TT Ads

කාව හරි මුණ ගැහුනම ”අනේ මට ඔයාගෙ සපත්තු දෙක ටිකක් දාගන්න දෙන්න” කියලා ඉල්ලන්න ඔබට පුළුවන්ද?
”මොන මෝඩ කතාවක්ද” කියලා සමහර විට එ් කෙනා ඔබෙන් අහයි.
සතුටින් ඉන්න කෙනෙක් දැක්කාම එයා ළඟට ගිහින් ”අනේ මට ඔයා ළඟ තියෙන සතුටින් බිඳක් දෙනවාද?” කියලා ඔබට ඉල්ලන්න පුළුවන්ද?
”අනේ මේ නිකන් පිස්සු කතා නොකියා හිටපන්” කියලා සමහර විට එ් කෙනා ඔබට කියයි.
ඇත්තටම අපේ ජීවිතයේදී අපි කොයි තරම් නම් දේවල් පිස්සුවෙන් වගේ හොයනවද? මේ ප‍්‍රශ්නයට පිළිතුරු හොයන්නත් එක්ක දවසක් මෙන්න මේ විදියේ පුංචි වැඩක් මම කළා. එදා මා ඉදිරිපිට සියයක පමණ පිරිසක් අසුන් ගෙන සිටියා. වේදිකාවේ සිටි නිවේදකයා වුණේ මමයි.
”මිනිසුන්ගේ සිත් කියවීම සහ සිත් ඇමතීම” තමයි වැඩසටහන වුණේ. මම ඒ වෙලාවේ මේ වගේ වැඩක් කළා. සියලූ දෙනාගේම අතට මම බැලූම බැගින් ලබා දුන්නා.
”ඔය බැලූමේ තමන්ගේ නම ලියන්න….”
මම පුංචි ඉල්ලීමක් කළා.
දැන් හැමෝම තමන්ගේ නම බැලූමේ ලියනවා.
වේදිකාව එහා පැත්තේ තිබුණා පුංචි කාමරයක්.
”තමන්ගේ නම ලියපු බැලූම අර තියෙන කාමරයට ගිහින් දාන්න ….”
මම තවත් ඉල්ලීමක් කළා.
හැමෝටම තිබුණේ පුංචි කුතුහලයක් …. විනාඩි ගණනකින් කාමරයම බැලූම් වලින් පිරිලා ගියා.
”දැන් හැමෝම එළියට යන්න…. මම කිව්වට පස්සේ කාමරයට ගිහින් තමන්ගේ නම ලියපු බැලූම විනාඩි 2ක් ඇතුළත හොයාගෙන මගේ ළඟට එන්න…. හැබැයි ඔබට ලැබෙන්නේ විනාඩි 2ක කාලයක් විතරයි.”
මම හැමදෙනාටම පුංචි අභියෝගයක් දුන්නා.
”එකායි …. දෙකායි ….. තුනායි …. දැන් යන්න …..”
මම එහෙම කිව්වා විතරයි හැමෝම කාමරය ඇතුළට දුවලා ගියා. දැන් එතන එකම පොරයක්. තත්පරයෙන් තත්පරය කාලය ගත වුණා …. එ්ත් කාටවත් තමන්ගේ නම ලියපු බැලූම හොයාගන්න බැරි වුණා.
”විනාඩි 2ක ඉවරයි …. දැන් නවතින්න.”
මම පුංචි විධානයක් කළා.
දෙවැනි තරගය පටන් ගත්තේ ඊට පස්සෙයි.
”දැන් කරන්න තියෙන්නේ මෙන්න මේකයි …. මම එකායි ….. දෙකායි …. තුනායි කිව්වාම හැමෝම කාමරය ඇතුළට දුවගෙන යනවා. ඊට පස්සේ තමන්ට අහුවන බැලූම අයිතිකාරයාට දෙනවා ….”
කට්ටියම වැඬේට ගොඩක් කැමති වුණා. තරගයත් පටන් ගත්තා. විනාඩියක් ගියේ නෑ. තමන් නම ලියපු බැලූම ඔන්න දැන් හැම කෙනා ළඟම තියෙනවා.
ඊට පස්සේ මම කට්ටියටම වාඩි වෙන්න කිව්වා.
”ඔබට මම කියාදුන් පාඩම මොකක්ද කියලා තේරුනාද?”
”අපේ ජීවිතයත් හරියට ඔය වගේ. අපි හැම දෙනාම අපේ සතුට තියෙන්නේ කොතනදැයි හරිහැටි නොදැන හැම තැනම සොයනවා. ඒත් ඇත්තටම අපේ සතුට තියෙන්නේ තවත් පුද්ගලයෙක් ළඟ හැංගිලා. ඔබ ඔවුන්ට ඔවුන් සොයන සතුට දුන්නාම ඔබ සොයන සතුටත් ඉබේටම ලැබෙනවා”
මම එහෙම කිව්වාම කට්ටියම හයියෙන් අත්පුඩි ගැහුවාද?
”නෑ …..”
”හුම් …..” කියන්නේවත් නැති නිශ්ශබ්දතාවකින් ගැඹුරින් එ් ගැන හිතන්න ගත්තා.

ගීත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>