TT Ads

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි වයස අවුරුදු දහ අටක තරුණයකු බෝගම්බර බන්ධනාගාරයේදී මට මුණ ගැසිණි. මා බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් උදෙසා සති දෙකකට වරක් ස්වෙච්ඡාවෙන් කරනු ලබන මානසික වෛද්‍ය සායනයට මේ තරුණයා එක්කරගෙන පැමිණියේ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකි. කිසිදු කතාබහකින් හෝ කලබලයකින් තොරව සිටි මේ තරුණයාගේ දෑතේ සහ දෙපාවල පෙනේරයක ඉරි මෙන් තිබූ කැපුම් පාරවල් ඒ වනවිටත් වේලී තිබුණේ නැත. මේ තරුණයා හිටි හැටියේ මෙලෙස ආවේගකාරී අන්දමින් හැසිරෙන  අවස්ථාවල මේ ආකාරයට දෑත් දෙපා තුවාල කර ගන්නා මුත්, අනෙක් හැම අවස්ථාවකම නිහඬව පසුවන්නකු බවද දැන ගන්නට ලැබිණි. ඔහු කිසිවකු සමග කතා කළේ නැත. අඩු තරමින් වතුර ටිකක් බීම හැරුණු විට බන්ධනාගාරයේ ගතකළ කාලය තුළ කිසිදු ආහාරයක් හෝ ගෙන නැත. ඔහු හා සිටි සෙසු රැඳවියන් පවසා තිබූ අන්දමට ඔහු ඉඳහිට මොහොතක හැර ඒ කිසිදු දවසක නිදි නැතිව පසුවීමද විශේෂත්වයක් වුණි.

මම ඔහුව තනිව මා වෙත කැඳවා දිගින් දිගටම ඔහු සමග කතා කළෙමි. මා කෙරෙහි විශ්වාසයක් ඇති කරගත් තරුණයා තම සිතේ සැඟවී තිබූ ඛේදනීය පුවතක් මාවෙත විස්තර කරන්නට විය.

ඔහු පවුලේ එකම දරුවා ය. හදිසියේ හට ගත් හෘදයාබාධයක් මත පියා මියගොස් තිබුණේ ඊට වසරකට කලිනි. ඉන්පසු ඔහුත් මවත් ජීවත් වූයේ තනිවම ය.

ඒ වනවිට මේ තරුණයා උසස් පෙළ ශිෂ්‍යයෙකි. දිනපතා පාසල් යන ඔහු සවස ටියුෂන් පන්තිවලට ගොස්  නිවසට ආවේ රෑ බෝ වී ය. දිනක් හවස ටියුෂන් පන්තිය හදිසි හේතුවක් මත අවලංගු වී තිබූ හෙයින් ඔහුට වේලාසන නිවසට පැමිණිය හැකි වුණි. ගෙට ඇතුළු වී කාමරයට යන්නට ගිය ඔහුට දැකගත හැකි වූයේ දරුවකු විසින් නොදැකිය යුතු දර්ශනයකි. එනම් මව වෙනත් පුරුෂයකු සමග කායික හැසිරීමක යෙදෙමින් සිටීමය. මහත් කම්පනයට පත් වූ ඔහු ආවේගශීලීව කෑ ගැසීමේදී එම පුරුෂයා බැණ වැදී ඔහු එලවා ගත්තේය. ඒ අවස්ථාවේ හැටියට කර කියා ගත හැකි කිසිවක් සිහියට නොනැගීම නිසා හෝ ලැජ්ජාව නිසා  හෝ මවද මේ දරුවාටම බැන වැදුනා මිස සිය අනියම් පුරුෂයාට කිසිවක් කීවේ නැත.

යළි කිසිදිනෙක මව වෙත නොපැමිණෙන්නට තීරණය කළ දරුවා ඒ මොහොතේම තම මිත්තනියගේ නිවසට යන්නට ගියේය.

මේ සිද්ධියෙන් ඔහු කොතරම් කම්පනයකට පත්ව සිටියේද කිවහොත් සියලුම දේ එපා විය. පාසල් ගමන ඉබේම නතර වූ අතර ඔහු නිතරම කළේ හුදෙකලාවේ කල්පනා කරමින් පසුවීමය. හිටිහැටියේ ඔහුගේ මනස තුළ මවත් ඇගේ අනියම් පුරුෂයාගේ හා සම්බන්ධ සිදුවීම සිතුවම් පටයක් මෙන් මනසේ ඇඳෙන්නට වූ අතර ඒ අවස්ථාවට දැඩි ආවේගයක් ඔහු පිටකර හැරියේ ක්‍ෂණිකව කෑ ගසාගෙන මවගේ නිවසට දිවගොස් එහි බඩුමුට්ටු පොළවේ ගැසීමෙනි. ඔහු කොතරම් ආවේගශීලීව හැසිරුණේදැයි කිවහොත් මව ඔහුට ළං වන්නටත් බිය වූවාය. ඔහු වළක්වන්නට හැකි වූයේ මවගේ කෑ ගැසීම අසා එහි දුව එන අසල්වැසි පිරිමින්ට පමණි.

මේ ආකාරයට කිහිප වතාවක්ම ඔහු ක්‍රියා කළ අතර බැරිම තැන මව කළේ පොලීසියට පැමිණිලි කිරීමය. පොලීසියෙන් තරුණයා අත්අඩංගුවට ගෙන අවසානයේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

එහිදීද ඔහුට පෙර මෙන්ම හිටි හැටියේ මව සම්බන්ධ සිද්ධිය සිහියට නැගීම නොවැළැක්විය හැකි වුණි. ඒ මොහොතට ඇති වන දැඩි ආවේගය මුදා හැරීමට බඩු මුට්ටු පොළොවේ ගැසීමේ හැකියාවක් ඔහුට තිබුණේ නැත. එවැනි විටක දී එකවරම කෑ ගසමින් කුමක් හෝ දෙයක් සොයා ගන්නා ඔහු ඉවක් බවක් නැතිව තම දෑත දෙපා කපා ගන්නට පෙළඹුණේ උමතුවෙන් මෙනි. එහිදී කිසිවකුවත් ඔහුට ළං වන්නට පවා බිය විය. නමුත් ඔහු තමාට අනතුරු කර ගත්තා විනා අන් කිසිවකුටවත් කිසිදු හිංසාවක් පීඩාවක් කළේ නැත. මෙසේ තුවාල සිදුකර ගැනීමේදී පිටවන තමන්ගේම රුධිරය දකින විට ඔහුගේ සිත සැනසුණි. එවිට ආවේගය පහ වී ඔහු සන්සුන් විය.

පුතුට රක්‍ෂිත බන්ධනාගාර ගත වන්නට සිදුවූයේ තමාගේ වරදින් බව මවගේ සිත දන්නා නිසාම ඇය පුතු බලන්නට බන්ධනාගාරයට පැමිණියේ පුතු කෙසේ හෝ නිදහස් කර ගැනීමේ අරමුණද පෙරදැරිවය. නමුත් මව දකින්නට පුතු කැමති නොවූ අතර යම් විදියකින් මව දුටුවොත් ඔහුගේ ආවේගශීලි හැඟීම් දැඩිව ඉස්මතු වීමද වැළැක්විය නොහැකි විය.

මේ තරුණයාට තිබුණේ මානසික රෝගයක් නොවේ. දැඩි කම්පනයකට මුහුණ දුන් පසු ඇති විය හැකි තීව්‍ර පීඩන ප්‍රතිචාරය (්ජමඑැ ීඑරුි ඍැ්ජඑසදබ) නම් මානසික තත්ත්වයයි. එම තත්ත්වයට බලපෑ සිද්ධිය සිහිපත් වන හැම විටම ඔහු ආවේගශීලී ලෙස හැසිරෙයි. එම ආවේගය පිට කරන්නට මුලදී නිවසේ බඩු මුට්ටු පොළවේ ගැසුවද බන්ධනාගාරයට පැමිණි පසු ඔහුට එවැන්නක් කිරීමේ අවකාශය අහිමි විය. ඒ අනුව ඔහු තම ආවේගය පිට කරන්නට තෝරා ගත්තේ තමාගේම ශරීරයයි. ශරීරයට වේදනා දෙමින් කුමකින් හෝ කපා තුවාල කරගැනීමේදී ඔහුගේ ආවේගය පහ වී සිත සැනසුණි.

මම බන්ධනාගාරයට ගිය හැම විටම ඔහු පරීක්‍ෂා කර අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර ලබා දුනිමි. ඊට අමතරව උපදේශන ප්‍රතිකාරද දුන්නෙමි. මෙසේ දවස් ගණනාවක් කළ ප්‍රතිකාරවලින් පසු ඔහු සුව අතට හැරිණි. ඉන්පසු මවට ඇප ලබා දී ඔහු නිදහස් කර ගැනීමට හැකි විය.

මහනුවර මහ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන

ඉන්දු පෙරේරා

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>