TT Ads

දරු ගැබට සති දොළහ සම්පූර්ණයිද?

ගැබිනි ඔබගේ දරු ගැබට මුල් සති දොළහ දක්වා ප්‍රතික්‍රියා දැක්විය යුතු අන්දම පිළිබඳව අපි පසුගිය සතියේදී කතා කළෙමු. මේ ගෙවී යන්නේ දරු ගැබට සති දොළහ සම්පූර්ණ වූ සමයයි.

ඒ කාලයේදී ඔබගේ හැසිරීම, ඇවතුම් පැවතුම් තීරණය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව දැන් අපි දැනුවත් වෙමු.
ගැබිනි කාලයේ පසුවන ඔබට මුල් මාස කිහිපයේදී කෑම ගැනීම අප්‍රිය වන්නට පුළුවන. එසේ කෑම ගැනීමට නොහැකිව සිටි ඔබට දැන් කෑම ගැනීමේ ප්‍රියතාවයක් ඇති වී අවසානයි. ඉදින් එම කාලයේදී ඔබගේ ආහාර ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වීම වැදගත්. ප්‍රධාන ආහාර වේලට අමතරව තවත් ආහාර වේල් දෙකක් තුනක් එකතු කර ගැනීම සුදුසුයි. හැබැයි ඒ ආහාර ප්‍රමාණයෙන් කුඩා විය යුතු අතර සමබල ආහාරයක් වීමත් වැදගත්. නමුත් අපේ මව්වරු බොහෝ විට කරන්නේ දෙන්නෙකුට කන්න ඕනේ යැයි පවසමින් බත් වැඩියෙන් ආහාරයට ගැනීමයි. එසේ වැඩියෙන් බත් ආහාරයට එකතු කර ගැනීමෙන් සිදුවන යහපතක් නොමැත. එවිට සිදුවන්නේ මව අනවශ්‍ය ලෙස තරවීම පමණකි. කළ යුත්තේ අංග සම්පූර්ණ වූ සමබල ආහාර වේලක් ලබා ගැනීමම පමණයි.

තවදුරටත් වමනය යා නම්

ගර්භණී මුල් සති කිහිපයේදී වමනය ස්වාභාවික සංසිද්ධියකි. නමුත් දරු ගැබට සති 9 – 13ත් පසුවී දිගටම වමනය යනවා නම්, කෑම අරුචිය දිගටම පවතිනවා නම්, රුධිරය සුළු වශයෙන් හෝ පිට වෙනවා නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය. එය ඉතාම අත්‍යාවශ්‍යය.

දරු ගැබට සති 12 – 16 කාලයේදී සමහර කාන්තාවන්ට මාසිකව සුළු වශයෙන් රුධිර වහනය සිදුවීමට ඉඩ ඇත. එය සැලකිලිමත් විය යුතු තත්ත්වයකි. මෙසේ සුළු රුධිර වහනය ස්වාභාවික වුවත්, ඒ ගැන සුළුවෙන් තැකිය නොහැකිය. මන්ද ගබ්සාවකදීත් මූලිකම ලක්‍ෂණය වන්නේ සුළු රුධිර වහනයයි. සාමාන්‍යයෙන් මෙම අවධියේදී රුධිර වහනය සිදුවන කාන්තාවන්ගෙන් පහෙන් එකකට පමණ ගබ්සාවීම සිදුවේ. ඒ බැවින් සුළු රුධිර වහනයක් වුවද ඒ ගැන සැලකිලිමත් වීමෙන් වෛද්‍යවරයෙකු කරා යොමු වීමත් අතිශය වැදගත්. මෙවැනි රුධිර වහන සිදුවන අවස්ථාවේදී කුස තුළ වැඩෙන දරු කලලය නිසි ලෙස වැඩෙනවා දැයි පරීක්‍ෂා කර බැලීම වෛද්‍යවරයා අතින් සිදුවේ.

දුර ගමන් යාම

ගැබ්ගත් පසුව සාමාන්‍යයෙන් කාන්තාවක දුර ගමන් යාමට අනුමත නොකරයි. නමුත් සෑම ගැබිනි කාන්තාවකටම එසේ දුර ගමන් යාමේ අවදානමක් නොමැත. කිසිදු සංකුලතාවක් නොමැති සාමාන්‍ය ගැබිනියක එලෙස දුර ගමනක් යාමේ වරදක් නොමැත. නමුත් ඒ යන ගමන පහසුවෙන් යාම වැදගත්. සුළු හෝ සංකුලතා පවතිනවා නම් එවන් ගැබිනි මවක් විනෝද ගමන් ආදියෙ යෙදීම හැකිතාක් දුරට ඈත් වී සිටීම ඇයගේත් කුස තුළ සිටින දරුවාගේත් යහපතට හේතුවනු ඇත.

රැකියාවට අනුව වෙනත් අවශ්‍යතා මත දුර ගමන් යාමට සිදුවීම ස්වාභාවිකය. එවන් මොහොතක හැකිතාක් පරිස්සමින් යුතුව ගමනේ යෙදීම යහපත්. බොහෝ කාන්තාවන් මේ අවධියේ විදේශ ගත වීමට බියක් දක්වයි. එය එසේ විය යුත්තේ ගැබ්ගෙන සති 32 – 34 කාලයේදීය. එයට හේතුව ඉහළ අහසේදී මවට ප්‍රසව වේදනාව ඇති වීමේ අවස්ථා වැඩි නිසාය. දරු ගැබට සති 12 – 14 කාලයේදී මවක විදේශ ගත වීම අනතුරු දායක නොවනු ඇත.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>