TT Ads

රුහුණු පුරවරයේ උතුරු ගිරුවා පත්තුවේ, වීරකැටිය නගරයෙන් බෙලිඅත්ත පාරේ කිලෝ මීටර් 2ක් පමණ ගමන් කළ විට පෞරාණික ආගමක බෞද්ධස්ථානයක් වශයෙන් පතල මුල්ගිරිගල රජමහ විහාරය හමුවෙයි. අවටින් කඳු ගැට කිහිපයකින් හා ගොවිතැන් බත් බිම්වලින් වටකරගත් අඩි 700ක් පමණ උස වූ ගල් පර්වතය මෙම විහාරස්ථානය නිමවී ඇත. පර්වතය ආසන්නයට ගොස් බැලූ විට ඒකාකාර බෑවුමක් ඇති සෙයින් පෙනුනද, එහි මුදුනට පා ගමනින් යාමට හැකිවන පරිදි එක් පසෙකින් මාර්ගය සකස් කොට ඇත. ගමන් මාර්ගයේ තැනින් තැන පිහිටි ගස් කොලන් හේතුවෙන් යනෙන සැදැහැවතුන්ගේ ගිමන් නිවාලීමටද අනුබල ලැබී ඇත.මෙම ආගමික ස්ථානය මුල්කොට ගෙන එම ප්‍රදේශයටද මුල්ගිරිගල යන නම භාවිතා කෙරේ.
මුල්ගිරිගල කොරම් ජනතාවට සමීපව ඇත්දැයි බලන කල මැතිවරණ කොට්ඨාශය වශයෙන්ද පුළුල් ප්‍රදේශයක් ආවරණය වී ඇත. මුල් වකවානුවලදී මෙම විහරස්ථානයට නොයෙකුත් නම් භාවිතා කළ බවට ඓතිහාසික තොරතුරුවලිනුත්, ජනප්‍රවාදයෙනුත් කරුණු සොයා ගත හැකිය.
කාවන්තිස්ස රජු දවස කරවන ලද විහාරස්ථාන 64ක් අතුරින් මෙම ස්ථානයද එකක් වූ අතර එයට “මුහුදුගිරි” වශයෙන් නම් කළ බවට තු කියැවේ. පළමුවන පරාක්‍රමබාහු රජුගේ කාලයෙදී “මුහුන්ද්‍රගිරි” ලෙසින් මෙය නම් කෙරිණි. පසුකාලීනව ජනප්‍රවාදයේ තොරතුරු අනුව එක් එක් කාල වකවානුවල “මුකිව්ගල”, ”මුවතිරිගල”, “මූකිරිගල”, “මූකිරිගල්ල”, “මූලගිරිය” වශයෙන් භාවිතා වූ බවට තොරතුරු ඇත.
ආදම්ගේ අලු මෙම ස්ථානයේ තැන්පත් කොට ඇතැයි යුරෝපීය ජාතිකයින් තුල ක්‍රි.ව. 1700 ගණන්වලදී විශ්වාසයක් පැවති අතර ඒ හේතුවෙන් ඔවුන් “ඇඩම්ස්බර්ග්” නමින් මෙම ස්ථානය හඳුන්වනු ලැබූහ. කෙසේ වෙතත් කාලවකවානුරූපව නොයෙකු නොයෙක් නම් භාවිතා වී ඇවිත් වර්තමානයේ මුල්ගිරිගල නමින් හැඳින්වේ.


මුල්ගිරිගල විහාරස්ථානය පිළිබඳ ඓතිහාසික කරුණු අතරේද විවිධාකාරයෙන් අනාවරණ පවතී. මෙම ස්ථානයේ මූලාරම්භක කටයුතු සද්ධාතිස්ස රජුගේ කාලයේදී දක්ෂිණගිරි විහාරය නමින් වූ බවටද වළගම්බා රජතුමාගේ මූලව විහාරය නමින් වූ බවටද මහානාම රජු සමයේ සමුද්‍රගිරි විහාරය නමින් වූ බවටද තොරතුරු ඇත. එමෙන්ම දෙවනපෑතිස් රජු දවස මෙම ස්ථානයේ ආරම්භය සිදුවූ බවටත් කරුණු පවතී.
කාවන්තිස්ස රජතුමා විසින් මෙම ගල් පර්වතය යට පිහිටි විශාල උමං ලෙනක 18 රියන් රන් පිළිමයක් කරවන ලද බවටත්, අවුරුදු 5000ක් කල් නොනිමෙන අබතෙල් පහනක් දැල්වූ බවටත් පුරාතන කරුණුවලින් කියැවේ. දුටුගැමුණු රජු විසින් නිල්මිණි නෙත් දෙකක් ඔබවාලු 18 රියන් පිළිමයක් රත් හඳුන් ලීයෙන් කරවා එම ලෙන තුල තැන්පත් කළ බවටද මහා පරාක්‍රමබාහු රජු විසින් එම ලෙනෙහි පොත් ගුලක් කරවන ලද බවටද කරුණු අනාවරනය වේ.
සොරසතුරු උවදුරුවලින් ඉහත කී දේවලට හානි පැමිණිය හැකි බවට අදහස් කලෙන් දැනට අවුරුදු 400 ගණනක ඉහතද එකි ලෙන් විහාරය වසා දමන ලද බවට තොරතුරු පවතී.
ඉන් පසුව අවුරුදු 600ක් පමණ මෙම විහාරස්ථාන භූමියෙහි සංවර්ධනයක් සිදු නොවූ අතර වල් බිහිවෙමින් පැවතිනි. වර්ෂ 1747 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මෙහි දියුණුවට කටයුතු කළේය. ප්‍රතිමා බන්ඳවා චිත්‍ර කර්මාන්ත කරනු ලැබ ශාසනයේ දියුණුවටත් විහාරස්ථානයේ දියුණුවටත් වැඩ කටයුතු ගණනාවක්ම කරනු ලැබීය. මෙම කාල වකවානුවේදී විහාරස්ථානයේ ප්‍රධාන සංඝ නායක වශයෙන් වටරක්ගොඩ ධම්මපාල මහ නාහිමි වැඩ සිටියහ.
මුල්ගිරිගල රජ මහ විහාරස්ථානයෙහි දියුණුව උදෙසා වර්ෂ 1903 දී ආරම්භ කරන ලද වෛශාඛොත්සව සමිතිය මගින් මේ දක්වා නොයෙකුත් ආකාරයේ වැඩි දියුණු කිරීම හා සංවර්ධන ක්‍රියා දාමයන් කරනු ලැබ ඇත.
මුල්ගිරිගල රජ මහ විහාරස්ථානයේ දැනට ලෙන් විහාර අටක්ද, දාගැබ් තුනක්ද, කටාරම් කොට ලෙන් එකොළහක්ද, ශිලා ලිපි තුනක්ද, සංඝාවාස දෙකක්ද, පොහෝ ගෙයක්ද, විශ්‍රාම ශාලාවක්ද වෙයි. ඉපැරණි ගල් කනු නවයක්ද, ගල් ඔරුවක්ද, ශෛලමය මල් ආසනයක්ද පුරා වස්තු වශයෙන් විහාරස්ථාන භූමියේ තිබෙන බවට තතු පැවසේ.
දකුණු ලක බෞද්ධ සැදැහැවතුන්ගේ මුදුන් මල් කඩක් බදුවූත් සමස්ත ලංකාවාසීන්ගේ වන්දනා මාන කටයුතුවලදී කිසි විටෙකත් අමතක නොකරන්නාවූ මුල්ගිරිගල රජ මහ විහාරයේ වත්මන් තත්ත්වය ඉතා කණගාටු දායකය. අවශ්‍ය වැඩි දියුණු කිරීම් හා ප්‍රතිසංස්කරණයන් කරමින් මෙම ස්තානයේ සංරක්ෂණය සඳහා කඩිනමින් කටයුතු කිරීමට මැති අමැතිවරු ඇතුලු අදාල බලධාරීන්ගේත් අවධානය නිසි පරිදි යොමු විය යුතුමය.

මීගස්ආරේ ගුණපාල වික්‍රමආරච්චි

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>