TT Ads

අප කිසිවකු, කිසිවකින්වත් ජය මිස පරාජය අත් කර ගන්නට කැමති නැත. නමුත් අපට වැඩිපුර අත් විඳින්නට සිදු වන්නේද පරාජය සහ ඒ ආශ්‍රිත සිත් වේදනාවන්ය. අපට පරාජයක් හිමි වීමට බොහෝ විටම හේතුව අපේම සිතිවිලි බව ඔබ පිළි ගන්නවාද? ඔබ පිළි ගත්තත් නැතත් සත්‍යය එයයි.

ඇමෙරිකාවේ ජීවත් වූ ප්‍රකට මනෝ විද්‍යාඥයකු වන විලියම් ජේම්ස් පවසා ඇති අන්දමට ලොව සෙලවීමට තරම් විශාල හැකියාවක් යටිසිත තුළ පවතී.අපේ උඩු සිතෙහි නිතර රැව් පිළිරැව් දෙන සිතිවිලි යටිසිතට කිඳා බැසීම සිදුවේ. එසේ යටි සිතට කිඳා බසින සිතිවිලි කෙරෙහි යටිසිත නිරතුරු අවධානය යොමු කරයි. මෙසේ යටිසිත වෙත යමක් කෙරෙහි අවධානය යොමු වන්නේද එයට අනුරූප වූ තත්ත්වය හෝ ප්‍රතිඵලය එළි දැක්වීමට සැලැස්වීම යටි සිතේ ස්වභාවයයි. ඔබ, ඔබ ගැන සිතන්නේ කෙසේද? නිතරම ඔබ ජයග්‍රහණය අත්පත් කර ගන්න කෙනෙකු බවට ඔබට හැඟේ නම් එලෙසින්ම සිතන්න. විවිධ අංශවලින් ඔබට ජයග්‍රහණයක් අත්දකින්නට ඉඩ සැලැස්වීමට යටි සිත ක්‍රියා කරයි. නමුත් ඔබට නිතරම සිතෙන්නේ “මට නම් කිසිදෙයක් හරි යන්නෙ නෑ. හැම වෙලාවෙම මට ඉතිරි වෙන්නේ වේදනාවම විතරයි. ඇයි මටම මෙහෙම වෙන්නේ?” යනුවෙන් ඔබට නිතර නිතර සිතෙනවා නම්, “මං නම් මහ අවාසනාවන්තයෙක්” යන සිතිවිල්ල ඔබේ සිතින් ඉවත්ව නොයන්නේ නම් ඔබට ජීවිතයේ විවිධ පැති ඔස්සේ පරාජය සහ අවාසනාවන්ත තත්ත්වයන් අත්පත් කර දීමට යටිසිත නොපමාවම කටයුතු කරන බව ඔබට විශේෂයෙන් අවධාරණය කළ යුතුවේ.මුලින්ම ඔබ කළ යුත්තේ අපේ උඩු සිත සහ යටිසිත ක්‍රියාත්මක වන අන්දම පිළිබඳව මනා අවබෝධයක් ඇති කර ගැනීමය.

උඩු සිත යනු කල්පනා කරන සිතයි. යමක හොඳ නරක, ඇත්ත බොරුව අවබෝධ කර ගැනීම, තීරණ ගැනීම, තෝරා ගැනීම, සංසන්දනය කිරීම මේ සියල්ල උඩු සිත විසින් කරනු ලබයි. ඔබ ආදරය කරන පුද්ගලයා, ඔබ භාවිතා කරන දේවල් ඔබ ඇසුරු කරන අය මේ සියල්ල ඔබට තෝරා දෙන්නේ ඔබේ උඩු සිත විසිනි.

ඔබ මේ සියලු දෙය කරන අතරේ ඔබේ හෘදය ස්පන්දනය වෙයි. ඔබේ සිරුරේ රුධිරය ගමන් කරයි. ඔබ ගන්නා කෑම දිරවයි. මේ සියල්ල සිදු වන්නේ ඔබේ දැනුවත් භාවයකින් තොරවය. මේවා සම්බන්ධයෙන් උඩු සිතේ පාලනයක් නැත. එවැනි ක්‍රියා මෙහෙයවන්නේ ඔබේ යටි සිත විසිනි. යටිසිත නිරන්තරයෙන් ක්‍රියාත්මකව පවතී. හරියටම ඔබ නොකඩවාම හුස්ම ගන්නා පරිද්දෙනි. කිසියම් අනතුරකින් ඔබට පියවි සිහිය නැතිවී ගිය විටෙක මෙන්ම ශල්‍ය කර්මයක් සඳහා ඔබේ පියවි සිහිය නැති කළ විටෙකදී වුවත් යටි සිත ක්‍රියාකාරී වී පවතියි.

යටිසිත ඔබ වෙනුවෙන් අවංකවම සේවාව සැලසීමට සූදානම්ය. මේ සඳහා ඔබ විසින් මුලින්ම කළ යුතු දෙයක් තිබේ. ඒ යටි සිත ඔබේ මිතුරකු කර ගැනීමය. එවිට පැය විසි හතර පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන මේ අසීමිත බලවේගයෙන් ඔබට උපරීම ප්‍රයෝජන ගැනීමට හැකිවේ. ජීවිතයේ සාර්ථකත්වය එමගින් ලබා ගතහැකි අතර සියලු සිතුම් පැතුම් ද ඉටු කර ගත හැකිය.

මනෝ චිකිත්සක උපදෙස් ඇසුරිනි

ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>