සම්බන්ධතාවයකට හිමිකම ඇති හෝ හිමිකම් ඇතැයි කියා සිටින තැනැත්තන් වශයෙන් පැමිණිල්ලෙන් හෙලිදරව් කර ඇති සෙසු සෑම තැනැත්තකුටම හිමිකම උරුම වී ඇති ආකාරය දැක්වෙන ප්‍රකාශයක්
    6. තවද පැමිණිල්ල සමඟ නඩුවේ කාර්ය සඳහා පැමිණිලිකරුගේ නීත්‍යානුකූල නියෝජිතයකු නම් කරන ලද ලියවිල්ලක්

 

බෙදුම් නඩුවක පැමිණිල්ලක් සමග කවර ලේඛන ගොනුකල යුතුද?

බෙදුම් නඩුවකදී වෙනත් නඩුවක මෙන් පැමිණිල්ල සමග පෙරකලාසි ගොනු කල යුතු අතර, ඊට අමතරව, ඔප්පු සාරාංශය, පෙලපත් සටහන , ‍පිටපත් 3කින් යුත් ලිස්පෙන්ඩනය, පැමිණිලිකරු හෝ පැමිණිලිකරුවන් මිය ගිය හොත්  පනතේ 81 වන වගන්තිය අනුව එම අයගේ හෝ අයවලුන්ගේ නීත්‍යානුකූල නියෝජිතයා හෝ නියෝජිතයන් නම් කරන ලද ලේඛන ද ඉදිරිපත් කල යුතුය.

බෙදුම් නඩුවකදී වෙනත් නඩුවක මෙන් පැමිණිල්ල සමග විත්තිකරුවන් ගේ සිතාසි ගොනු කිරීම අත්‍යවශ්‍ය නොවේ. එයට හේතුව වන්නේ  බෙදුම් නඩුවක් භාර ගෙන ලිස්පෙන්ඩනයක් ලියා පදිංචි කිරිමෙන් අනතුරුව, බෙදුම් නඩු පනතේ 12 වන වගන්තිය යටතේ කල යුතු ප්‍රකාශයද ඉදිරිපත් කල  පසුව සිතාසි නිකුත් කිරීමට නියෝග කරන බැවිනි.

 

බෙදුම් නඩුවකදී ලිස්පෙන්ඩන ලියා පදිංචි කිරීමක් යනු කුමක්ද?

පැමිණිල්ලක් මගින් බෙදුම් නඩුවක් අධිකරණයේ ගොනු කරනු ලබන අවස්ථාවේදී,  එකී පැමිණිල්ල සමඟ මෙය ඇසීමට තිබෙන නඩුවක් වන බවට ඉඩමට අදාල ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියා පදිංචි කිරීම අවශ්‍ය වන අතර, ඒ සඳහා ඉදිරිපත් කරනු ලබන දැන්වීම  ලිස්පෙන්ඩනය ලෙස හැදින්වේ.

බෙදුම් නඩු පනත, 1997 අංක 17 දරන සංශෝධිත පනතින් සංශෝධනය කිරීමෙන් පසු පිටපත් තුනකින් යුතුව ලිස්පෙන්ඩන පැමිණිල්ල සමග ගොනු කල යුතුය.

මෙම  ඉල්ලීම බෙදුම් නඩුවක පැමිණිලිකරු හෝ ඔහුගේ ලේඛනගත නීතිඥවරයා විසින්  ඉඩම ලියා පදිංචි කරන ලද දිස්ත්‍රික්කයේ පිහිටි ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කරමින් එය නියමිත පත්ඉරුවේ ලියාපදිංචි කරන ලෙස ඉල්ලා සිටිය හැක. මෙසේ ලිස්පෙන්ඩනය නිසි පරිදි  අදාල පත් ඉරු වල ලියාපදිංචි කිරීම  ලිස්පෙන්ඩනය  ලියාපදිංචි කල ලෙස සැලකේ.

යම් ඉඩමක් පත්ඉරු කිහිපයක ලියාපදිංචි කර ඇත්නම් ඒ සෑම පත්ඉරුවකම ලිස්පෙන්ඩනය ලියාපදිංචි කිරීම  වඩාත් වැදගත්වේ.

එසේම යම් ඉඩමක් දිස්ත්‍රික්ක කිහිපයක ඉඩම් හා ලේඛන ලියාපදිංචි කිරීමේ කාර්යාල වල ලියා පදිංචි කර ඇත්නම් ඒ සියළුම ඉඩම් හා ලේඛන ලියාපදිංචි කිරීමේ කාර්යාලවල ලිස්පෙන්ඩන ලියාපදිංචි කල යුතුය.

යම් හෙයකින් ලිස්පෙන්ඩනය නියමිත පත්ඉරුවේ නොමැතිව වැරදි පත්ඉරුවක ලියාපදිංචි කර ඇත්නම්,  නැවතත් ලිස්පෙන්ඩනය නියමිත පත්ඉරුවේ ලියාපදිංචි කිරීමට පියවර ගත යුතු අතර නඩුවේ ඉදිරි කටයුතු  ඉන්පසුව ආරම්භ කරනු ලබයි.

 

බෙදුම් නඩුවකදී ලිස්පෙන්ඩන ලියා පදිංචි කිරීමේ  වැදගත්කම හා එහි බලපෑම කුමක්ද ?

ලිස්පෙන්ඩනයක් නිසි පරිදි ලියාපදිංචි නොවීම නිසා නඩුවක් නිශ්ප්‍රභා කල යුතු බවට බෙදුම් නඩු පනතේ ප්‍රතිපාදන නොමැති බවට නඩු වලදී තීරණය වී ඇත. එහෙත් බෙදුම් නඩුවට ලිස්පෙන්ඩනය නිසි පරිදි ලියාපදිංචි කිරීමෙන් පසුව නඩුවට අදාල ඉඩමෙන් කිසිම කොටසක් ඉවත් කිරීමට බෙදුම් නඩු පනතේ ප්‍රතිපාදන නොමැති බවද  නඩු වලදී තීරණය වී ඇත.

ලිස්පෙන්ඩන ලියාපදිංචි කිරීමෙන් එම ඉඩම සම්බන්ධයෙන්  ඇසීමට ඇති නඩුවක් පවතින බවට (නඩුවක් පවරා ඇති බවට) පත්ඉරු පරීක්ෂා කිරීමෙන් සියළුදෙනාටම දැන ගත හැකිය.

බෙදුම් නඩු පනත ප්‍රකාරව ලිස්පෙන්ඩන ලියාපදිංචි කිරීමෙන් අනතුරුව කරනු ලබන පැවරීම් සියල්ල වලංගු පැවරීම් ලෙස නොසැලකේ. එහෙත් මෙලෙස බෙදුම් නඩුවක් පැවරීමෙන් පසුව නඩුව අවසන් වීමට පෙර යම් පාර්ශ්වයන් ඔවුන්ගේ අයිතිවාසිකම් ඔප්පු මගින් එකී බෙදුම් නඩු තීන්දුවට යටත් කොට අන්සතු කරනු ලැබූ අවස්ථා බොහෝ ඇත. එවැනි අවස්ථාවලදී එම අයිතිවාසිකම් පවරනු ලබන තැනැත්තාට අයිතිවාසිකම් හිමි වන්නේ බෙදුම් නඩුවේ තීන්දුවෙන් ලැබෙන අයිතියේ ප්‍රමාණයට  පමණි. ඇතැම් අවස්ථාවන් කිසිදු බිම් ප්‍රමාණයක් හිමි නොවීමට පවා හැකියාව ඇත.

එබැවින් ඉඩමකට අදාලව ලිස්පෙන්ඩනයක්  ලියා පදිංචි වී ඇත්නම් සහ එකී නඩුව අවසන් වී නොමැත්තේනම්, එවැනි අවස්ථාවන් හිදී එකී බෙදුම් නඩු තීන්දුවට යටත් කොට ඉඩම් කොටස් මිලදී ගැනීමේදී  අවදානම් සහගත තත්වයක් පවතින බව ඔබට වැටහෙනු ඇත .

 

බෙදුම් නඩු පනතේ 12 වන වගන්තියේ දැක්වෙන ප්‍රකාශය යනු කුමක්ද?

බෙදුම් නඩුවක් ඇසීමට තිබෙන නඩුවක් ලෙස (ලිස්පෙන්ඩනය) ලේඛන ලියා පදිංචි කිරීමේ ආඥා පනත යටතේ ලියා පදිංචි කිරීමෙන් අනතුරුව ලිස්පෙන්ඩනය ලියා පදිංචි කර ඇති පත්ඉරුව හෝ පත්ඉරු හා සම්බන්ධ නඩුවට විෂයවූ ඉඩමට අදාල සටහන් සියල්ලම නීතීඥවරයකු විසින් පොද්ගලිකවම පරීක්ෂා කල යුතුය.  එලෙස නීතිඥවරයා විසින් පෞද්ගලිකවම පරීක්ෂා කල බවට ඒ නීතීඥවරයා විසින් තම අත්සන යටතේ සහතික කල ප්‍රකාශයක් ලබා දිය යුතු බව බෙදුම් නඩු පනතේ 12 වන වගන්තියේ දක්වා ඇත. මෙම ප්‍රකාශය  බෙදුම් නඩු පනතේ 12 වගන්තියේ දැක්වෙන ප්‍රකාශය වන අතර, එය ඉදිරිපත් කිරීමෙන් පසුව සිතාසි සහ අධිකාරී පත්‍ර නිකුත් කිරිමට අධිකරණය විසින් නියෝග කරනු ලබයි.

 

බෙදුම් නඩුවක  සිතාසි බෙදීම සිදුවන ආකාරය කෙසේද?

බෙදුම් පනතේ 14 වන වගන්තිය අනුව,  සිවිල් නඩු විධාන සංග්‍රහයේ ඇති  විධි විධාන බෙදුම් නඩුවක සිතාසි භාරදීම සම්බන්ධයෙන්ද අදාල විය යුතු බව සදහන් කර ඇත.

එහෙත් එයට වෙනස් ආකාරයක්ද බෙදුම් නඩු වලදී පවතී. එනම් කොමසාරිස් වරයා විසින් මැනීම් සිදු කරන අවස්ථාවේ දැන්වීමේ පිටපත් (බෙදුම් නඩු පනතේ 16(3) වන වගන්තියට අනුව පනතේ 2 වන උපලේඛනයේ දක්වා ඇති ආකෘතියට සාරානුකූල දැන්වීම්) භාරදී ඔහුගේ අත්සන හෝ මහපට ඇඟිලි සලකුණ ලබා ගැනීම සිදු කරයි. එලෙස කොමසාරිස්වරයා විසින් දැන්වීම ලබාදී අත්සන ලබාගත් පුද්ගලයා පසුව නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කරනු ලැබුවහොත් ඔහුට හෝ ඇයට  සිතාසි භාරදීමක් අවශ්‍ය නොවන අතර එකී දැන්වීම සිතාසියක් ලෙස සලකනු ලබයි.

යම් විත්තිකරුවකු දිවයින තුල සිටිමින් සිතාසි භාර ගැනීම මඟ හරින අවස්ථාවකදී එම තැනැත්තාට පෞද්ගලිකව සිතාසි භාර දීමට නොහැකි බව දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කල විට අධිකරණයෙන් නියෝගයක් ලබා ගෙන ආදේශිත ක්‍රමයට සිතාසි භාර දීමට (එම තැනැත්තා පදිංචි ස්ථානයේ දොරේ එම සිතාසිය අලවා) හැකියාව ඇත.

බෙදුම් නඩුවක පාර්ශ්වකරුවකුට සිතාසි භාරදී නොමැති බව ඔප්පු කල අවස්ථාවකදී පමණක් බෙදුම් නඩුවක අවසාන තීන්දුව අහෝසි කිරිමට අධිකරණයට බලය ඇති බව නඩු තීන්දු වලින් වාර්ථා කර ඇත. එබැවින් පාර්ශ්වකරුවන් සියළුම දෙනාට නිසි පරිදි  සිතාසි භාර දී නඩුව ඉදිරියට පවත්වා ගෙන යාම පැමිණිල්ලේ වගකීම වන බව සිහි තබාගත යුතුය.

 

බෙදුම් නඩුවක පාර්ශවයක් නොවන යම් තැනැත්තෙකුට එම ඉඩමට යම් අයිතිවාසිකමක් ඇත්නම් එම තැනැත්තාට එම නඩුවට ඉදිරිපත් වීමට හැකියාවක් තිබේද?

යම් ඉඩමක් සම්බන්ධයෙන් බෙදුම් නඩුවක් පැවරූ පසුව ඉහත විස්තර කල පරිදි ඊට අදාල පත්ඉරු වල ලිස්පෙන්ඩන් ලියාපදිංචි කරනු ලබන්නේත්, ඊට අමතරව එම ඉඩම අයත් ප්‍රද්ශයේ ග්‍රාම නිලධාරීවරයාගේ කාර්යාලයේ දැන්වීම් පුවරුවේ බෙදුම් නඩුවක් පවරා අති බවට දැන්වීම් පල කරනු ලබන්නේත්, එසේම මූලික මැනීම සිදු කරන අවස්ථාවේදී දින 14කට පෙර පාර්ශවකරුවන්ට සිදු කරනු ලබන දැන්වීමට අමතරව එම ඉඩමේ දැන්වීම් ඇලවීම සහ අඬබෙර මගින් ඒ බව දැනුවත් කරනු ලබන්නේත් එම ඉඩම සම්බන්ධයෙන් බෙදුම් නඩුවක් පවතින බව සියළුදෙනා දැනුවත් කිරීම තුලින් එම ඉඩමට පාර්ශවයන් නොවූ එහෙත් යම් අයිතිවාසිකමක් ඇති තැනැත්තන් ඇත්නම් ඒ අයට ඉදිරිපත් වීමටයි.

එයින් එම ඉඩමට යම් අයිතිවාසිකමක් ඇති නමුත් නඩුවේ පාර්ශවයක් නොවන පුද්ගලයකුට වුවද එම නඩුව සම්බන්ධයෙන් දැනුවත් වී නඩුවට ඉදිරිපත් වීමට අවස්ථාව සැලසේ.

පැමිණිලිකරු නඩුවේ පියවර නොගන්නේ නම් නඩුව ඉදිරියට පවත්වාගෙන යා හැක්කේ කෙසේද?

වෙනත් නඩු වලදී ‍ පැමිණිලිකරු පියවර නොගන්නේ නම් පැමිණිල්ලේ නඩුව නිශ්ප්‍රභා කිරීම සාමාන්‍ය කාර්ය පටිපාටියයි. එහෙත් බෙදුම් නඩුවකදී කාර්ය පටිපාටිය මීට වෙනස්වේ.

බෙදුම් නඩුවකදී පැමිණිලිකරු විසින් ගත යුතු පියවර නොගෙන පැහැර හරින්නේ නම් සහ පැමිණිලිකරුට මෙම නඩුව තවදුරටත් පවත්වා ගෙන යාම අවශ්‍ය නොවන බව අධිකරණයට දැනුම් දෙන්නේ නම් එවන් අවස්ථාවකදී අධිකරණයේ අවසරය මත එම නඩුවේ විත්තිකරුවකුට පැමිණිලිකරුවකු ලෙස ක්‍රියා කරමින් එම නඩුවේ ඉදිරි  කටයුතු පවත්වා ගෙන යා හැක.

එසේ නොමැතිව කිසිදු විත්තිකරුවකු එසේ නඩුව ඉදිරියට පවත්වා ගෙන යාමට ඉදිරිපත් නොවුනහොත් අධිකරණයට එම නඩුව නිශ්ප්‍රභා කිරීමට හැකියාව ඇත.

 

බෙදුම් නඩුවක අධිකාරිපත්‍රයක් නිකුත් කිරීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

බෙදුම් නඩුවකදී අධිකාරිපත්‍රයක් යනුවෙන් අදහස් කරනු ලබන්නේ බලයලත් මිනින්දෝරුවරයකුට  (උසාවි කොමසාරිස්වරයකුට) බෙදීමට යෝජිත ඉඩම මැන පෙන්වීම සඳහා යම් අධිකරණයක් විසින් ආඥා කරමින් නිකුත් කරනු ලබන ලේඛනයයි. එලෙස නිකුත් කරනු ලබන අධිකාරිපත්‍රයේ මිනින්දෝරුවරයකු විසින් කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන්ද ආඥා කර තිබිය හැකිය.

සාමාන්‍යයෙන් බෙදුම් නඩුවකදී මෙවැනි අධිකාරිපත්‍රයක් නිකුත් කරනු ලබන්නේ එම අධිකරණයේ ලියාපදිංචිවූ බලය ලත් මිනින්දෝරුවරයකු හෙවත් උසාවි කොමසාරිස්වරයකු වෙතටය. එලෙස අධිකාරිපත්‍රයක් නිකුත් කරන විට බෙදුම් නඩුවේ පැමිණිල්ලේ පිටපතක්ද එම අධිකාරිපත්‍රය සමඟ ඇමුණුමක් ලෙස යවනු ලබන අතර, එයට හේතුව වන්නේ එම මිනින්දෝරුවරයා විසින් අධිකාරිපත්‍රයේ  දක්වා ඇති විධාන අනුව පැමිණිල්ලේ උපලේඛනයේ දක්වා ඇති ඉඩම මැන නඩුවේ විෂය වස්තුව වන ඉඩම දැයි තහවුරු කර ගැනීම සඳහා වේ.

 

උසාවි කොමසාරිස්වරයකු විසින් සිදු කරන මුලික මැනීම යනු කුමක්ද?

යම් අධිකරණයක් විසින් උසාවි කොමසාරිස්වරයකු පත් කර ඔහු වෙත අධිකාරිපත්‍රයක් නිකුත් කල පසුව එකී අධිකාරිපත්‍රයේ සඳහන් වන විධාන අනුව කටයුතු කර එහි සඳහන් වන ඉඩම මැන පිඹුරක් හා වාර්තාවක් පිලියෙල කිරිම මූලික මැනීම ලෙස හදුන්වයි .

 

මූලික පිඹුර හා වාර්ථාව යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

මූලික පිඹුර යන්නෙන් දැක්වෙන්නේ, අධිකාරිපත්‍රයක් මගින් උසාවි කොමසාරිස් වරයකු  විසින් බෙදුම් නඩුවක පැමිනිල්ලේ උපලේඛනයේ දැක්වෙන ඉඩම මැන සාදන ලද පිඹුරයි. ඒ සම්බන්ධයෙන්,  බෙදුම් නඩු පනතේ ප්‍රතිපාදන අනුව වාර්ථාවක් ද පිලියෙල  කල යුතුය.

බෙදුම් පනතේ 18(1)(අ)(3) වගන්තිය අනුව එම වාර්ථාවේ උසාවි කොමසාරිස්වරයා විසින් මනින ලද ඉඩම ඔහුගේ මතය අනුව බෙදා වෙන් කිරීමට පැමිණිල්ලේ දක්වා ඇති බෙදීමට යෝජිත ඉඩමමද යන්න සඳහන් කල යුතුය.

තවද, එම ඉඩම මනින ලද අවස්ථාවේදී ඉදිරිපත්වූ පාර්ශ්වකරුවන් කවුරුන්ද යන්නත් එලෙස නඩුවේ පාර්ශ්වකරුවන් නොවූ  යම් තැනැත්තන් එම ඉඩමට එම අවස්ථාවේදී හිමිකම් ඉදිරිපත් කරන ලද්දේ නම් ඒ අයගේ විස්තරද, ඔවුන්ගේ හිමිකම්පෑමේ ස්වභාවයද ඇතුලු අවශ්‍ය විස්තර පැහැදිලිව  ඇතුලත් කර  තිබිය යුතුය.

මේ අනුව මතක තබා ගත යුතු කරුණු වන්නේ යම් ඉඩමකට බෙදුම් නඩුවක් පවරා ඇති විටක එකී බෙදුම් නඩුවට ඔබ පාර්ශ්වකරුවකු නොවුවද, ඔබට යම් අයිතිවාසිකමක් ඇත්නම් එම ඉඩම මනින අවස්ථාවේදී එයට ඉදිරිපත්වී ඔබට ඇති අයිතිවාසිකම් උසාවි කොමසාරිස් වරයාට ඉදිරිපත්  කිරීමට වගබලා ගත යුතු බවයි.

උසාවි කොමසාරිස්වරයකු විසින් මුලික මැනීමේදී ක්‍රියා කල යුතු ආකාරය කෙසේද?

උසාවි කොමසාරිස් වරයා විසින් අධිකාරිපත්‍රයෙන් නියම කර ඇති ඉඩම පමණක් මැනීම සිදු කල යුතු අතර, එකී ඉඩමට අමතර ඉඩමක් මැන විෂය වස්තුවට එකතු කිරීමට මිනින්දෝරුවරයාට  අයිතියක් නොමැත. එම  නඩුවේ විෂය  වස්තුව විශාල විය  යුතුනම්  ඒ බව අධිකරණයට දන්වා අමතර ඉඩම් කොටස මැනීමට අදාල නියෝග ලබා ගත යුතුව ඇත.

මෙලෙස උසාවි කොමසාරිස්වරයකු විසින් ඉඩම මැනීමට දින නියම කල විටදී එම නඩුවේ පාර්ශවයන් හට  දින 14කට නොඅඩු දැන්වීමක් සිදු කල යුතු වන අතර, ඊට අමතරව එම ඉඩමේ දැන්වීම් ඇලවීම් හා අඬබෙර මගින් ඒ දැනුවත් කිරීම් සිදු කල යුතුය.

එහිදී කොමසාරිස්වරයා විසින් එලෙස මැනීම සිදු කරන ඉඩම පැමිණිල්ලේ උපලේඛනයේ සඳහන් වන ඉඩමදැයි තහවුරු කර ගැනීම සිදුකල යුතුය. පැමිණිල්ලේ උපලේඛනයේ සඳහන් වන ඉඩම සම්බන්ධයෙන් නඩුව පැවරීමට පෙර සකස් කරන ලද පිඹුරු ඇත්නම් එම කොමසාරිස්වරයාට එකී පිඹූරු වල පිටපත් ලබා දීමෙන් එලෙස මැන සාදන ලද පිඹුර මත එකී පිඹුරු අධිෂ්ඨාපනය කිරීම මගින් බෙදීමට යෝජිත ඉඩම නිවැරදිව හඳුනාගැනීමට පහසු වේ.

ඉඩමක් මනිනු ලබන අවස්ථාවේදී පාර්ශවකරුවන් නොවූ තැනැත්තන්ටද ඉඩම සම්බන්ධයෙන් යම් අයිතියක් ඇත්නම් එම අවස්ථාවේදී ඉදිරිපත් වී උසාවි කොමසාරිස්වරයාට තම අයිතිවාසිකම් ඉදිරිපත් කල හැකි අතර, එවන් අවස්ථාවකදී උසාවි කොමසාරිස්වරයා විසින් තම වාර්තාවේ එම කරුණුද ඇතුලත් කරනු ලබයි. තවද, එවැනි තැනැත්තන් හට මෙහි පෙර සඳහන් කල ආකාරයට දැන්වීම් ලබා දීම උසාවි කොමසාරිස්වරයා විසින් සිදු කරනු ලබන අතර, එසේ දැන්වීම් භාර දුන් තැනැත්තන්ගේ නම් හා ලිපිනයන් හා භාර දුන් දිනයන් උසාවි කොමසාරිස්වරයා විසින් අධිකරණයට වාර්තා කල යුතුය.

උසාවි කොමසාරිස්වරයකුට අධිකාරීපත්‍රයක් නිකුත් කරනු ලබන්නේ අධිකරණයේ ආඥාවක් මත නිසා එලෙස උසාවි කොමසාරිස්වරයෙකු ඉඩමක් මැනීමට පැමිණි විටක නඩුවේ පාර්ශවකරුවන් මෙන්ම පාර්ශවයන් නොවන අයද එම ඉඩම මැනීමට ඔහුට ඉඩ ලබා දිය යුතු වේ. යම් හෙයකින් එවන් මැනීමකට බාධා සිදු කලහොත් උසාවි කොමසාරිස්වරයකුට ඒ බවට අධිකරණයට වාර්තා කිරීම සිදු කල හැකි අතර, එවන් අවස්ථාවකදී එම තැනැත්තන් අධිකරණයට අපහාස කල සේ සලකා, වරදකරුවකු කර දණ්ඩනයකට යටත් කිරීමට හැකියාව ඇත.

 

පැමිණිල්ලේ විස්තර කර ඇති ඉඩමට වඩා විශාල ඉඩමක් පෙන්වා දීමට පාර්ශවයකට හැකියාව තිබේද?

පැමිණිල්ලේ විස්තර කර ඇති ඉඩමට වඩා විශාල ඉඩමක්,  බෙදීමට යෝජිත ඉඩම විය යුතු වන බවට මැනීම සිදු කරනු ලබන අවස්ථාවේදී පාර්ශවයකට පෙන්වා සිටීමට හැකියාව ඇත. එවැනි අවස්ථාවකදී උසාවි කොමසාරිස්වරයකු ඒ සම්බන්ධයෙන් අධිකරණයකට දැනුම්දීම සිදු කරනු ලබන අතර, බෙදීමට යෝජිත ඉඩම පැමිණිල්ලේ සඳහන් වන ඉඩමට වඩා විශාල ඉඩමක් වන බවට අධිකරණය සෑහීමට පත් වන්නේ නම් ඒ අනුව වඩා විශාල ඉඩම මැනීම සඳහා අධිකරණයක් විසින් අධිකාරිපත්‍රයක් නැවත නිකුත් කරනු ලබයි.

තවද, පැමිණිල්ලේ විස්තර කර ඇති ඉඩමට වඩා විශාල ඉඩමක් බෙදීමට යෝජිත ඉඩම විය යුතු වන බවට යම් පාර්ශවයකට තම හිමිකම් ප්‍රකාශය මගින්ද හෙළිදරව් කර සිටීමේ හැකියාව ඇත. එවැනි අවස්ථාවකදී එම පාර්ශවයේ හිමිකම් ප්‍රකාශය වඩා විශාල ඉඩම සම්බන්ධයෙන් පැමිණිල්ලක් සේ සැලකේ.

එවන් අවස්ථාවකදී විශාල ඉඩම සම්බන්ධයෙන් නව ලිස්පෙන්ඩනයන් ලියා පදිංචි කර එම විශාල ඉඩම විෂය වස්තුව ලෙස ඇතුලත් කිරීම සඳහා අවශ්‍ය වන සෙසු සියළුම පියවර ගත යුතු වන අතර, එලෙස මැන ඉදිරිපත් කර මූලික පිඹුරේ දක්වා ඇති ඉඩම අනුව එම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අධිකරණයට අවසර ලබා දිය හැකිවේ.

 

බෙදුම් නඩුවේ  විෂය වස්තුවට පිටතින් ඇති වෙනත් ඉඩමක් ඇතුලත් කොට මැනීමක් සිදු කල විට කුමන පියවර ගත යුතුද? 

බෙදුම් නඩුවක  පැමිණිල්ලේ උපලේඛනයේ සදහන් ඉඩමට පරිබාහිරවූ ඉඩම්ද ඇතුලත් කර මැනීම සිදු කර මූලික පිඹුරු සකස් කල අවස්ථාද ඇත. සමහර අවස්ථාවලදී නඩුවේ විෂය වස්තුව වන ඉඩමට ප්‍රවේශ වන මාර්ගයද මූලික පිඹුරට ඇතුලත් කල අවස්ථා තිබේ.

එවැනි සෑම විටකදීම ගරු අධිකරණයේ ඉල්ලීමක් සිදු කර එම කොටස් නඩුවේ විෂය වස්තුවෙන් ඉවත් කර ගැනීමට හැකියාව ඇත. ඒ සම්බන්ධයෙන් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 839 වන වගන්තියේ ප්‍රතිපාදන අනුව අධිකරණයට නෛසර්ගික  බලයක් ඇත.

 

උසාවි කොමසාරිස්වරයකු ඉදිරිපත් කර ඇති මූලික පිඹුරු හෝ ක්ෂේත්‍ර සටහන්  වැරදි බව පෙනී ගිය විට ගත යුතු පියවර කුමක්ද?

එවන් අවස්ථාවකදී බෙදුම් නඩු පනතේ 18(3) (අ) ජේදය  මගින්  මිනුම්පතිවරයාට ඉඩම මැන පිඹුරක් සහ වාර්ථාවක් ඉදිරිපත් කිරීමට අධිකාරී පත්‍රයක් නිකුත් කල හැක.  මෙහිදී මිනුම්පතිවරයා විසින් එය පරීක්ෂා කර එය නිවැරදි බවට  සහතික කිරීමට සැලැස්වීමට හෝ එම පිඹුරු හෝ ක්ෂේත්‍ර සටහන්  වැරදි බව යයි පෙනී ගිය විට මිනුම්පතිවරයා විසින් හෝ ඔහු විසින් බලයදෙන ලද ඔහුගේ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් අළුත් ක්ෂේත්‍ර සටහන්  හා අළුත් පිඹුරක් සකස් කිරීමට සැලැස්වීමට හැක. ඒ කාර්ය සදහා මිනුම්පතිවරයාට අධිකාරිපත්‍රයක් නිකුත් කිරීමටද අධිකරණය විසින් සිය මෙහෙයවීමෙන්ම හෝ නඩුවේ යම් පාර්ශ්වකරුවකුගේ ඉල්ලීම පිට හෝ කල හැකිය .

බෙදුම් නඩුවක හෙලිදරව් කල පාර්ශ්වකරුවන් ලෙස සලකන්නේ කවුරුන්ද?

බෙදුම් නඩුවක පැමිණිල්ලේ පාර්ශ්වකරුවකරුවකු ලෙස සදහන් නොකරන ලද යම්  තැනැත්තකු හෝ තැනැත්තන් ඉහත සදහන් කල පරිදි එකී ඉඩම මනින අවස්ථාවේදී එකී ඉඩමට හිමිකම් හෝ අයිතිවාසිකම් ඉදිරිපත් කරමින් උසාවි කොමසාරිස්වරයාගේ වාර්තාවේ නම ඇතුලත් අය සහ බෙදුම් නඩුවේ විත්තිකරුවකු විසින් අනාවරණය කරන ලද තැනැත්තන් බෙදුම් නඩුවක හෙලි කල පාර්ශ්වයන් ලෙස සලකයි.

 

හෙලිදරව් කල පාර්ශවයන්ට නොතීසි ඉදිරිපත් කිරීම සඳහා අධීකරණයට නොතීසි ඉදිරිපත් කල  යුත්තේ කවුරුන් විසින්ද?

උසාවි කොමසාරිස්වරයා විසින් මුල් මැනීම සමඟ ඉදිරිපත් කරනු ලබන වාර්තාවෙන් හෙලිදරව් කල පාර්ශ්වකරුවන්ට නොතීසි ඉදිරිපත් කිරීම එම නඩුවේ පැමිණිලිකරු විසින් කල යුතු අතර, විත්තිකරුවකු විසින් අනාවරණය කරන ලද තැනැත්තන් හට අධිකරණය ආඥාවක් කරනු ලැබුවහොත් මිස එලෙස අනාවරණය කරන ලද විත්තිකරු විසින් එම හෙලිදරව් කල පාර්ශ්වකරුවන්ට නොතීසි නිකුත් කිරීම සදහා අධිකරණයට නොතිසි ඉදිරිපත් කල යුතුය.

 

මිනින්දෝරු ගාස්තු තැන්පත් කල යුත්තේ කෙසේද?

බෙදුම් නඩුවක මූලික මැනීම සිදු කිරීම සදහා අධිකාරිපත්‍රයක් නිකුත් කරනු ලැබූ විට එම අධිකාරිපත්‍රය ක්‍රියාවේ යෙදවීම සදහා ගෙවිය යුතු වියදම් ප්‍රමාණය අධිකරණය විසින් සහතික කරනු ලැබීමෙන් පසු එම මුදල් ප්‍රමාණය අධිකරණයේ තැන්පත් කල  යුතුය.

 

උසාවි කොමසාරිස්වරයා අධිකාරිපත්‍රයෙන් නියම කර නොමැති ඉඩමක් මනින ලද අවස්ථාවක ගාස්තු ගෙවිය යුතුද?

උසාවි කොමසාරිස්වරයාට අධිකාරිපත්‍රයෙන් නියම කර ඇති ඉඩමට වඩා නඩුවේ විෂය වස්තුව විශාල විය යුතු නම් ඒ බව අධිකරණයට දන්වා එය මැනීමට අදාල නියෝග ලබා නොගෙන ‍අමතර ඉඩමක් මැනීමක් සිදු කලහොත් ඒ සම්බන්ධයෙන් මිනින්දෝරු ගාස්තු ඔහුට අය කර ගත නොහැක .

මූලික පිඹුර හා වාර්තාව ඉදිරිපත් කල පසුව ඉදිරි පියවර කුමක්ද?

උසාවි කොමසාරිස් වරයා විසින් බෙදුම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කරමින් මූලික පිඹුර සහ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කල පසු  ඒවා පාර්ශ්වයන්ට සලකා බැලීම සදහා දිනයක් ලබා දීම සාමාන්‍ය සිරිතකි. එයට හේතුවී ඇත්තේ එම වාර්තාවේ නිවැරදි කිරීමක් කල හැකි යම් අඩුපාඩුවක් ඇත්නම් එය නිවැරදි කර බෙදුම් නඩුවේ ඉදිරි කටයුතු ඉදිරියට පවත්වා ගෙන  යාමට හැකි වන ලෙසිනි.

 

බෙදුම් නඩුවක මුල් මැනීම හා වාර්තාව ඉදිරිපත් කල පසු විභාගයට නියම කිරීමට පෙර නඩු කාර්ය පටිපාටිය කුමක්ද?

බෙදුම් නඩුවකදී ඉඩමක මුල් මැනීම හා වාර්තාව ඉදිරිපත් කල පසුව පාර්ශවයන් විසින් එම පිඹුර හා වාර්තාව සලකා බලා ඒ සම්බන්ධයෙන් කිසිදු අඩුපාඩුවක් නොමැති නම් බෙදුම් නඩුවක සියලු පාර්ශ්වයන්ට සිතාසි නිකුත් කිරීම සිදුකල යුතු අතර, එලෙස සිතාසි ලැබූ සියළුම පාර්ශවයන් එකී පාර්ශ්වයන් විසින් බෙදීමට යෝජිත ඉඩම සම්බන්ධයෙන් තම තමන්ගේ අයිතිවාසිකම් හිමිකම් ප්‍රකාශ මගින් අධිකරණයට ඉදිරිපත් කල යුතුය.

යම් විත්තිකරුවකු විසින් පැමිණිල්ල සමග ඉදිරිපත් කර ඇති පෙලපත හබ කරන්නේ නම්,  තම හිමිකම් ප්‍රකාශ සමග තමන් යෝජනා කරනු ලබන හිමිකම් ගලා යන ආකාරය දක්වන පෙලපත් සටහනක් සහ ඔප්පු සාරංශය ඉදිරිපත් කල යුතුව ඇත. එසේ කිරීමෙන් ඉඩමේ හිමිකම සම්බන්ධයෙන්  නිවැරදි  විනිශ්චයක් ලබා  දීමට අධිකරණයට පහසුවේ.

තවද, විත්තිකරුගේ කොටස් උකසකට හෝ බද්දකට යටත්නම් හිමිකම් ප්‍රකාශයේ ඒ බව හෙලිකල යුතු බවට ප්‍රතිපාදන බෙදුම් නඩු පනතේ ඇත. පාර්ශ්වකරුවකු ලෙස එකතු නොකර ඇති එහෙත් ඉඩමට අයිතියක් හෝ සම්බන්ධතාවයක් ඇති පුද්ගලයකු දන්නේ නම් ඒ පිලිබදව හිමිකම් ප්‍රකාශයේ අනාවරණය කල යුතු බවද බෙදුම් නඩු පනතේ  දක්වා ඇත.

තවද, නඩුව පවතිද්දී එම හිමිකම් ඉදිරිපත් කරන තැනැත්තා මිය ගිය හොත් ඒ වෙනුවට පත්කල යුතු නීත්‍යානුකූල නියෝජිතයා පිලිබඳවද හිමිකම් ප්‍රකාශයේ දැක්විය යුතු බවද පනතේ දක්වා ඇත.

 

යම් විත්තිකරුවකුට සිතාසි ලැබී  අධිකරණය පැහැර හරින අවස්ථාවක ඇති වන තත්වය කුමක්ද?

නියමිත පරිදි සිතාසි ලැබුනු පසු යම් විත්තිකරුවකු අදාල දිනයේදි හිමිකම් ප්‍රකාශ ඉදිරිපත් කර නැත්නම්  එම තැනැත්තාට විරුද්ධව ඒක පාර්ශ්විකව නඩුව විභාග කල යුතු බවටත්, අධිකරණයේ අවසරය නොලබා හබ මතු කිරීමට හෝ වෙනත් පාර්ශ්වකරුවකුගේ හිමිකම් පිලිබද විවාද කිරිමට හෝ ඔහුට හිමිකමක් නොමැති බවටද පනතේ දක්වා ඇත.

එහෙත් පැහැර හැරිය පාර්ශ්වකරුගේ  හිමිකම් පෑමේ නිර්ව්‍යාජත්වය පිලිබඳ අධිකරණය සෑහීමට පත්වුවහොත් නඩු ගාස්තු සම්බන්ධයෙන් සහ හිමිකම් පෑමේ ප්‍රකාශයන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් හෝ වෙනත් කරුණක් සම්බන්ධයෙන් සුදුසු යැයි අධිකරණය සලකන කොන්දේසි පිට එලෙස පැහැර හරින පාර්ශ්වකරුට හිමිකම් ප්‍රකාශයක් ඉදිරිපත් කර එම හිමිකම් ප්‍රකාශය බලපාන පාර්ශ්වකරුවන්ට දැනුම්දීමෙන් පසුව නඩුවට සහභාගී විය හැක.

එබැවින් ඔබට යම් බෙදුම් නඩුවක් පවතින්නේ නම් අදාල  දිනයේදී ඔබ ඔබගේ හිමිකම ඉදිරිපත් කිරිම තුලින් ඔබගේ අයිතිවාසිකම් ලබා ගැනීමට හැකිවනවා පමණක් නොව, නඩුවේ විනිශ්චය  අප්‍රමාදව ලබාගැනීමට හැකි වන බව ඔබ සිතේ තබා ගත යුතු කරුණක් වන්නේය.

 

 

බෙදුම් නඩුවකදී සාක්ෂි හා ලේඛන ලැයිස්තුව අධිකරණයට ගොනු කල යුත්තේ කෙසේද?

‍බෙදුම් නඩුවකදී පාර්ශවකරුවන් හිමිකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නඩුව විභාගයට දින නියම කරනු ලබන අතර,  නඩු විභාගයේ  දිනට දින 30කට ප්‍රථම පැමිණිල්ල හා සියළුම විත්තිකරුවන් සාක්ෂි සහ ලේඛන ලැයිස්තු ගරු අධිකරණයට ඉදිරිපත් කල යුතුය. එබැවින් ඔබගේ හිමිකම ඔප්පු කිරීමට අවශ්‍ය ලේඛන සහ සාක්ෂිකරුවන් පිලිබද විස්තර ඔබගේ නීතීඥවරයාට කල් ඇතිව ලබා දීම අත්‍යවශ්‍ය වන්නේය.

 

බෙදුම් නඩුවක නඩු විභාගයේ කාර්ය පටිපාටිය

‍වෙනත් නඩු වලදී මෙන්ම බෙදුම් නඩු වලදීද මුලින්ම පැමිණිලිකරු විසින් සාක්ෂි කැඳවීම සිදු කරනු ලබන අතර, සාමාන්‍යයෙන් පැමිණිල්ල විසින් මුලින්ම කැඳවනු ලබන්නේ මුල් මැනීම සිදු කල මූලික පිඹුර සහ වාර්තාව ඉදිරිපත් කල උසාවි කොමසාරිස්වරයාය. එයට හේතුවී ඇත්තේ  බෙදුම් නඩුවේ විෂය වස්තුව නිවැරදිව හඳුනාගත් බවට අධිකරණයේ තහවුරු කල යුතුය. යම් හෙයකින් නඩුවේ විෂය වස්තුව මැන ඉදිරිපත් කරන ලද මූලික පිඹුරේ සඳහන් ඉඩම බවට තහවුරු නොවන්නේ නම් එවැනි අවස්ථාවකදී බෙදුම් නඩුව තවදුරටත් පවරා පවත්වා ගෙන යාමට නොහැක.

නඩුවේ විෂය වස්තුව හඳුනාගත් බවට අධිකරණයේ තහවුරු කිරීමට නොහැකි අවස්ථාවලදී අධිකරණයට බෙදුම් නඩුවේ පැමිණිල්ල නිශ්ප්‍රභා  කිරීමට ආඥා කල හැකිය.

නඩුවේ විෂය වස්තුව තහවුරු වීමෙන් පසුව පැමිණිල්ල විසින් සාක්ෂි කැදවීමෙන් පසු විත්තිකරුවන්ට සාක්ෂි කැදවීමට  නියම කරනු ලබයි. නඩු විභාගයේදී සෑම පාර්ශවකරුවකු විසින්ම එම ඉඩමට තමන්ට ඇති අයිතිවාසිකම් ඔප්පු, ලේඛන මගින් මෙන්ම සාක්ෂිකරුවන් කැඳවීමෙන් අධිකරණයේ ඔප්පු කල යුතුය. දෙපාර්ශවයේම සාක්ෂි අවසන් වීමෙන් පසු එම පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි සහ ලේඛන සලකා බලා  එම ඉඩමෙන් පාර්ශ්වකරුවන්ට හිමිවිය යුතු කොටස් ප්‍රමාණය සම්බන්ධයෙන් මුලින්ම අධිකරණය විසින් ආඥාවක් කරනු ලබන අතර, එය මුල් තීන්දුව හෙවත් අතුරු තීන්දුව ලෙස හදුන්වනු ලබයි.

තවද, අතුරු තීන්දුව ලබා දීමේදී එකී පාර්ශ්වකරුවන්ගේ හිමිකම් වල කොටස් අනුපාතයේ එකතුව සම්පූර්ණ එකක් නොවන අවස්ථාවන්හිදී එම ඉතිරි කොටස වෙන්කොට නොදී තිබීමට හැරිය යුතු බවට ආඥාවක් කිරීමටද අධිකරණයට බලය ඇත.

 

 

 

බෙදුම් නඩුවක මුල් තීන්දු ප්‍රකාශය මගින් කිනම් ආඥා කල හැකිද?

බෙදුම් නඩුවක දිය හැකි ආඥාවන් 26(2) වගන්තියේ දක්වා ඇත. ඒ අනුව  කරනු ලබන ආඥා එකිනෙක අතර අනනුකූලතාවයක් ඇති නොවන ආකාරයෙන් පහත සදහන් ආඥා අතරින් එකක් හෝ ඊට වැඩි ගණනක් හෝ  මුල් තීන්දු ප්‍රකාශයට ඇතුලත් කරනු ලැබිය හැකිය.

(අ) ඉඩම බෙදා වෙන් කිරීම සඳහා වූ ආඥාව,

(ආ) සම්පූර්ණ ඉඩම  එකක් වශයෙන් හෝ එය කැබලි වලට කඩා හෝ විකිණිම සඳහා වූ ආඥාව,

(ඇ) ඉඩමේ කොටසක් හෝ  පංගුවක් හෝ විකිණීමත් ශේෂය  බෙදා වෙන් කිරීමත්  සඳහා වූ ආඥාව,

(ඈ) ඉඩමේ යම් පාර්ශ්වකරුවකුගේ කොටස නියෝජනය කෙරෙන යම් පංගුවක්  පමණක් මායිම් ලකුණු කොට ඉඩමේ ශේෂ කොටසින් වෙන් කරන ලෙස සඳහා වූ ආඥාව,

(ඉ) ඉඩමේ යම් නිශ්චිත පංගුවක්  නිශ්චය වශයෙන් සදහන් කරන පාර්ශ්වකරුවන් හෝ පාර්ශ්වකරුවන් කණ්ඩායමක් අතර හෝ පොදුවේ තවදුරටක් අයිතිව තිබිය යුතු බවටවූ ආඥාව  ,

(ඊ) බෙදා වෙන් කිරීමට හෝ  මනිනු ලැබීමට අදහස්  කර ඇති ඉඩමේ යම් නිශ්චිත පංගුවක්  නඩුවේ විෂය  වස්තුවෙන් බැහැර කල යුතු බවටවූ ආඥාව,

(උ) යම් කොටසක් වෙන් කොට නොදී තිබෙන්නට හැ‍රිය යුතු බවට වූ ආඥාව

 

යම් පාර්ශ්වකරුවකුට හිමි වන කොටස අල්ප වන අවස්ථාවකදී බෙදුම් නඩුවක කුමන තත්වයක් ඇති වේද?

බෙදුම් නඩු පනතට 1997 වර්ෂයේදි කරන ලද සංශෝධනය පරිදි බිම් ප්‍රමාණයෙහි හිමිකම තිබුනද, බිම් ප්‍රමාණය හෝ වටිනාකමේ අල්ප බව හේතුවෙන් හෝ සංවර්ධන කාර්ය සඳහා ඉඩම බෙදා වෙන් කිරීම් විධිමත් කරන යම් ලිඛිත නීතියක නියමිත අවම ප්‍රමාණයට වඩා ඒ තැනැත්තාට බෙදා වෙන් කල බිම් කට්ටිය අඩු නම් හා ඒ අනුව එසේ වෙන් කර දීම අවස්ථාවෝචිත නොවන බව අධිකරණය සලකන අවස්ථාවක ඒ කොටස හිමි තැනැත්තාට වන්දි ගෙවීම මත වෙනත් පාර්ශවයකට ඒ කොටසද ඇතුළුව කොටසක් වෙන් කර දිය හැකිය. මෙහිදී සංවර්ධන කාර්යයන් ලෙස සලකනු ලබන්නේ එම ඉඩම අයත් පලාත් පාලන ආයතන වල නේවාසික සංවර්ධනය සඳහා අවශ්‍ය වන අවම බිම් ප්‍රමාණය මතය. මෙය එකම දිස්ත්‍රික්කයක් තුල පිහිටි පලාත් පාලන ආයතන අතරද එකිනෙකට වෙනස් වන අනු නීති ඇති බව සැලකිය යුතුය. ඒ අනුව බිම් ප්‍රමාණයද වෙනස් විය හැකි බව සැලකිය යුතුය.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>