TT Ads

අවුරුදු 40ක් වයසැති විවාහය ප්‍රමාද වූ …… ප්‍රදේශයේ උසස් රැකියාවක නියුතු අයෙක්මි. ඉක්මන් විවාහයක් සඳහා සොයන්නේ වයස 35ට අඩු දිළිඳු තරුණියකි. වැන්දඹු වුවද සැලකේ. වරදට සමාව. තමාම අමතන්න.”
මේ එක්තරා ජාතික පුවත්පතක මංගල යෝජනා තීරයක පළවී තිබූ දැන්වීමකි. මෙම දැන්වීම අවසානයේ එම තැනැත්තාගේ දුරකථන අංකයද විය.
මෙම දැන්වීම වයස 35ට ආසන්න වූ, එතෙක් විවාහයක් කර ගැනීමේ අවස්ථාවක් නොලද තරුණියකගේ ඇස ගැටිණි. නමුත් ඊට තමාටම කතා කරන්නට දිරියක් නොවූ බැවින් ඇය මිතුරියකට එම කාරිය පැවරුවාය. මිතුරිය එම අංකයට ගත් කළ අනෙක් පසින් ඇසුණේ පිරිමි කට හඬකි.
“කවුද ඔය කතා කරන්නේ ? මනමාලි වෙන්න ඉන්න කෙනාද?” ඒ තැනැත්තා ඇසීය.
“එයා නම් නෙමේ එයාගේ ළඟම යාළුවෙක්” මිතුරිය කීවේ මඳක් පැකිලෙමිනි.
“මං ඒ දැන්වීමෙම ලියලා තියෙනවා නේද තමාම අමතන්න කියලා. ඉතින් මොකටද තෝල්කයෝ?” ඔහු කතා කළේ තරමක් වේගවත් ස්වරයකිනි.
ඉන් මිතුරිය තුළ පසුබෑමක් ඇති වූයෙන් ඇය තම හිතවතියට දුරකථනය දුන්නාය. ඉන්පසු එළඹුණේ එම තරුණියගේ වාරයයි. ඇය සැලෙන දෑතින් දුරකථනය අතට ගෙන ‘හලෝ’ යනුවෙන් ඇමතුවාය.
“ඔයාද මනමාලි?” ඔහු ඇගෙන් ඇසුවේය.
“මම නම් තමයි” ඇය කීවේ පැකිලෙමිනි.
“මොකක් හරි වැරැද්දක් එහෙම සිද්ධ වෙලා තියෙනවද?”
ඔහුගේ එම දෙවන පැනයෙන් ඇය වික්‍ෂිප්ත වූවාය.
“නෑ…. නෑ…. එහෙම දෙයක් නම් වෙලා නෑ” ඇය පිළිතුරු දුන්නේ ආයාසයෙන් දිරිය ගනිමිනි.
“ඒකට කමක් නෑ, හැබැයි මෙහෙම දෙයක් තියෙනවා….” එසේ පැවැසූ ඔහු අනතුරුව කීවේ සාමාන්‍ය තරුණියකට තබා “වළ පයයි ගොඩ පයයි” තත්ත්වයේ හිඳින වයස අග්ගිස්සේ වූ කාන්තාවකටවත් නිර්ලජ්ජිතව අසා සිටිය නොහැකි අසභ්‍ය වදන් වැලකි. එමගින් ඔහු ඇයට කියා පෑවේ තම ශරීර ඉන්ද්‍රියන්හි ප්‍රමාණය, තමාට කළ හැකි දෑ සහ තමන්ගේ අවශ්‍යතා පිළිබඳවය.
ඔහු එක දිගට නොනවත්වා කියාගෙන ගිය මේ වදන් වැලෙන් තුෂ්ණිම්භූත වූ තරුණිය අතින් දුරකථනය ද ගිලිහී බිම වැටිණි.
නාඳුනන පුද්ගලයකු පුවත්පතක පළකළ මංගල යෝජනාවක් සම්බන්ධයෙන් කතා කරන්නට ගොස් තමාට මේ විඳින්නට සිදු වූ අත්දැකීම පිළිබඳව ඇයට සිහි එලවා ගත නොහැකි තරම් විය.
කෙසේ හෝ පැය භාගයක්වත් ගියේ නැත. ඇගේ ජංගම දුරකථනයට, එනම් ඇය කලින් අර පුද්ගලයාට කතා කිරීම සඳහා යොදා ගත් දුරකථනයට වෙනත් නාඳුනන ජංගම දුරකථන අංකයකින් ඇමතුමක් ලැබිණි.
“මේ කතා කරන්නේ අසවලාද?” ඔහු ඇසීය.
“ඔව් එයා තමයි” තරුණිය කීවේ කල්පනාකාරීවය.
“මම ගොඩක් විනෝදයට කැමති, විවිධ අය ආශ්‍රය කරන්න කැමති කෙනෙක්. මං කැමතියි ඔයාවත් ඒ විදිහට නිදහසේ ආශ්‍රය කරන්න. අපට හොඳට විනෝද වෙන්න පුළුවන්. ඔයා කැමති දේ මං කරන්නම්. මං කැමති දේ ඔයා කරන්න.”
“මේ කවුද කතා කරන්නේ? කරුණාකරලා කියන්න කොහෙන්ද මගේ නොම්මරේ හම්බ වුණේ” තරුණිය කෑ ගසා ඇසුවාය.
“මොකද ඔච්චර කලබල වුණේ? අහවල් මිතුරු සමාජයේ මහත්තයෙක් මට මේක දුන්නේ. ඇයි ඔයා යාළුවෝ අඳුනගන්න කැමති නැති කෙනෙක්ද? එහෙනම් මොකටද නොම්මරේ එයාට දුන්නේ? නිකම්ම නෙමේ රුපියල් දාහක් එයාට ගෙවලයි මං මේ නොම්මරේ එයාගෙන් ගත්තේ”
තරුණිය අන්දමන්ද වී හඬා වැටෙන්නට වූවාය. ඇයව මානසිකව ලිංගික අතවරයට පත් කළ තැනැත්තා ඉන්පසු නිහඬ විය.
මේ අපේ රටේ කාන්තාවන්ව ලිංගික කටයුතුවලට යොදා ගැනීම සඳහා හසුකරගනු ලබන තවත් උගුල් විශේෂයකි. පුවත්පත්වල මංගල යෝජනා තීරවල මෙසේ ව්‍යාජ දැන්වීම් පළකොට ඒ ඔස්සේ හඳුනා ගන්නට ලැබෙන තරුණියන්ගේ අංක වෙනත් පිරිමින්ට මුදලට අලෙවි කිරීම මෙහි ස්වභාවයයි. මෙසේ අලෙවි කරන එක් ක්‍රමයක් වන්නේ පෞද්ගලික මිතුරු සමාජවලට සම්බන්ධ වන පිරිමින්ට ලබා දීමය.
සාමාන්‍යයෙන් පුවත්පතක මංගල යෝජනා තීරයක් හරහා විවාහයට සහකරුවකු සොයන්නේ බොහෝ විටම විවිධාකාර හේතු මත විවාහය ප්‍රමාද වූ තරුණින්ය. එසේම වැන්දඹු හා දික්කසාද කාන්තාවන්ද මේවා තුළින් අලුත් විවාහයක් කර ගැනීම සඳහා බොහෝ විටම යොමු විය හැකිය. වයස අවුරුදු විසි ගණන්වල මුල් භාගයේ හිඳින තරුණියන් හා උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු තරුණියන් මෙවැනි තීර ඔස්සේ මනාලයකු සෙවීම බොහෝ සෙයින් දුලබ වූ කාරණයකි. එසේ වන්නේ නම් ඒ බොහෝ විට ඔවුන්ගේ මව්පියන්ගේ මැදිහත්වීමකට අනුව සිදුවන්නකි.
කෙසේ වුවද අද වනවිට ඉතා කනගාටුදායක තත්ත්වයක් වන්නේ මේ මංගල යෝජනා තීර තුළින් දැන්වීම් පළ කරන ව්‍යාජ මනමාලයන් හිඳීමය. ඔවුහු විවිධ ආකාරයෙන් පෙනී හිඳිමින් මංගල යෝජනා පළකර ඒ හරහා කාන්තා ලිංගික ජාවාරමෙහි යෙදෙති. එකම පුවත්පතක සති ගණනාවක කලාප ගෙන මංගල යෝජනා තීර හොඳින් අධ්‍යයන කළහොත් මෙවැනි සුළු සුළු වෙනස්කම් සහිත එකම විදිහේ මංගල යෝජනා සොයා ගැනීම අපහසු නැත. මේවා බොහෝ විටම එකම පුද්ගලයකු විසින් පළ කරන ව්‍යාජ මංගල යෝජනා බවට සැක කළ හැකිය.
ඉහත සඳහන් කළ මංගල යෝජනාව පිළිබඳව කරුණු විපරම් කරන කළ පෙනී ගියේ එම යෝජනාවද සුළු සුළු වෙනස්කම් ඇතිව විවිධ දුරකථන අංක යටතේ එම පුවත්පතේ සති කීපයකට වතාවක් වත් පළවන බවය. මෙසේ ඔහුට අමතන තරුණියන්ගේ දුරකථන අංක සුරක්‍ෂිතව තබා ගන්නා ඔහු ඒවා තමන් විසින් පවත්වාගෙන යන මිතුරු සමාජයකට (තරුණියන් හඳුනා ගැනීම සඳහා) සම්බන්ධවන තරුණයන්ට මුදලකට අලෙවි කරනු ලැබේ. මේ එක් තරුණයෙකු කීවේ තමාගෙන් ඒ සඳහා රුපියල් පන්සීයක මුදලක් අය කළ බවයි.
මීට දශක කිහිපයකට ඉහතදී පුවත්පත්වල මිතුරු සමාජ යනු ඉතා ජනප්‍රිය අංගයකි. මේවායින් දැන හඳුනාගෙන යුගදිවියට පිවිසි තරුණ තරුණියෝ එකල බොහෝ වූහ. නමුත් දැන් මේවාද ලිංගික ජාවාරම් බවට පත්ව තිබේ. ඒ නිසාමදෝ බොහෝ පුවත්පත්වලින් දැන් මෙවැනි මිතුරු සමාජ දැන්වීම්වලට ඉඩකඩ ලැබෙන්නේ නැත. නමුත් සමාජජාලා ඇතුලු විවිධාකාර ක්‍රම ඔස්සේ මෙබඳු දේවල් පවත්වාගෙන යාම දැන් පෙරටත් වඩා පහසු වී තිබේ. මේ හේතුව මත පුවත්පතක් හරහා විශේෂයෙන් තරුණියකට මනාලයකු සොයන්නේ නම් ඒ සඳහා දැනුම් තේරුම් ඇති වැඩිහිටියන්ගේ මැදිහත් වීම ඉතා වැදගත් වන බව අවධාරණය කරවමු.

ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>