TT Ads

 

හිරු ටී.වී. නාලිකාවෙන් විකාශය වන “හුස්මක් තරමට” ටෙලි නාට්‍යය නිසා මෑත කාලයේදී ඉහළ ප්‍රේක්‍ෂක අවධානයක් දිනාගත් ගයාන් ගුණවර්ධන සහ පූජනී භාග්‍යා හොර රහසේම යුගදිවියට පිවිස ඇති බවට ආරංචියක් මේ දිනවල පැතිර යමින් පවතියි. ඊට නිමිත්ත වී ඇත්තේ ඔවුන් දෙදෙනා මනාල යුවළක් ලෙස පෙනී සිටින
ඡායාරූප පෙළකි. එම ඡායාරූප පෙළ පසුපස ඇති ඇත්තම කතාව ගයාන් “රැජිනිය”ට හෙළි කළේ මේ අයුරිනි.

 මේ ආරංචියේ ඇත්ත නැත්ත මොකක්ද ගයාන්?
මම හොරෙන්ම කසාද බැඳලාද කියන ප්‍රශ්නය මේ දවස්වල හුඟක් අයට ඇති වෙලා තියෙනවා. නමුත් ඇත්තටම එහෙම දෙයක් වුණේ නැහැ. මේක අපි කරපු බ්‍රයිඩල් ෆොටෝ ෂූට් එකක් විතරයි.

 විවාහ වුණා කියලා පැතිරුණු ආරංචියත් එක්ක ඔබට ලැබුණු ප්‍රතිචාර මොන වගේද?
ඒ ගැන ලැබෙන ප්‍රතිචාර ගැන නම් හිතා ගන්නත් බෑ. හුඟක් අය මගේ තාත්තට කතා කරලත් අහල තිබුණා “පුතා හොරෙන්ම බැන්දද?” කියලා. මගේ හුඟක් රසිකාවියෝ මේ සිදුවීම නිසා මාත් එක්ක තරහත් වුණා. “අයියා අපට හොරෙන් කසාද බැන්දා නේද? ඇයි අපට එහෙම කළේ ?” කියලා ඒ අය අහනවා. ඒ විතරක් නෙවෙයි ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවලත් ප්‍රචාරය වෙනවා මමයි පූජනීයි කසාද බැඳලා කියලා. අපි දෙන්නා එකට රඟපාන නිසා හුඟක් අය හිතන්න ඇති මේක ඇත්තක් කියලා. හැබැයි ඇත්තටම නම් පූජනී මගේ හොඳ මිතුරියක් විතරයි.

 මේ ආරංචිය ඇත්තක් නොවුණත්, ඔබ මේ වනවිට පෙම්වතෙක් කියන ආරංචිය නම් බොරුවක් නෙවෙයි නේද?
නැහැ. රංගන ශිල්පියෙක්, ගායකයෙක්, නිවේදකයෙක් සහ ශබ්ද පරිපාලක ඉංජිනේරුවෙක් විදියට මේ කාලයේ මම හුඟක් කාර්යබහුලයි. ඒ නිසා ආදරය වෙනුවෙන් දැන් මට කාලය වෙන් කරන්න අමාරුයි. 2018 වසර වනතුරු නම් මට පෙම්වතියක් හිටියා . නමුත් දැන් මම තනිකඩයි.

 ඔබ සහ ගායන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් වන කාවින්ද්‍යා අධිකාරි අතර මීට පෙර ප්‍රේම සම්බන්ධයක් තිබූ බව බොහෝ දෙනා දැන සිටි කාරණයක්. ඒ සබඳතාව බිඳී යාම නිසා ඇතිවූ කලකිරීමත් ඔබ ඔය විදිහේ තීරණයක් ගන්න හේතු වුණා කියලා කියන්න පුළුවන්ද?
ඇත්තෙන්ම ඔව්, මට ඒ ගැන කලකිරීමකුත් තියෙනවා. ඒ කාලේ මගේ වැඩකටයුතු සේරම අඩාල වෙලයි තිබුණේ. නමුත් දැන් මම ඒ මගහැරුණු දේවල් සේරම නැවත පටන් අරන් කැපවීමෙන් ඒ වැඩකටයුතු කරගෙන යනවා. අද මගේ ලෝකේ ඉන්නේ මගේ අම්මා, තාත්තා, සහ මගේ සහෝදරිය විතරයි. ආදරය කරන්න කෙනෙක් ජීවිතයට ළංකරගෙන කලින් විඳපු දුක ආයෙමත් විඳිනවාට වඩා මගේ ජීවිතේ හොඳ තත්ත්වයකට ගොඩනගා ගන්නයි දැන් මට ඕනෑ කරන්නේ.

 කවදාහරි ඔය ස්ථාවරය වෙනස් කරගෙන විවාහයක් ගැන හිතන්න තීරණය කළොත් ඔබ කලා ක්‍ෂේත්‍රයේම කෙනෙකුව සහකාරිය කර ගනීවිද?
යම් දවසක මට හොඳ ස්ථාවරයක් ගොඩනගා ගන්න පුළුවන් වුණොත් සමහර විට එදාට මම විවාහයක් ගැන හිතාවි. හැබැයි ඒ සහකාරිය කලා ක්‍ෂේත්‍රයේ කෙනෙක් වේවිද? එහෙමත් නැත්නම් වෙනත් වෘත්තියක කෙනෙක් වේවිද කියලා නම් මට දැන්ම කියන්න බැහැ. මොකද ඒක දෛවයට අනුව තීරණය වෙන දෙයක්. හැබැයි දැනට නම් විවාහය කියන දේ මගේ හිතේ අහලකවත් නෑ.

කිෂාන් කනංකෙ
ඡායාරූප -The Vanity

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>