TT Ads

නිවසක් සැලසුම් කිරීමේදී වැඩි දෙනෙකුගේ අවධානය යොමු වන්නේ නිවසේ ආලින්දය, විසිත්ත කාමරය වැනි ස්ථානයන් වෙතය. නමුත් වාස්තු විද්‍යානුකූලව මුළුතැන්ගෙය හෙවත් කුස්සිය නිවසක සුවිශේෂ තැනක් හිමිවන ස්ථානයක් ලෙසට පිළිගැනේ. ආහරපාන සැකසීම සඳහා ගෘහණිය වැඩි කාලයක් එහි ගත කරන අතර පවුලේම පෝෂණය රැඳී ඇත්තේද එම අවකාශය තුළය. මේ නිසා මුළුතැන්ගෙයි උපරිම ගුණාත්මකභාවය රඳා පවත්වා ගැනීමට නම් නිවසේ ගිනිකොණ දිශාවට වන්නට මුළුතැන්ගෙය සැලසුම් කිරීම වඩා උචිතවේ. එසේම එය ප්‍රධාන දොරටුවෙන් මෑත්වන අන්දමට සැලසුම් කිරීම සුදුසුය.

මුළුතැන්ගෙය සාලයට පැමිණීම

නමුත් වත්මන් ගෘහ නිර්මාණ සැලසුම්වල මුළුතැන්ගෙයද සාලයේම කොටසක් ලෙස නිර්මාණය කර තිබෙන අවස්ථා දැක ගත හැක.Open pantry ලෙසින් හැඳින්වෙන මෙබඳු මුළුතැන්ගෙයක් නිර්මාණාත්මක වශයෙන් අලංකාරයක් ගෙන දුන්නත් වාස්තු විද්‍යාත්මක සිද්ධාන්ත වලට අනුව නම් එතරම් සුදුසු නොවන බව පිළිගැනීමය. කෙසේ වෙතත් බටහිර රටවල ගෘහ නිර්මාණවල ආභාෂය තුළින් මෙබඳු අංගයන් අපේ රටේ ගෘහ නිර්මාණ සඳහා එක්වූවා වන්නට ඇතිමුත් ඒවා අපිට සරිලන පරිදි ගලපා ගත යුතුය.

මුළුතැන්ගෙය ස්ථානගත කිරීම

නිවසක් සැලසුම් කිරීමේදී මුළුතැන්ගෙයට හොඳින් වාතාශ්‍රය සහ හිරු එළිය වැටෙන ස්ථානයක් තෝරා ගත යුතුය. මහල් නිවසක නම් මුළුතැන්ගෙය බිම්මහලේ ස්ථානගත කිරීම සුදුසු වන අතර හැකිනම් නිවසේ අනික් කොටස්වලට වඩා තරමක් පහළින් සකසා ගැනීම ඵලදායකය. මුළුතැන්ගෙය කිසි විටෙකත් අනික් කොටස්වලට වඩා ඉහළින් නොතිබිය යුතුය. සම මට්ටමේ තැබීම වරදක් නොවේ.

ආහාරවල ජීව ශක්තිය රඳවා ගැනීම

මුළුතැන්ගෙය ගින්දර මුල් කරගත් කටයුතු සිදු කෙරෙන ස්ථානයක් වන බැවින් වාස්තු විද්‍යානුකූලව මුළුතැන් ගෙය ඉදිකර ගැනීම සඳහා වඩාත්ම සුදුසු වන්නේ ගිනිකොණ දිශාව බවට නිර්දේශ කෙරේ. ගිණිකොණ යනු ගින්න නැමැති මූලධාතුවට අයත් දිශාව වේ. නමුත් සෑම කෙනෙකුටම මෙම දිශාවේම මුළුතැන්ගෙය ස්ථානගත කිරීමට අපහසු වන බැවින් ගිනිකොණ දිශාව තෝරා ගැනීමට නොහැකි අවස්ථාවල වයඹ දිශාව ඒ සඳහා යොදා ගැනීමට පුළුවන. ගිනිකොණ දිශාවේ සැකසු මුළුතැන්ගෙයි නැගෙනහිර දිශාව බලා ආහාර සකස් කිරීමට යොදා ගැනීම තුළින් ආහාර වලට ජීව ශක්තියක් එක්වන බව වාස්තු විද්‍යාත්මක පිළිගැනීමය. නමුත් නිරිත දිශාවට මුහුණ යොමාගෙන ආහාර සකස් කිරීම සෞඛ්‍ය ගැටලු ඇති කරවන බවට හා උතුරට මුහුණලා ආහාර පිළියෙළ කිරීම ධනය විනාශ කරවන බවට වාස්තු විද්‍යාවේදී දක්වා ඇත. සින්ක් එක මුළුතැන්ගෙයි ඊසාන දිශාවටත් ශීතකරණය හා ආහාර ගබඩා කරන ස්ථාන දකුණ හෝ බටහිර බිත්තිවලටත්, ළිප් ගිණිකොණ දිශාවටත් ස්ථානගත කර සැකසීම ඉතාමත් සුබඵල ගෙන දෙන බව වාස්තු විද්‍යානුකූල පිළිගැනීමය.

කෑම කාමරය

කෑම කාමරය ස්ථාන ගත කළ යුත්තේ නිවසේ බටහිර දිශාවට වන්නටය. මුළුතැන්ගෙයින් බැහැරව වෙනම කොටසක් ඒ සඳහා වෙන් කර ගැනීම සුදුසුය. එහෙත් තරමක් විශාල මුළුතැන්ගෙයක නම් ආහාර අනුභවය සඳහා කොටසක් වෙන් කර ගැනීමට පුළුවන. නව සංකල්පයන්ට අනුව ගෘහ නිර්මාණවල Pantry & Dining එකම අවකාශය තුළ භාවිත වේ. ඉඩපහසුකම් ඇත්නම් එසේ පිළියෙළ කරගැනීමේ වරදක් නැත. නමුත් කෑම කාමරයට විවෘත වන පරිද්දෙන් වැසිකිළි හෝ නාන කාමර දොරටු තැබීම යෝග්‍ය නැත.

කෑම මේසයේ හැඩය

කෑම මේසය සෘජු කෝණාශ්‍රාකාර විය යුතු අතර කෑම ගන්නා විට බටහිරට හෝ නැගෙනහිරට මුහුණලා හිඳ ගැනීමට හැකිවන පරිදි මේසය සකස් කර ගැනීමට හැකිනම් ඉතාමත් යහපත්ය. නිරතුරු කෑම කාමරයට ලා පැහැති වර්ණයන් ආලේප කිරීම සුදුසු වන අතර ඒ සඳහා විශේෂයෙන් කොළ හෝ නිල් පැහැය යොදා ගත හැකි නම් ප්‍රතිඵලදායකය. කෑම කාමරය අවට පරිසරය ඉතා නිරවුල් නිදහස් අවකාශයක් වීම අත්‍යවශ්‍යය. කෑම කාමරය තුළ පළතුරු වට්ටියක් හෝ එබඳු පින්තූර තැබීම සෞභාග්‍ය සංකේතවත් කරයි.

පිරිසිදු කම හා පිළිවෙළ

මුළුතැන්ගෙයක් හා කෑම කාමරයක් භාවිතයේදී පිරිසිදුකම හා පිළිවෙළ ඉතා වැදගත්වේ. නිරතුරුව මෙබඳු ස්ථාන අපිරිසිදු වීමේ හැකියාවක් පැවැතියත් සෑම විටම පවිත්‍රතාවය ගැන ගෘහණියන්ගේ විශේෂ අවධානයක් යොමු විය යුතුය. පිළිවෙළකට නොමැති අපිරිසිදු මුළුතැන්ගෙය හා කෑම කාමරය නිවසට ගෙන දෙන්නේ අසුබදායක තත්ත්වයකි.
වර්තමානයේ පැවති ඉඩකඩ සීමා සහිත වීම් තුළ වාස්තු විද්‍යානුකූලව සියයට සියයක් ගැළපෙන පරිද්දෙන් නිවසක් ඉදිකර ගැනීම අපහසු වීමට පුළුවන. නමුත් නිසි වාස්තු විද්‍යානුකූල උපදේශයන් මත වැරදි අඩුපාඩුවලින් තොර නිවසක් ඉදිකර ගැනීමට හැකියාව ඇත. කෙසේ වෙතත් තමන්ට ඇති ඉඩකඩෙහි අපහසුවකින් තොරව දෛනික කටයුතු සිදු කර ගැනීමට හැකි ආකාරයට සැලසුම නිර්මාණය කර ගැනීම වැදගත්වේ. එසේ නොවන විට මානසිකව වැඩ කටයුතු කිරීමේ අපහසුතාවයක් අකමැත්තක් හෝ අලස බවක් ඇතිවීම තුළින් නිවසේ කටයුතු අසාර්ථක වීමට පුළුවන. මේ නිසා වාස්තු කරුණුවලට අමතරව තම ඕනෑ එපාකම් පිළිබඳවත් නිවසක් සැලසුම් කිරීමේදී සලකා බැලිය යුතුය. ඒ තුළින් තමන්ගේ නිවහන එපා වෙන තැනක් නොව “ඉන්න හිතෙන තැනක්” බවට පත්කර ගත හැකිය.

ගොතටුවේ  දිනුදා හෝම්ස්හි  ගෘහ නිර්මාණ ශිල්පිනී  වාස්තු විද්‍යා උපදේශක
නිසංසලා කොළඹගේ

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>