TT Ads

එක්දින සහ 20-20 තරග සංචාරයක් සඳහා පාකිස්තානය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට කණ්ඩායම පසුගියදා පෙරළිකාර ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්විය. ඒ 20-20 තරගාවලියෙන් 3-0 ලෙස පාකිස්තානය පරාජයට පත්කරමිනි. එම ජයග්‍රහණය වඩාත් සුවිශේෂි  වන්නේ පාකිස්තානු කණ්ඩායම පරදවා ශ්‍රී ලංකාව 20-20 තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව මෙය වන නිසාය. පාකිස්තානය සමග තරග වැදුණු ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායකත්වය පැවරි තිබුණේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකටය. දසුන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නායකත්වය ලබාදුන් පළමු වතාව වන්නේද මෙයයි. යොවුන් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ දසුන්, පාකිස්තානු සංචාරය බලා පිටත්ව යෑමට පෙර කී දෑ ගැන මෙන්ම ජාතික කණ්ඩායමේ නායකත්වය කරා දසුන් ආ ගමන ගැන ඔහුගේ මව වන ශාමනී දමයන්ති කියන්නේ මෙබඳු කතාවකි.

 

* දසුන් 20-20 නායකත්වය දැරූ පළමු තරගාවලියෙන්ම ශ්‍රී ලංකාවට අමතක නොවන ජයග්‍රහණයක් හිමි වුණා. දසුන්ගේ අම්මා විදිහට ඔබට මොනවාද හිතන්නේ ඒ ගැන?
ඒ ගැන මට හරිම සතුටුයි. මට විශ්වාසයක් තිබුණා පුතා තමන්ගේ වගකීම හොඳින් ඉටු කරාවි කියලා.

 

* පාකිස්තානු සංචාරයට පිටත් වෙන්න කලින් ඒ තරගාවලිය ගැන දසුන් ඔබට මොනවාද කිව්වේ?
පුතාට ලොකු බලාපොරොත්තුවක් තිබුණා කොහොම හරි මේ සංචාරයේදී අපේ රටට ජයග්‍රහණයක් අත්පත් කර දෙන්න. “හොඳට සෙල්ලම් කරන්න පුතේ …..” කියලා පාකිස්තානු සංචාරයට පිටත් වෙන්න කලින් මම පුතාට කීවාම පුතා මා ළඟට ඇවිත් රහසින් වගේ මෙහෙම කිව්වා. මම පැරදිලා නම් ගෙදර එන්නේ නෑ. මොකද මට හොඳ ටීම් එකක් දීලා තියෙනවා. සෙට් එකත් හරිම එකමුතුයි. බලන්නකෝ අම්මේ අපේ වැඩ ….” භානුක රාජපක්ෂ, ධනුෂ්ක ගුණතිලක වගේ 20-20 කණ්ඩායමට ඇතුළත් වෙලා හිටපු හුඟක් ක්‍රීඩකයෝ පුතා එක්ක පාසල් කාලයේ ඉඳන්ම එකට ක්‍රීඩා කරපු අය. ඒ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගැන හොඳට දැනගෙන හිටපු නිසා තමයි පිටත්වෙන්න කලිනුත් පුතාට ජයග්‍රහණය ගැන ඒ තරම් විශ්වාසයක් තිබුණේ. ඉතින් ඒ කිව්වා වගේම නායකත්වයේ වගකීම ඉටු කරලා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවන්නත් පුතාට පුළුවන්කම ලැබුණා.

 

* ආරක්ෂාව පිළිබඳ ගැටලු නිසා ලෝකයේ කිසිම ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයට නොයන කාලයක තමයි දසුන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම මේ සංචාරය සඳහා පිටත්ව ගියේ. ඔහු මේ සංචාරයට යන්න කීවාම ඔබට බයක් වුණේ නැද්ද?
එහෙම බයක් මට ඇති වුණේ නැහැ. ඒ වගේම පුතාටත් බයක් තිබුණේ නැහැ. පුතා මීට කලිනුත් පාකිස්තානයේ සංචාරයකට ගිහින් තියෙනවා. ඒ නිසා එහේ “හොඳ ආරක්ෂාවක් ලැබෙනවා අම්මේ ….” කියලා තමයි එන්න කලින් පුතා අපට කිව්වේ.

 

* ක්‍රිකට් ක්‍රීඩාවට දසුන්ගේ තිබුණු කැමැත්ත පවුලේ අය මුලින්ම හඳුනාගත්තේ කොයි කාලයේදීද?
හය වසරේ ඉගෙන ගන්නා කාලේ විතර ඉඳන් තමයි පුතා පාසල් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩා කරන්න පටන් ගත්තේ. හැබැයි පුංචිම කාලේ ඉඳන් බැට් එකයි බෝලෙයි පුතාගේ අතේම තමයි තිබුණේ. ගේ ඇතුළේ හිටියත් නිතරම බැට් එක වන වනා තමයි හිටියේ. පොඩි කාලේ ඉඳන් තිබුණු පුතාගේ ඒ පුරුද්ද නම් තවමත් අත්හැරලා නැහැ.

 

* පොඩි කාලේ දසුන්ගේ ක්‍රිකට වීරයන් වුණේ කවුද?
ජයසූරිය, වාස් වගේ නම් තමයි ඒ කාලේ පුතා නිතරම කියමින් සිටියේ. හැබැයි ඒ කාලේ පුතාට ඒ නම් හරියට උච්චාරණය කරන්නවත් බැහැ.

 

* දසුන් කවදා හරි ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරාවි කියලා විශ්වාසයක් ඔබට තිබුණාද?
ක්‍රිකට ක්‍රීඩාවට පුතාගේ තිබුණු කැමැත්ත එයා පොඩි කාලේ ඉඳන්ම අපි දැනගෙන හිටියා. මොකද, පුතා ඒ කාලේ තෑගි විදිහට ඉල්ලන්නෙත් බැට්, බෝලම තමයි. පාසල් තරගවලදී පුතාගේ දක්ෂතාවයන් අපි දැක්කා. හැබැයි පුතා ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරන කාලේ තමයි පුතා අනිවාර්යෙන්ම ජාතික කණ්ඩායම නියෝජනය කරාවි කියන විශ්වාසය අප තුළ ඇති වුණේ.

 

* ක්‍රිකට් ක්‍රීඩාවටම හිත යොමු කරලා අධ්‍යාපනය කඩාකප්පල් කර ගනීවි කියලා බයක් ඒ කාලේ ඔබට තිබුණේ නැද්ද?
පුතා සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තේ මීගමුව ශාන්ත පීටර් විද්‍යාලයේ. ක්‍රිකට් වලින් දැක් වූ දක්ෂතා නිසා ඊට පස්සේ පුතාට මාරිස්ටෙලා විද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන් වුණා. පුතා මාරිස්ටෙලා විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලේ පුතා ගැන ඇහුවාම පන්තිභාර ගුරුතුමා කිව්වේ “දසුන් හොඳ මීටරයක්” ඒ නිසා එයා ඉගෙනීමයි, ක්‍රීඩාවයි දෙකම හොඳට කරාවි යැයි කියලයි. ඒ කිව්වා වගේම පුතා ඒ දෙකම සමබරව කර ගෙන ගියා.

 

* දසුන් ක්‍රීඩා කරන තරග නරඹන්න ගෙදර අය යනවාද?
ඔව්. දසුන් තමයි පවුලේ වැඩිමලා. තව මල්ලිලා දෙන්නෙක් එයාට ඉන්නවා. පුතා සෙල්ලම් කරන මැච් එකක් ලංකාවේ තිබුණොත් අපි හැමෝම නොවරදවාම ඒක බලන්න යනවා.

 

* ඒ අතරින් ඔබට අමතකම නොවන තරගය මොකක්ද?
පල්ලේ කැලේදී දකුණු අප්‍රිකාව සමග පැවැත් වුණු එක්දින තරගයකදි පුතා ලකුණු 66 ක් ලබාගෙන තරගයේ වීරයා සම්මානයත් දිනා ගත්තා. ඒක තමයි මට අමතකම නොවෙන තරගය.

 

* පුතාට සහකාරියක් හොයන්න දැන් කාලේ හරි නේද?
පුතා දැනටමත් සහකාරියක් සොයා ගෙනයි ඉන්නේ. ඔහුට දැන් පෙම්වතියක් ඉන්නවා. බොහෝදුරට ලබන අවුරුද්දේ පුතාගේ විවාහය සිදු වේවි.

 

කිෂාන් කනංකේ

 

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>