TT Ads

“අර පාරෙන් එහා පැත්තේ ගෙදරට අලුතෙන් පදිංචියට ආපු මිනිස්සුන්ව නම් මට ඒ හැටි අල්ලන්නේ නැහැ දුවේ.” සංදීපාගේ මව මීට මාස කිහිපයකට පෙර දිනයක එසේ කීවාය.

“ඒ මොකද අම්මේ. එහෙම කියන්නේ” සංදීපා විමසා සිටියේ තරමක කුතුහලයෙන් හා විමතියකිනි.

“ඒ මිනිස්සුන්ගේ හිත්වල මොකක් නමුත් අපි ගැන වෛරයක් තියෙනවා. මට තේරෙනවනේ ඒ අයගේ වැඩ වලින්. මාත් දැන් ටික දවසක ඉඳලා හොඳට හෝදිසි කරලා තමයි මෙහෙම කියන්නේ” සංදීපාගේ මව කීවාය.
තම නිවසට මඳක් එපිටින් ඇති දෙමහල් නිවස දැන් කලෙක සිට කුලියට දෙනු ලබන්නකි. අවුරුද්ද දෙක බැගින් කලින් කලට එහි පදිංචිව හිඳින්නෝ වෙනස් වෙති. අවසන් වරට සිටි පවුලද අද වන විට දුර පළාතක පදිංචියට ගොසිනි. එම පවුල නිවස හැර යාම නිසා මාස කිහිපයක් හිස්ව තිබූ එහි පදිංචියට මීට මාසයකට හමාරකට පෙර වෙනත් පවුලක් පැමිණ තිබේ. එහෙත් ඔවුන් කවුරුන්ද යන්නවත් සංදීපා හා ඇගේ සැමියා දැන නොසිටියහ.

“ඉතින් අම්මේ මේ කොහේවත් ඉඳලා ආපු ඒ මිනිස්සු අපිට මොකටද වෛර කරන්නේ? ඒ මිනිස්සු අපේ කවුද?” එම පවුලේ සාමාජිකයන්ගේ සිත්වල තමන් පිළිබඳව ඇතැයි කී වෛරය පිළිබඳව යළිත් කී පසුව සංදීපා තම මවට කීවාය.

“උඹලා තවම මේ ලෝකෙට හොඳ වැඩියි ළමයෝ? රටේ ලෝකේ සිද්ධ වෙන දේවල් ගැන උඹලට හරියට තේරුමක් නැහැ. මේ සමාජයේ ඉන්නවා ඉරිසියාව කියන දේ ලේ වලම තියන ජාතියක්. අපි උන්ට වඩා හොඳට කලඑළියට ඉන්නවට උන් ඉරිසියා කරනවද කවුද දන්නේ?” මව එසේ කී පසු එහි කිනම් හෝ ඇත්තක් තිබිය යුතු යැයි සිතූ සංදීපා කෝකටත් කියා එය තම සැමියාට කීමටද තීරණය කළාය.

“ඕක අම්මා නිකම් කියන කතාවක් වෙන්න බැහැනේ සංදීපා. අනික අම්මලා අපිට වඩා තමන් ජීවත් වෙන වටපිටාව ගැන හොයන්න පෙළඹෙන අය” එම කතා ප්‍රවෘත්තිය සංදීපා වෙතින් අසා දැන ගත් සැමියා කීය.
නමුදු එම නිවසේ මැදිවියේ මාපිය යුවළක් ඔවුන්ගේ මවක සේ සැලකිය හැකි වියපත් කාන්තාවක් සහ තරුණ දියණියක හා පුතකු සිටින බව පසුව සංදීපාට අනාවරණය කර ගත හැකි විය. එම නිවසේ ප්‍රධානියා හෙවත් පියා සහ තරුණ දියණිය සතියේ දිනවල උදේ සිය මෝටර් රථයෙන් රැකියා සඳහා පිටත්ව යන බවද සංදීපාට නිරීක්ෂණය විය. ඊට අමතරව ඔවුන් පිළිබඳ කිසිවක් සංදීපාට නොවැටහිණ.

එම පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් තම මවගේ සිත තුළ පවතින සැකය කෙමෙන් වර්ධනය වන බව සංදීපාට වැටහී යන ලද්දේ පසුව ඇය නිතරම වාගේ එම නිවස කෙරෙහි සෝදිසි කිරීම නිසාය. ඒ අනුව එහි නිවැසියන් උදෑසන පිබිදෙන හා රාත්‍රී නින්දට යන වේලාව ඔවුන් නිවසේ දොර ජනෙල් හැර තබන සහ වසන වේලාව විදුලි පහන් දල්වන හා නිවන වේලාව ආදිය පිළිබඳව පවා තම මව නිරන්තරයෙන් විමසිලිමත් වන බවක් සංදීපාට වැටහුණි

“මම දැන් නිකමට වගේ ගේට්ටුව ඇරගෙන පාරට ගියා; මෙන්න එතකොට අර ගෙදර ගෑනිත් පාරට වෙලා පාරේ යන මිනිස්සුන් එක්ක විරිත්ත විරිත්තා ඉන්නවා. කිසිම සැකයක් නෑ ඔය ගෑනි මේ අහල පහල මිනිස්සුන්ටත් අපි ගැන මොන මොනවා හරි බොරු හදලා කියනවා ඇති. අනික මාව දැක්කා විතරයි ගෑනිගේ මූණ උල් වුණා. මාත් ඉතින් තූ නොදකින් කියාගෙන ආපහු හැරුණා මිසක් නිකමටවත් ඒකිගේ මුස්පේන්තු මූණ දිහා බලන්න ගියේ නැහැ.”

වරක් සංදීපාගේ මව එසේද කීවාය. ඉන්පසුව ඇය තමන් දන්නා කියන හා ඇසුරු කරන අසල්වැසියන් පෙර තරම් තමන්ට සුහද නොමැති බවක් ද සංදීපාට කීවේ ඇය තව දුරටත් විශ්මයට පත් කරමිනි.
“කෝකටත් ඔන්න මම අද මිසිස් ජයසිංහගෙන් ෆෝන් කරලා ඇහුවා” දැන් ඔයාල ඉස්සර වගේ අපිත් එක්ක කිට්ටුවෙන් ආශ්‍රය නොකරන්නේ අපෙන් මොකක් හරි වරදක් වුණාද? එහෙමත් නැත්නම් අපි ගැන කවුරු හරි ඔයාලට මොකක් හරි බොරුවක්වත් කිව්වද කියලා. ඒත් මිසිස් ජයසිංහ අනේ එහෙම දෙයක් නෑ. මේ දවස් වල එක එක වැඩ තිබුණා. ඒකයි කිය කියා නහින්න හදනවා. මම හිතන්නේ දැන් ඒ ගෑනි කියන්නෙත් බොරු.” තවත් දිනයෙක සංදීපාගේ මව කී අතර ඉන් ඇගේ සිතට පිවිසියේ තරමක අවුල් බවකි.

“මම ඔය ගැන තව ටිකක් කල්පනා කළා. සමහරවිට උන් මේ අහල පහල මිනිස්සුත් එක්ක තරහා කරවලා අපිව මේ ගෙදරින් පන්නන්න හදනවද දන්නෙත් නැහැ. මේ ගේත් උන්ගේ කාට හරි අරගෙන දෙන්න” තවත් දිනයෙක මව තම සැමියා සමග එසේ කී විට ඔහුගේ ප්‍රතිචාරය මඳක් වෙනස් විණි.

“මං නම් හිතන්නේ නෑ සංදීපා අම්මා ඔය කියන කතාවේ ඔච්චරම බරපතළ දෙයක් තියනවා කියලා. අනික ඔය ගෙදර මනුස්සයා මට පහුගිය දවසක හන්දියේ ග්‍රොසරි එකේදී හම්බු වුණා. බොහොම අහිංසක පවුලක් ඔය මාතර පැත්තේ; කතා කරන්නෙත් “ඔහේ” කියලා.”

සැමියා සංදීපාට කී එම කතාව ඇය තම මවට කියා සිටියේ ඇගේ මානසිකත්වය මඳක් හෝ වෙනස් කරනු පිණිසය.
“එහෙනම් ඉතින් වැඬේ හරිම තමයි. ඔය මාතර පැත්තේ මිනිස්සු ළඟ පාරම්පරික වශී ගුරුකම් තියනවා. එහෙනම් ඒ ළමයවත් ගුරුකමට අහු කරගෙනද? එහෙම වුණොත් නම් ඉතින් විනාසයි දුවේ. අපිට ඉතින් මහපාරම තමයි.” එසේ කී සංදීපාගේ මව හඬන්නට පටන් ගත්තාය. ඒ කෙසේ හෝ ඒ වනවිට තම මවගේ එම සිතුවිලි දාම බෙහෙවින් අසාමාන්‍ය බව සංදීපාටද මනාව වැටහී තිබූ බැවින් තම සැමියාගේද එකඟත්වය මත තම මව මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට සංදීපා තීරණය කළාය.

“අපි කාගේ වුණත් හිත්වල අපේ ජීවිත දේපළ වල ආරක්ෂාව ගැන හොඳ සෝදිසියක් විපරමක් තියෙනවා. ඒවාට මොකක් හරි බලපෑමක්, තර්ජනයක් එල්ල වෙනවා නම් අපි වහාම ඊට එරෙහිව ක්‍රියාත්මක වෙන්නේ ඒ සෝදිසිය විපරම හින්දයි. ඒත් තමන්ගේ හරි තමන්ගේ දේපළ ගැන හරි එහෙම බලපෑමක් තර්ජනයක් නැතුවත් යමකුගේ හිත තුළ ඒවා අනාරක්ෂිතයි කියන හැඟීම ඇති වෙලා, ඒ ගැන නිතර නිතරම කියන්නත් ඊට අදාළව කටයුතු කරන්නත් පුළුවන්. අන්න එහෙම සිද්ද වෙන්නේ හිංසන මෝහය (Persecutory delusion) කියන මානසික ආබාධය හින්දා මොළයේ රසායනික ක්‍රියාකාරිත්වයේ වෙනසක් නිසා ඇති වන ඒ වගේ තත්ත්වයක දී ඒ තැනැත්තා හුඟක් දුරට හැඟීම් ආවේගවලට අවනත වෙලා කටයුතු කරන්න පුළුවන්; මෙතනත් තියෙන්නේ ඒ වගේ මානසික අර්බුදයක්” මනෝ වෛද්‍යවරයා කීය.

“ඒත් ඩොක්ට මේ කාරණයේදී හැරුණම අනික හැම දේකදීම අම්මා බොහෙම සාමාන්‍ය අදහස් තියන කෙනෙක්නේ. මානසික රෝගයක් නම් කොහොමද එහෙම වෙන්නේ” සංදීපා ඇසුවාය.
“මම හිතන හැටියට තවමත් අපේ රටේ ජනතාවට මානසික රෝග ගැන හරි වැටහීමක් නැහැ. මානසික රෝගයක් වැළඳුණාම සමස්ත මානසික ක්‍රියාකාරත්වයම බිඳ වැටෙන්නේ නැහැ මනසේ යම් යම් කොටස් සම්බන්ධයෙන් විතරයි විකෘතිතාවයන් බලපාන්නේ; උදාහරණයක් හැටියට බරපතළ ගණයේ මානසික රෝගයක් වැළඳුණු කෙනෙකුගේ මතකය, ගණිතඥානය වගේ ඕනෑම දෙයක් හොඳම තත්ත්වයක තියෙන්නත් පුළුවන්.” මනෝ වෛද්‍යවරයා සංදීපාගේ මවගේ සිත තුළ පවතින මෙම වැරදි විශ්වාස සඳහා පදනම් වූ හිංසන මෝහය නම් වන මානසික රෝගය සඳහා නියමිත ඖෂධීය ප්‍රතිකාර නියම කරමින් එසේ ද කීය.

විශේෂඥ මනෝ වෛද්‍ය රුමී රූබන්

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>