TT Ads

වාස්තු යන්නෙහි තේරුම වාසයට සුදුසු යන අරුත ගෙන දේ. මේ නිසා ඈත අතීතයේ සිටම නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේදී වාස්තු විද්‍යානුකූල සිද්ධාන්ත පිළිබඳව සැලකිලිමත් වේ. මෙහිදී භූමිය තෝරා ගැනීමේ සිට නිවසක ගෘහ භාණ්ඩ තැන්පත් කිරීම, භාවිත කිරීම දක්වාම වාස්තු විද්‍යානුකූල සිද්ධාන්ත හා නියමයන් පවතී. නමුදු යම් පමණකට ජ්‍යොතිෂ්‍ය සමගද යම් පමණකට විද්‍යාත්මක හා තාක්ෂණය ද පදනම්ව ඇති වාස්තු ශාස්ත්‍රය අද වන විට සමාජයෙන් බැහැරව යමින් පවතින බව පැවැසිය යුතුය. මේ නිසා නිසි විමසීමකින් තොරව අලංකාරය සහ ඉංජිනේරු තාක්ෂණය ගැන පමණක් අවධානය යොමුකිරීම තුළින් අප නොදැනුවත්වම දෝෂ සහිත නිවසක් ඉදිකර ගනී. නිවසක් ඉදි කිරීමෙන් පසු වාස්තු දෝෂ විමසන්නට යෑමේදී ලක්ෂ ගණනින් වියදම් කර සාදන ලද නිවස බොහෝ අවස්ථාවල කොටස් කඩා ඉවත් කිරීම, කොටස් නැවත එකතු කිරීම්, භාවිතය වෙනස් කිරීම් වැනි තත්ත්වයන් නිසා නැවත පිළිසකර කිරීම් කරන්නට සිදුවේ. විශේෂයෙන් නිවස තුළ තමන් අපේක්ෂා කළ නීවීම නොමැති නම් එම නිවස තුළ වෙසෙන්නන්ගේ සිත්වල සතුට බැහැරව යයි. නමුත් නිසි වාස්තු විද්‍යානුකූල සිද්ධාන්ත පදනම් කරමින් සාදන නිවසක සැබෑ නිවීම පවතී. මේ නිසා ඔබගේ නිවාස ව්‍යාපාරික ස්ථානය ඉතා ශක්තිමත්, අලංකාර, නීත්‍යානුකූල මෙන්ම වාස්තු විද්‍යානුකූලව ගොඩ නඟා ගැනීමට හැකිනම් එය සැබෑම වාසනාවකි.

01. ආරම්භක දෝෂය

ඉඩමක නව නිවසක් තැනීමට පෙර ඉඩමේ පෙනෙන නොපෙනෙන දෝෂ ඉවත් කරගත යුතුය. නැතහොත් එමගින් දෝෂ පසුකාලීනව බලපෑම් කළ හැකිය. මෙහිදී ප්‍රධාන වශයෙන් මුල්ගල තැබීම ඇතුළු ගෘහ කටයුතු සඳහා ගන්නා නැකැත් අශුභවීම නිවාස තැනීමේදී සිදුවන අශුභ පෙර නිමිති, නිවස ඉදිකිරීම් ආරම්භයේදී චාරිත්‍ර වාරිත්‍ර නොසැලකීම සහ වැරදි පිළිවෙත් හා ගෘහණිය ගැබ්බරව සිටියදී හෝ දැරියක් මල්වරව සිටියදී වැනි අවස්ථාවන් වල නිවාස කටයුතු ආරම්භ කිරීම ඒ අතරින් ප්‍රධාන වේ.

ඇස්වහ කටවහ දෝෂ ඇතිවීම

මෙවැනි දෝෂ වළක්වා ගැනීම සඳහා ඔබට කිසිදු මුදලක් වැය නොවේ. නමුත් බොහෝ දෙනෙකුගේ නොසැලකිලිමත් කම හා නොදැනුවත්කම නිසා නොසිතන ආකාරයේ ගැටලු නිර්මාණය කර ගනී. නිවස තැනීමට පෙර ඉඩම හොඳින් පිරිසිදු කර ආගමික වතාවත්වල නිරත වෙමින් නිවැරදි වත් පිළිවෙත්වලට අනුව සෑම කටයුත්තක්ම ඉතා නිවැරදිව හා නිරවුල්ව සිදු කිරීම යහපත් වේ.

02. නිර්මාණ දෝෂ

නිවසක් ඉදිකිරීමේදී ඇතිවන දෝෂ එනම් අශුභ දිශාගත කිරීම්, නිවසේ හෝ ගොඩනැගිල්ලේ දිග පළල සම්බන්ධ දෝෂ, අත්තිවාරම් කාමර වෙන් කිරීම්, වහලය ගැසීම් දොර ජනේල උළුවහු තැබීමේ දෝෂ ආදී වශයෙන් හඳුන්වා දිය හැක.

03. පරිසර දෝෂ

ඉදිකිරීමට බලාපොරොත්තු වන නිවස හෝ ගොඩනැගිල්ල අවට පරිසරය නිසා ඇති විය හැකි දෝෂ මෙම මාතෘකාවට අදාළ වේ. එනම් ළිඳ, වැසිකිළිය, මුළුතැන්ගෙය ආදී බාහිර ඉදිකිරීම් ප්‍රධාන වශයෙන් මෙහිදී සැලකිල්ලට ගැනේ. ඊට අමතරව ගේට්ටුව, තාප්ප, මාර්ග කුලුනු වැනි දෑ සහ ගස් කොළන්, ඇළ දොළ සතා සිව්පාවා වැනිදේ ආදියෙන් ඇතිවන දෝෂ පරිසර දෝෂ වේ.

04. භාවිතාවේදී ඇතිවන දෝෂ

ගෘහභාණ්ඩ නිසි ආකාරයෙන් ස්ථානගත නොවී තිබීම, සපත්තු හිස් වැසුම් ගේ ඇතුළතදී භාවිතා කිරීම, ගෙතුළ ප්‍රාණඝාත සිදු කිරීම මෙහිදී ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගැනේ. අසාධාරණ වෙළඳාම් පවත්වාගෙන යාම, අපිරිසිදු බව, නිතර අඬදබර ඇතිකර ගැනීම, නිවසේ ළිප නොදල්වා තිබීම, මස් මාංශ නිතර පරිභෝජනය කිරීම හා වැරදි ඇදහිලි ක්‍රම පවත්වාගෙන යෑම ද මේ යටතට ගැනේ.

05. අනියම් දෝෂ

වෙනත් අයෙකු විසින් කරන ලද අනවින හදි හූනියම් දෝෂ, නිවස තුළ සියදිවි නසා ගැනීම් හෝ හදිසි මරණ ඇතිවීම මේ යටතට ගැනේ. එසේම ගෙවත්තේ හෝ ගෙතුළ මිනී ඇටකටු වැනි දෑ තබා ගැනීම, මිය ගිය ප්‍රාණ කරුවන්ගේ ඇල්ම බැල්ම වැටීම මෙහිදී සැලකිල්ලට ගැනේ. ඊට අමතරව නුසුදුසු ලෙස දේව රූප වැනි දෑ නිවසේ තැන්පත් කිරීම, විවිධ ආගමික හෝ ගුප්ත කටයුතු කිරීම, කබරයන්, සිවලුන් වැනි සතුන් නිවසට පැමිණීම සුදුසු නැත. දෙබර බැඳීම, සතුන් කූඩු සෑදීම, අකුණු වැදීම, මුදුන් බිත්තිය පිපිරීම පදිංචියෙන් තොරව දිගු කලක් පාළු වී තිබීම වැනි දෝෂ තත්ත්වද මෙහිදී සැලකිල්ලට ගැනේ.

කෙසේ වෙතත් අද වන විට ඉඩකඩම් සීමා සහිත වීම නාගරිකරණය ආදී හේතු නිසා 100% ක්ම වාස්තු විද්‍යානුකූලව ඉදිකිරීම් සිදු කිරීම තරමක් අපහසුය. නමුත් ප්‍රායෝගිකව අපට කළ හැකි හැම කටයුත්තක්ම නිවැරදි ආකාරයෙන් සිදු කර ගැනීම සෑම අතින්ම යහපත් වනු ඇත.

ගොතටුවේ දිනුදා හෝම්ස්හි
ගෘහ නිර්මාණ ශිල්පිනී ,වාස්තු විද්‍යා උපදේශක
නිසංසලා කොළඹගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>